උපන් දිනය සැමරීම සඳහා ගෙන්වන ලද කේක් පාර්සලය බල්ලන් කෑම හේතුවෙන් උපන් දින සැමරුම කේක් ගෙඩිය පොළොවේ ගැසීමෙන් අවසන් වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්රදේශයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය කෙටියෙන් මෙසේය.
දියණියගේ විසිතුන් වැනි උපන් දිනය ඉකුත් දිනයක යෙදී තිබුණු බැවින්, දියණිය මවිතයට පත් කිරීම සඳහා, ඇය බෙහෙවින් ඇලුම් කරන අයිසින් වර්ගයේ කේක් කිලෝ එකක් නගරයෙන් ගෙන්වාගෙන එදින උදෑසන තේ මේසය සඳහා තැබිය යුතු යැයි කල්පනා කළ ඇයගේ පියා තමාගේ ඥාති පුත්රයකුට එම කටයුත්ත පැවරුවේය.
මෙම ඥාති පුද්ගලයා නිවසින් බැහැරව දුර නගරයකට ගොස් සිටි බැවින් උපන් දිනයේදී තිබුණු දිනම පාන්දර ඔහු ගමට එන නිසා මෙම කේක් ගෙඩිය ගෙන ඒමට ඔහුට පවරා ඇත.
එදින උදෑසන දියණියට ‘‘සුබ උපන්දිනයක් වේවා දුවේ’’ යනුවෙන් සුබ පැතූ පියා ඔහුගේ ඥාති පුත්රයා තවමත් කේක් ගෙඩිය රැගෙන නාවේ මන්දැයි දහ අතේ කල්පනා කරන්නට විය.
මේ කිසිවක් නොදත් දියණිය ඇගේ මව සමඟ කිරිබතක්ද පිළියෙල කර උදෑසන තේ පානය සඳහා තේ වක්කරමින් සිටියාය. ඥාති පුත්රයාගේ මෝටර් බයිසිකලය මිදුලේ නතර කළේය. පියා කඩිමුඩියේම ඥාති පුත්රයා රැගෙන ආ කේක් ගෙඩිය භාර ගැනීමට එතනට දිව ගියේය.
කේක් ගෙඩිය රැගෙන ආ ඥාති පුත්රයාගේ මුහුණ කරත්තයට අසුවුණු කජු ලෙල්ලක් සේ තිබෙනු දුටු පියා ‘‘මොකක්ද පුතා ප්රශ්නය’’ යැයි ඇසුවේය.
කිසිවක් කර කියාගත නොහැකි වූ ඥාති පුත්රයා ඉතා අපහසුවෙන් මෙසේ පැවසුවේය.
‘‘ අනේ මාමේ, මම එන ගමන් නයිට් කඩයකින් මේ කේක් එක අරගෙන ෂොපින් බෑග් එකට දමලා බයිසිකලේ එල්ලුවා. මගදි ඒ.ටී.එම්. එකකින් සල්ලි ගන්න බයිසිකලේ නතර කරලා ගියා. මම ආපහු එනකොට කොහේදෝ හිටපු බල්ලෙක් මේ කේක් එක බාගයක්ම කාලා” යැයි කියමින් පලුවක් නැති කේක් ගෙඩිය පියාට පෙන්නුවේය.
පියාට අසූහාරදාහකට තද විය. කේක් ගෙඩිය අතට ගත් ඔහු දෑතම ඉහළට ඔසවා කේක් ගෙඩිය පොළොවේ ගැසුවේය. ඥාති පුත්රයාට රුපියල් 1000ක් ගෙවා ඔහු පිටත් කළේය. හිස් අතින්ම ගෙතුළට ගිය ඔහු කිරිබත් කෑල්ලක් ගිල දමා කහට කෝප්පයක් සප්පායම් වී උදැල්ලක් කරේ තියාගෙන හෙමින් හෙමින් කුඹුර දෙසට පල්ලම් බැස්සේය. එහෙත් මෙම සිදුවීම ටික වේලාවකින් ගමපුරාම පැතුරුණේය.
දැන් එම පියා දකින විට ගමේ අය ‘‘මාමේ අයිසින් කේක් කෑවද’’ යනුවෙන් අසන විට ඔවුන්ට හොඳ පද දෙකක් කියන බව දැනගන්නට තිබේ.
කැබිතිගොල්ලෑව- හේමන්ත රණසූරිය

