කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
කඨින දානයදා කතක කළ කට්ලට් හොරකමකින් ඇයට හානියක් නොවී සොරකම් කළ කට්ලට් ටික කෑම මේසයට යැවූ නුවණක්කාර තරුණයන් දෙදෙනෙකු පිළිබඳ කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
පන්සලේ කඨින දානය පැවතියේ ධර්ම ශාලාවේය. කඨින දානය අහවර වෙමින් තිබිණ. පැවතියේ කඨිනානිසංශ ධර්ම දේශනාවය. ඒ අතරතුර කඨිනයේ ප්‍රධාන දායකත්වය සැපයූ අයට සහ පිටින් පැමිණි අයට දහවල් ආහාරය සැකසුණේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේය. එබැවින් ස්වාමීන් වහන්සේලා දන් වළදා ඉතිරි ආහාර ද්‍රව්‍ය ධර්ම ශාලාවේ සිට දාන ශාලාව වෙත රැගෙන යාමට භාර කෙරුණේ ගමේ දායක කාරකාදීන්ටය. ධර්ම ශාලාවත් දාන ශාලාවත් පිහිටියේ වෙන වෙනමය. ටිකක් දුරිනි.
ධර්ම ශාලාවේ සිට දාන ශාලාව වෙත එලෙස ආහාර ද්‍රව්‍ය ගෙන යමින් සිටි කතක් ඒ අතරතුර තමා රැගෙන යමින් සිටි ආහාර ද්‍රව්‍යවලින් පොලිතීන් කවරයක තිබූ පාර්සලයක් සිය ගමන් මල්ලේ ඔබාගෙන එය පැත්තකින් තිබ්බාය.
මෙය නුවණ ඇති කොල්ලෝ දෙදෙනෙකුගේ නුවණට ගෝචර විය. මේ කත මග හැර ඇයට හොර රහසේ ඇයගේ ගමන් මල්ල පරීක්ෂා කළ කොල්ලන් දෙදෙනාට දක්නට ලැබුනේ එහි දානය සඳහා ගෙනා කට්ලට් වාගයකි. ඔවුහු දෙදෙනා ඒවා රැගෙන දාන ශාලාවේ සැකසෙන කෑම මේසයට තැබූහ. එහෙත් මේ සිද්ධිය කාටවත්ම නොකියන්නද මේ කොල්ලෝ දෙන්නා වගබලා ගත්හ. එහෙයින් මේ කට්ලට් හොරකම් කළ කත අසුවුණේ නැත.දහවල් කෑමට දාන ශාලාවට ආ කට්ටියම කට්ලට් බෙදාගෙන කන හැටි දුටු මේ කත පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියාය. මේ කොල්ලෝ දෙන්නා එය ද නිරීක්ෂණය කරමින් සිටියෝය. ඒ සමගම ඇය තමාගේ ගමන් මල්ල අවුස්සා බලා දහවල් කෑමද නොකා එතනින් හෙමිහිට ලිස්සා ගියේ තමාගේ කට්ලට් හොරකම පිළිබඳ ගම්මුන්ගේ කතාවට ලක්වේ යයි යන බියෙනි. එහෙත් මේ නුවණ ඇති කොල්ලන් දෙන්නා නිසා එය තවමත් අහු නොවුණේලු.

