(වියලුව වාර්තාකරු)
මේ දිනවල භාණ්ඩ අලෙවිය සිදුවන්නේ වෙළඳුන්ගේ හිතූ මනාපයටය. මේ ඒ පිළිබඳව කියැවෙන අපූරු, එහෙත් සත්‍ය සිදුවීමකි.
ඔහු වඩේ, පැටිස් ඇතුළු තෙල් කෑම වර්ග කීපයක් සකස් කොට පදික වේදිකාවේ වූ කුටියක තබාගෙන අලෙවි කරන්නෙකි.
එදිනෙදා හම්බකරන මුදලින් ඒ සඳහා අවශ්‍ය පොල්තෙල්, පාන් පිටි ආදිය මිල දී ගැනීමට ඔහු පුරුදු වී සිටියේ තොග වශයෙන් බඩු රැස් කොට තබා ගැනීමට තරම් වත්කමක් නොමැතිකම නිසාවෙනි.
හෙතෙම උදය වරුවේ සුපුරුදු වෙළඳසලට ගොඩවී පොල් තෙල් බෝතලයක් මිලදී ගත්තේ ඒ වෙනුවෙන් රුපියල් 680 ක මිලක් ගෙවමිනි.
දහවල් වන විට පොල් තෙල් අවසන් වීම නිසා යළිත් එම වෙළඳසලට ගිය ඔහුගෙන් වෙළඳසල් හිමියා පොල්තෙල් බෝතලයක් වෙනුවෙන් රුපියල් 730.00 ක මුදලක් අය කරනු ලැබුවේ ‘තෙල් මිල ඉහළ ගියා’ යනුවෙන් පවසමිනි.
කෙසේ වෙතත් සුපුරුදු වෙළඳාම කළ යුතුව තිබූ හෙයින් රුපියල් 730.00 ක් ගෙවා ඔහු පොල්තෙල් බෝතලයක් රැගෙන ආවේ කරන්නට අන් යමක් නොමැතිකම නිසාවෙනි. සවස් වරුවේ යළිත් ඔහු එම වෙළඳසලට ගොඩවූයේ පසුදින ආහාර සකස් කිරීමට අවශ්‍ය පොල්තෙල් ඇතුළු භාණ්ඩ කීපයක් මිලදී ගන්නටය.
අදාළ වෙළඳසල් හිමියා ඒ අවස්ථාවේ පොල් තෙල් බෝතලයකට රුපියල් 780 ක මුදලක් ඉල්ලා සිටියේ ඔහු අන්ද මන්ද කරමිනි.
හිතූ මනාපයට මේ අයුරින් මිල ඉහළ දැමීම නොරිස්සූ ඔහු පොල් තෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළේ වෙනත් වෙළඳසලකින් මිලදී ගන්නා බව පවසමිනි. දැඩිසේ කෝපාවිෂ්ටව යාබද වෙළඳසලට ඔහු ගොඩ වූවේ හිතූ මනාපයට දිනක් තුළ තෙවරක් තෙල් මිල ඉහළ දැමූ වෙළෙඳසල් හිමියාටද හිතින් දෙස් දෙවොල් තබමිනි.
කරුමයක තරම කොතෙක්දැයි ඔහුට හැඟී ගියේ එම වෙළඳසලේ පොල් තෙල් බෝතලයක මිල ඒ වන විට රුපියල් 850 ක්ව තිබූ බැවිනි.
කෝපය දෙගුණ තෙගුණ වූ වඩේ වෙළෙන්දා පොල් තෙල් බෝතලය ආපසු බැරලයටම හලා මුදල් ඉල්ලාගෙන එතැනින් එළියට බැස්සේ ‘වඩේ විකුණනවාට වඩා හොඳයි කුලී වැඩක් කරන එක’ යැයි අවට සිටි පිරිසට පවසමිනි.