කෝටිපතියාගේ කොරෝනා භීතිකාවෙන් හිඟන්නකුට ලොතරැයියක් ඇදිලා


 (කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අතපත ගා ඇති මුදල් නෝට්ටුවලින් කොරෝනා බෝවේවි යයි බියෙන් අලු‍ත් අවුරුද්දට ගනුදෙනු කිරීමට රැස් කළ මුදල් නෝට්ටු අව්වේ වේළීමට ගොස් රුපියල් විසි තිස්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


අපේ කතා නායකයා ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර ස්ථාන රැසක හිමිකරුවෙකි. ධනපතියෙකි. හොඳ හදවතක් ඇත්තෙකි. මේ නිසා සෑම වසරකම අලු‍ත් අවුරුදු ගනුදෙනු කිරීමට ඔහුගේ ව්‍යාපාරික ස්ථානවල සේවක සේවිකාවන් මෙන්ම අසල්වාසීන්, හිතවතුන් ඇතුළු බොහෝ පිරිසක් ඔහු සොයා එති.


මේ බව දන්නා ඔහු අලු‍ත් අවුරුද්ද කිට්ටුවෙමින් සිටියදී මේ වසරේදී ද එම කාර්යට සූදානම්ව සිටියේය. ඒ සිය ව්‍යාපාරික ස්ථානවලට ලැබෙන මුදල්වලින් කොටසක් බැංකුගත නොකරය.


සෑම දෙනාම අතපත ගා ඇති මුදල් නෝට්ටුවලින් කොරෝනා බෝවේ යයි සිතූ බැවින් ඔහු අලු‍ත් අවුරුදු ගනුදෙනු කිරීමේදී තමාට මේ මුදල් අතපත ගෑමට සිදුවන නිසා මුදල් අව්වේ වේළා ගැනීමට සිතුවේය.


ඒ අනුව සිය නිවෙස ඉදිරිපිට මිදුලේ මේසයක් තබා මුදල් අව්වේ වේළා ගැනීමට කටයුතු කර තිබිණ. එදින ගේට්ටුවේ ඉබි යතුරු දමා නොතබා වසා දමා තිබුණේ නිවැසියන්ගේ අමතක වීමෙනි. ප්‍රමාද දෝෂයකිනි. නිවෙසේ ඉදිරිපස දොරද වසා තිබුණේ පුරුද්දට මෙන්ය. ඔවුහු සිය නිවෙස තුළ සිය කාර්යවල නිරතවූවෝය. මිදුලේ වේළීමට තිබූ මුදල් ගැන මතකයද ඔවුනට අමතකවී තිබිණ. මුදල් වේළීමට දමා ඇති බව සිහියට ඇවිත් බලන විට මේසය පමණක් ඉතිරිවී තිබිණ.