ඉඩමෙන් අඩියක් දෙන්න කතගෙන් ​තොත්තුවක් ඉල්ලලා


(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
තම නිවෙස අසල පිහිටි නිවෙසකට යන පටු මාර්ගය පළල් කරගැනීම සඳහා තම ඉඩමෙන් අඩියක් ලබා දීම සඳහා එම නිවැසි කාන්තාවට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කන්ද උඩරට ප්‍රදේශයේ පොලිසියක් කටයුතු කරනු ලැබ තිබේ.


සිද්ධිය මෙසේය.


කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක එක ළඟ පිහිටි නිවෙස් දෙකකි. එක් නිවසක් ප්‍රධාන මාර්ගයට යාව පිහිටා ඇති අතර අනෙක් නිවස මුල් නිවසට පිටුපස පිහිටා ඇත. පසුපස නිවෙසට යාම සඳහා මාර්ගය වැටී ඇත්තේ මුල් නිවස අසලින් වන අතර එම පාර ඉතා පටුය. අඩුම තරමින් ත්‍රිරෝද රථයක් හෝ යා හැකි ආකාරයට එම මාර්ගය පළල් කර ගැනීම සඳහා මුල් නිවෙස හිමිකරුගෙන් ඔහුගේ ඉඩමෙන් අඩියක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබ තිබේ. 


කෙසේ නමුත් මේ ගැන නිතර නිතර ඉල්ලීම් කිරීමට එම නිවැසි කාන්තාව මුල් නිවසේ හිමිකරු හමුවී ඇති අතර එහිදී ඔහු තම ඉඩමෙන් අඩියක් ලබා දීමට නම් කාන්තාවට අයුතු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 


කාන්තාව එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති නමුත් අවසානයේ ඔහු පවසා ඇත්තේ තම ඉඩමෙන් අඩියක් ලබා දීමට නම් අඩුම වශයෙන් හාදුවක් හෝ තමන්ට ලබා දිය යුතු බවයි. 


මෙයින් දැඩි ලෙස කෝපයට පත් කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.