(කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත)
යාබද නිවසේ ඇති කරන බල්ලාගෙන් වසර කිහිපයක් තිස්සේ වූ බලු හිරිහැරය, කොවිඩ් 19 ඍජු ආශ්රිතයන් වී නිරෝධායනයට ලක්වීමත් සමග නැත්තටම නැති වී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
බලු පැටියා කුඩා කාලයේදී පුළුන් බෝලයක් මෙනි. ඒ නිසාම නිවැසියෝ ඌව සුරතලයට ඇති කිරීමට කටයුතු කළහ. එහෙත් ඌ පාරේ යන වල් බැල්ලකගේ පැටියෙකි.
බලු සුරතලා කුඩා කාලයේදී කවා පොවා නාවා උකුළේ තියා ඇති කළත් ඌ කෙරෙන් නිවැසියන්ගේ අපේක්ෂිත රූපකාය වර්ධනය නොවීය. මව් වල් බැල්ල මෙන් ඇට ගැසිණි. ඒ නිසා බල්ලා ලොකු මහත් වන්නට වන්නට නිවැසියන් ඌට දැක්වූයේ කුඩම්මාගේ සැලකිලිය. එය හරියටම එපා වාහේට හොදි බෙදන්නාක් මෙනි.
මේ නිසාම බල්ලා යාබද නිවසේ ඉඳුල් කන්නට පුරුදු පුහුණු වූයේ නිරායාසයෙන්මය. ඒ විතරක්ම නොව රාත්රී කාලයේ උගේ නවාතැන්පොළ වූයේ ද යාබද නිවෙසේ පෝටිපෝවය. යාබද නිවැසියන්ට සිය පෝටිපෝවේ උදෑසනම බලු මැක්කන් රොතු බුරුතු පිටින් අස්පස් කරන්නට සිදුවූයේ වරක් දෙවරක් නම් නොවේ. එමෙන්ම බල්ලා මිදුලේ කැත කරන වාර ගණන ද සීමාවක් නොවීය. මේ බල්ලාගේ බලු කරදරය එම නිවැසියන් නොඉවසුවත් අසල්වාසීන්ට මුවින් නොබැන්නේ යාබද වැට සමග සණ්ඩු සරුවල් කිරීම නොහොබිනා ක්රියාවක් මෙන් ඔවුන් තරයේම විශ්වාස කළ නිසාවෙනි.
ඔය අතරවාරයේදී මේ නිවෙස නිරෝධායනයට ලක් කරනුයේ කොවිඩ් 19න් ඍජු ආශ්රිතයන් වීම නිසාය. ඒ එක්කම මේ නිවසේ අයෙක් යාබද නිවසේ අයට පවසන්නේ ඔයාලගේ බල්ලා මෙහේ එන එක නතර නොවුණොත් අපට කොවිඩ් ආසාදනය වී තිබුණොත් ඔයාලාටත් බෝවෙන්න බොහෝ දුරට ඉඩකඩ ඇති බවය. ඔව් ඔව් ඒකත් ඇත්ත කොවිඩ් බල්ලන්ටත් බළලුන්ටත් ඇති වෙනවා කියලා මම අහලා තියෙනවා. කියපු එකට බොහෝම ස්තුතියි කියමින් යාබද නිවැසියා එය හිස් මුදුනින්ම පිළිගත්තේය.
නම කියා අඬගසා බල්ලා ගස් බැඳීමට ඒ මොහොතේම අසල්වැසියා කටයුතු කළේය. මේ ක්රියාව නිසා බල්ලා එම නිවෙසට පැමිණීම විතරක් නොව ඌව ඊට පසු දින සිට එම නිවසේ ද සිටිනු දක්නට නොලැබිණ.