නිරෝධායන නීතියට අනුගත නොවී කල්ගත කළ ගම්වැසියකු කසිප්පු මුදලාලිගේ බහට අවනතව මුව ආවරණය පැළඳීමට කටයුතු කිරීමේ සිද්ධියක් සියනෑවේ දුරබැහැර ගම්මානයකින් වාර්තා විය.
කිසිවකුට ඇහුම්කන් නොදුන් පුද්ගලයෙකි. කොරෝනා වාතාවරණය මැද්දේ මහ මග ගමන් කළේද ඔහුට සිතැඟි පරිදිය. ගෙදර මෙන්ම අසල්වැසියන් කරන ඉල්ලීමක් හෝ ඉටු කරන්නට මේ පුද්ගලයා අකමැතිය. මුව ආවරණය නැතිව පාරට තොටට යන්නට එපායැයි කරන ඉල්ලීම් ඔහු කනකට ගත්තේ නැත. ගමේ කඩයට ගියත් ඔහු කටින් ජයගෙන තමන්ගේ වැඩේ කරගන්නට සමත් වූයේය.
කෙසේ වෙතත් ඔහු දිනපතා ගිය ගමනක් විය. ඒ හවසට කසිප්පු ටිකක් තොල ගාන්නටය. පෙරදා කසිප්පු පොළට පැමිණි පොලිසිය මුව ආවරණ නැති පිරිස් අල්ලාගෙන ගොස් තිබිණි. පසුදා එහි ගිය මොහුට කසිප්පු මුදලාලි පැවසුවේ මින් ඉදිරියට මුව ආවරණයක් නැතිව එන්න එපා කියාය. අදට විතරක් සීයක දෙන්න කියා ඉල්ලුවත් මුදලාලි ඒ සඳහා එකඟ නොවීය. ගැනුම්කරුවා ආපසු ගියේය. ටික වේලාවකින් ආවේ මුඛ ආවරණ එකට දෙකක් පැළඳගෙනය.
සීයක මිලදී ගත්තේය. පානය කළ පසු යළි මුව ආවරණය පැළඳ පිටව ගියේ මහත් උජාරුවෙනි. දැන් ඔහු නිතරම මුව ආවරණ පැළඳ ගමනේ යෙදෙන්නේ කසිප්පු මුදලාලිගේ බහට අවනත වීම නිසා බව ගම පුරා ප්රකට වූයෙන් දින කිහිපයකට පසු වෙනත් කසිප්පු පොළක් සොයා ගිය බව ද දැන ගන්නට ලැබිණි.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)