(තිහගොඩ උපසේන ලියනගම)
තම කඩය අසලින් යන බස් රථයක අමුතු හෝන් හඬට යක්ෂාරූඪ වූ මුදලාලි කෙනකු ගැන පසුගියදා අසන්නට ලැබුණේ වියළි කලාපයේ දුෂ්කර ගම්මානයකිනි.
මේ ගම්මානයේ ප්‍රාදේශීය දේශපාලකයකු රජයේ අනුග්‍රහය ඇතිව මාර්ගය සකස් කොට පසුගියදා එහි බස් රථයක් ධාවනය කරවීමට කටයුතු කළ අතර, බසයේ මංගල ගමන ඇරැඹි දා ප්‍රබල දේශපාලකයකු ගෙන්වා උත්සවයක් ද පැවැත්වීය.
උත්සවය සඳහා ගමෙන් ලොකු මුදලක් එකතු කිරීමට යාමේ දී මේ කඩයේ මුදලාලිට ද ඊට දායක වන ලෙස ඉල්ලීමක් කළ ද, විරුද්ධ පක්ෂයේ දැඩි හිතවතකු වූ ඔහු එය ප්‍රතික්ෂේප කළේ චෝදනා රැසක් ද රජයට එල්ල කරමිනි.
එහෙත් සංවිධායකවරුන් මහ ඉහළින් උත්සවය පැවැත් වූ අතර, බසය තම කඩේ ඉදිරියෙන් යන හැම විටකම අමුතු හෝන් හඬක් නගමින් එය ධාවනය වීම ඔහු නොරිස්සුවේය. ඉන් නැගෙන හඬ ඔහුට මහත් අප්පිරියාවකි.
මේ හඬ අසා සිටි හිතවතකු කීවේ මෙය බසයේ සාමාන්‍ය හෝන් හඬ නොව මුදලාලිට ඔච්චම් කිරීමට කඩය අසලදී පමණක් නාද කිරීමට යොදාගනු ලැබූ වෙනත් හෝන් හඬක් බවය.
පසුවදාම කඩය අසල දී බසය නවතා රියැදුරාට තද චෝදනාවක් කොට පහරදීමට පවා තැත් කළ විට රියැදුරා බසයේ ගමන වේගවත් කොට අප්පිරියා හෝන් හඬ නොනවත්වාම ගසාගෙන ගියාලු.