දුරකතන ඇමතුමෙන් චූන් වූ තරුණයා ආච්චිගේ කකුලට තට්ටුද‌ාලා


(තිහගොඩ උපසේන ලියනගම)
බස් මගියකුගේ දුරකථන ඇමතුම් උද්දාමයකින් ලද තට්ටුවක් නිසා දැඩි කෝපයට පත් මිත්තනියක් පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ලැබුණේ දකුණු පළාතේ පෞද්ගලික බස් රථයකිනි.


 දකුණේ ප්‍රධාන නගරයක සිට ප්‍රධාන රෝහලක් දක්වා දිවෙන මේ බස් රථයෙහි කොරෝනා උවදුර නිසා වැඩි පිරිසක් සිටියේ නැත. සිය මිනිබිරියක සමඟ බසයට නැගගත් මේ මිත්තනිය තිදෙනකුට වාඩිවිය හැකි අසුනේ මිනිබිරිය සමඟ වාඩි වූ අතර කවුළුව අසල වූයේ උපැස් යුවළක් පැලඳි රැවුල්කාර තරුණයකි. 


තරුණයාගේ දුරකථනයට ඇමතුමක් ලැබුණෙන් ඔහු ඊට ප්‍රතිචාර දැක්වුයේ මහ හඬින්  සිනාසෙමිනි. ඔහු තම දැඩි හිතවතකු සමග කතා කරන් බව පෙනිණ. ටික වේලාවකින් ඔහු මහත්සේ සිනා සෙමින් කතා කළේ බසයේ ඉදිරිපස අසුනට මෙන්ම තම වම් පාදයට ද තට්ටුවක් දමමනි. මෙය අසල වූ මිත්තනියට මහා වදයක් වූයෙන් කීපවරක් ඔහු දෙස රවා බැලුවාය. දුරකථන ඇමතුමෙන් උද්දාමයට පත් ඔහුට තමා සිටි තැනවත් අමතක වූ බවක් පෙනුණි.


වරක් ඔහු මහත් උද්දාමයට  පත්ව තට්ටුව දැම්මේ තම කකුලට නොව අසල සිටි මිත්තනියගේ කකුලටය. 


දැඩි කෝපයට පත් ඇය ‘‘මොන මල ඉලව්වක්ද යකෝ’’ කියමින්  නැගිට සිටි අතර කොන්දොස්තර තැන වහා පැමිණියෙන් තරුණයාගේ ඇමතුම නැවතී ජංගම දුරකථනය  කලිසම් සාක්කුවට රිංගා ගියෙන් ගැටුම අවසන් වුවත් මිත්තනිය මිනිබිරියත් ඇදගෙන වෙන ආසනයකට ගියාලු.