උපහාර උළෙලේ විශිිෂ්ටයා සහතිකය අරන් පිස්සු කෙළලා


(කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවය ඇගයීම සඳහා පැවැත්වුණ සේවක උපහාර උළෙලකදී ප්‍රශංසා සහතිකයක් හිමිකර ගත් සේවකයකුට ප්‍රශංසා සහතිකය ලබාගෙන දින දෙකක් ගතවීමට මත්තෙන් වැඩ තහනම් කිරීමේ ලිපියක් නිකුත් කිරීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා පළාත් පාලන ආයතනයකින් වාර්තා වෙයි.


 රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හමුවේ සිය රාජකාරී කටයුතු කිරීමේදී  විශිෂ්ට දායකත්වයක් දැක්වූ සේවකයන්  සහ ආයතනය ඵලදායිතා සම්මාන තරගාවලියට ඉදිරිපත්වීමේදී ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කළ සේවකයන් ඇගයීම සඳහා මෙම උපහාර උත්සවය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබිණි. 


සේවක උපහාර උත්සවය පැවති දිනයට පසුදින රාජකාරී කටයුතු කරන අතරතුර සිදුවී ඇතැයි කියන විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් සේවක උපහාර උත්සවයේ උණුසුම මැකී යාමටත් කලින් එම සේවකයාට වැඩ තහනම් කිරීමේ ලිපියක් ආයතන ප්‍රධානියා විසින් නිකුත්කර තිබෙන බව කියති. 


සේවකයන් දිරිගන්වා ආයතනය මගින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබාදීමට ආයතන ප්‍රධානීන් දරණ උත්සාහය සේවකයන් වටහා නොගැනීම කනගාටුදායක තත්ත්වයක් බව ආයතනයේ සෙසු සේවකයෝ පෙන්වා දෙති.