(මහනුවර ෂේන් සෙනෙවිරත්න)
මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයකට දිවා ආහාරය ලබා ගැනීම සඳහා ගිය දෙදෙනකුට ගෑස් සිලින්ඩරය රැගෙන එනතුරු පැය දෙකක් රැඳී සිටින්නැයි කීමේ අපූරු පුවතක් වාර්තා වේ.
ගෑස් හිඟය හේතුවෙන් මහනුවර නගරයේ ආපන ශාලා බොහොමයක් වසා තිබියදී ප්‍රධාන පෙළේ හෝටලයකට විදේශ රටක සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයකු තම මිතුරකු සමග ගොඩවී ඇත්තේ දිවා ආහාරය ලබා ගැනීමටයි.
හෝටලයේ ආහාර විස්තර අඩංගු කාඩ්පත වේටර්වරයා විසින් ලබාදීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය දිවා ආහාරය ඇණවුම් කර පැය භාගයක් පමණ හෝටලයේ අසුන් ගෙන සිටින අවස්ථාවේ වේටර්වරයා කඩිමුඩියේ පැමිණ ඔවුන්ට පවසා ඇත්තේ අනේ සමාවෙන්න සර් හෝටලයේ ගෑස් නැහැ යනුවෙනි.
එහිදී වැඩදුරටත් වේටර්වරයා පවසා ඇත්තේ එක් ගෑස් සිලින්ඩරයක් මාවනැල්ල ප්‍රදේශයේ තිබෙන බවට ආරංචියක් ලැබී ඇති බැවින් එය අරගෙන ඒම සඳහා වාහනයක් පිටත්ව ගිය බවය. එසේම පැය දෙකක් පමණ හෝටලයේ රැඳී සිටියහොත් ආහාර ඇනවුම ලබා දිය හැකි බවයි.
කෙසේ නමුත් එම දෙදෙනා වේටර්වරයාට කිසිවක් නොකියා හෝටලයෙන් පිටව ගොස් නගරයෙන් පිටත තිබූ කුඩා හෝටලයකින් දිවා ආහාරය ගත් බව දැනගන්නට තිබේ.