කෑම නෑ කී මවට හාල් මිටක් දී මාරු වූ ලක්ෂපති පුතා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
උයා පිහා ගන්න අඩුම කුඩුම නැතිව ඉන්නා බවට අම්මා කළ දැනුම්දීමෙන් පසු වෙසක් පොහෝදා නවීන රියකින් පැමිණ නාඩු හාල් කිලෝ පහක පැකට්ටුවක් පමණක් දුන් පුතුගෙන් ලු‍ණු පැකට් එකක්වත් නොගෙනාවේ ඇයිදැයි විමසූ මවක ගැන අපට අසන්නට ලැබිණි.


 වසර හැත්තෑව ඉක්ම වූ මාතාවකි. පදිංචිය ජාඇළට නුදුරු ගම් පෙදෙසකය. ජීවත් වුණේ හුදෙකලාවය. දුර බැහැර පදිංචි දරුවන්ට මේ මව ගැන නිතර සොයා බැලීමේ අවස්ථාව ලැබෙන්නේ ද නැත. ඇගේ නිවෙසට ආසන්නයෙන් වෙසෙන පුතා උපකාරක පන්තිවලින් නමගිය චරිතයකි. එහෙත් ඇය දිවිය ගෙවන්නේ දැඩි අපහසුතා මැදය.


දුර බැහැර සිටින දරුවන් ඉඳහිට ආගියත් ළඟම ඉන්නා පුතු නම් අම්මා බලන්නට එන නොඑන ගානය. කොරෝනා සංචරණ සීමා නිසා දුර බැහැර සිටින දරුවන්ට අම්මාගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නට පැමිණීමට ලැබුණේ ද නැත. මේ නිසා මවගේ එදිනෙදා වේල පිරිමහ ගැනීම මහත් ගැටලුවක් විය. අසල්වාසීන්ට කරදර කරන්නට ද බැරිය. අම්මා සැතැපුම් තුන හතරක් සමීපයේ සිටින එකම පුතුට දුරකතන ඇමතුමක් දුන්නේ වෙනත් කළ හැකි දෙයක් නොවූ නිසාය. 


“පුතේ මට කෑමට අඩුම කුඩුම ටිකක්වත් නැහැ. නංගිලාට එන්න විදියකුත් නැහැනේ.” මව පුතාට තම දුක කීවාය. පුතුගෙන් “හ්ම්” යන වදනවත් පිට නොවිණි. වෙසක්දා දහවල මවගේ නිවෙස ඉදිරිපිට ලක්ෂ හැට හැත්තෑවක් වටිනා නවීන රියක් නතර කෙරිණි. එයින් බැස ආවේ පුතුය. නාඩු සහල් කිලෝ පහක පැකට්ටුවක් ඔහු අත විය. මිදුලේ සිටම හාල් කවරය අම්මාට දී පුතා ආපසු හැරුණේය. 


“අනේ පුතේ ලු‍ණු පැකට් එකක්වත් ගෙනෙන්න තිබුණනේ. එහෙම නම් මට බත් උයාගෙන ලු‍ණු ඉහගෙනවත් කන්න තිබුණා” යි ඇය කියද්දී කිසිත් නොඇසුණා සේ පුතු රියට ගොඩවූයේය.