දිට්වාවෙන් ගසා කන්න ගිහින් අලි අමාරුවක



කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් අයට එකතු කරගත් ආධාර ලබාදීමට යයි කියමින් වැටුප් සහිතව ආයතනයෙන් නිවාඩු ලබාගත් සේවකයකුට මුහුණපෑමට වූ අලි අමාරුවක් පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
වැඩ බිමකි. සේවකයෝ රැසක් සේවය කරති. වැඩ බිම හිමිකරු ධාර්මිකයෙකි. හිතක් පපුවක් ඇති අයෙකි. මේ නිසාම දෝ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ ශුද්ධ කිරීමට හෝ ආධාර ද්‍රව්‍ය රැගෙන යන සේවකයින්ට වැටුප් සහිතව නිවාඩු ලබාදීමට හේ කටයුතු කළේය. ඔහු මේ ව්‍යසනයේ තරම හොඳින් අවබෝධ කරගෙන තිබීම මෙයට තවත් අතුරු හේතුවකි.


දිට්වා සුළි කුණාටුවට හසුවූ අනුරාධපුරයේ ගමකට සිය විහාරස්ථානයෙන් එකතු කළ භාණ්ඩ තොගයක් ගෙනයාමට යයි කියමින් මේ වැඩ බිමේ සේවකයෙක් නිවාඩු ලබා ගත්තේය. ලොක්කා ද එයට එක පයින් කැමතිවී වැටුප් සහිතව දෙදිනක් ඔහුට ලබා දුන්නේය. තවත් සේවකයින් සිටී නම් මේ සත් කාර්යයට මොහු සමඟ එක්වන ලෙසද ලොක්කා අනෙක් සේවකයින්ගෙන්ද ඉල්ලා සිටියේය. වෙන කිසිවකු ඒ සඳහා ඉදිරිපත් නොවීය. ආධාර බෙදන මේ ගමනට එක්වන ඔහුට ලොක්කා තමන්ගේ පෞද්ගලික මුදලින් මුදල් ද දුන්නේ වියදමටය. ආපසු ලබා ගැනීමේ බලාපොරොත්තුවකින් නම් නොවේ.
එදින පස්වරුවේ දී ඔහු වැඩබිමේ සේවකයන්ට පණිවිඩ පනත් ලබාදීමට සකසා තිබූ ජංගම දුරකතන වට්ස්ඇප් සමූහයට විහාරස්ථානයට ආ ලොරි රථයට ආධාර සඳහා එකතු වූ බඩු භාණ්ඩ පටවන අයුරු ඡායාරූප කිහිපයක්ම දමා තිබිණ. ඊට පසුදින ද විහාරස්ථානයෙන් අනුරාධපුරය බලා ආධාර ද්‍රව්‍ය රැගත් ලොරි රථය නතර කළ හැම ස්ථානයකදීම ගෙන තිබුණු ඡායාරූප ද මේ වට්ස්ඇප් සමූහයට එක් කිරීමට වගබලා ගත්තේය. ඒ හැම ඡායාරූපයකම තිබුණේ ආධාර රැගෙන ගිය ලොරි රථයේ ඡායාරූපයන්ය.
එදා සැන්දෑ යාමයේ මේ වැඩබිමේ ලොක්කා මිතුරන් දෙතුන් දෙනෙක් සමඟ නගරයේ එතරම් ප්‍රසිද්ධියක් නැති අවන්හලකට රිංගූහ. ඒ වැසි බර මේ සමයේ ඇඟ හීනියට රත්කර ගැනීමට ය. එහි මේසයකට ගිය ඔහුට අඩ අඳුරේ දක්නට ලැබුණේ දැක පුරුදු රුවකි. ආධාර බෙදන්න යයි තමාගෙන් පඩි පිට නිවාඩුගත් සේවක තෙමේය. එය හරියටම නිශ්චිත කරගත් ඔහු අර සේවකයා ළඟට ගොස් හා අනුරාධපුරේ ගිහිල්ලා බඩුත් බෙදලා ආවා දැයි ඔහුගෙන් ඇසූ විට සිය ලොක්කාගේ මුහුණ බැලූ ඔහුට තරු විසිවුණේය. තොලකට වේළී ගියේ ය. මුව ගොලු‍වුණේය. තතන තතනා කී වචන ඔහුගේ මුවින් පිට නොවුණේය. ලොක්කාට කට් එකක් දමා එතනින් මාරුවුණු ඔහු දැන් එම වැඩබිමේ පැත්ත පළාතෙවත් යන්නේ නැතිලු‍.