ගෙදර නිරෝධායනය වෙද්දී මව හොරෙන්ම දුවගෙ කේන්දරය බලන්න ගිහින්


(ඇල්ල – ප්‍රසාද් රුක්මල්)
කොරෝනා නිසා නිරෝධානය වෙමින් සිටි නිවෙසක දියණියක හදිසියේ මල්වර වී වැඩිවියට පත්වීමෙන් පසුව දියණියගේ කේන්දරය බලා ගැනීමට මව නිවෙසින් හොර රහසේ පලායාමේ පුවතක් බදුල්ලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.


පසුගිය දිනක කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු බදුල්ලට නුදුරු ගම්මානයකින් හමුවීමත් සමඟ එම ගම්මානයේ පවුල් කීපයක් සිය නිවෙස් තුළ නිරෝධානයට ලක්කර තිබේ.


එසේ නිරෝධානයේ සිටින අතරතුරේ නිවෙසක දැරියක හදිසියේ වැඩිවියට පත්වී ඇත. නිරෝධානයේ සිටින නිසා කිසිත් කර කියා ගත නොහැකිව මව්පියෝ කල්පනා කරන්නට වූහ.


මේ අතරතුරේ දියණියගේ මව අලුයම හොර රහසේ දියණියගේ කේන්දරය බලා ඇය නෑවීමට වේලාවක් සාදා ගැනීමට නිවසින් හොර රහසේ පලා ගියාය.


ඇය නගරයට ගොස් දියණියගේ කේන්දරය බලා මල්වර දියණිය නෑවීමට වේලාවක් සාදා ගත්තාය.


එයත් රැගෙන යළි නිවෙසට එන අතරතුරේ ඇය සෞඛ්‍ය නිලධාරීන්ට හසුවූවාය. ඒ සමගම සියලු විස්තර පැවැසූ ඇයට සෞඛ්‍ය බලධාරීහු දෝෂාරෝපණය කළහ.


දියණිය නෑවීමට නොව මවත් නැවීමට වේලාවක් සාදාගෙන එන්නම් යැයි පැවැසූ සෞඛ්‍ය බලධාරීන් මවට තරයේ අවවාද කර යළි නිරෝධායනයට ලක්කරනු ලැබුවාය.