IMG-LOGO

සිංහල සිනමාවෙි නිධානය - මාලිනී

සංචින්තා

 

 

කැලණිය ගුරුකුල විදුහලෙන් සිප් සතර හැදෑරූ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා  විද්‍යාලංකාර නාට්‍ය සංගමය වෙනුවෙන් එච්. වී. වීරසිරි නිෂ්පාදනය කළ "නොරත රත" නාට්‍යයෙන් රංගනයට අවතීර්ණ වූවාය. 1964 දී එස්. කරුණාරත්න  නිෂ්පාදනය කළ ගුත්තිල නාට්‍යය මාලනී නිරූපණය කළේ දිව්‍යාංගනාවකගේ භූමිකාවකි.

මේ දිව්‍යාංගනාව 1965 අකල් වැස්ස නාට්‍යයේ චරිත නිරූපණය කරමින් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි. සජීව ප්‍රකෘති වේදිකාවේ රංග අභියෝගයන් අතික්‍රමණය කරමින් මෙම කෝඩුකාර නිළිය සිනමාවට පිවිසෙන්නේම රංගවේදය පිළිබඳ යම් පරිචයක් ඇතිවය. ඇය වටා සිටි බහුශ්‍රැත නාට්‍යකරුවන්ගෙන්, ඔවුන්ගේ සංවාද විසංවාදවලින් සහ මනුෂ්‍යත්වයේ ගැඹුරුම දාර්ශනික මතිමතාන්තරවලින් ඒ වන විට මාලනී පන්නරයක් ලබා සිටියාය.

1968 දී පුංචි බබා චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසෙන මාලිනී ෆොන්සේකා ඉතාමත් කෙටි කලකින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ හද බැඳගන්නට සමත් වූවාය. වසර කිහිපයකින්"තුෂාරා"සහ හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපටවලින් ඈ හිමිකරගත්තේ අද්විතීය ජනප්‍රියත්වයකි.

පෙරදිග කාන්තාවකට ආවේණික සුන්දරත්වය මාලිනීගේ රූපකාය තුළ ගැබ් වී තිබිණ. ලාංකික කාන්තා පරපුරේ අනන්‍යතාව නිරූපණය කරන්නට එය ඇයට බෙහෙවින් ඉවහල් විය. එය බටහිර ආකෘතිවාදී සිනමාකරුවන්ට ගැළපෙන්නක් වූයේ නැත. එහෙයින්ම ඇගේ රූපකාය බෙහෙවින්ම ඉල්ලා සිටියේ ජනප්‍රියවාදී සිනමා රැල්ලයි. මුල් කාලීනව එයින් අත්මිදුණු ඇගේ නිරූපණ කිහිපයක් කාච ගත කරන්නට බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, නිධානය සහ සොල්දාදු උන්නැහේ වැනි චිත්‍රපට සමත් විය.

සිරිපාල සහ රන් මැණිකා චිත්‍රපටයේ මාලනීගේ රංගනය දුටු අද්විතීය සිනමාවේදී සත්‍යජිත් රායි පැවසුවේ සිය අලංකාරය සහ චමත්කාර ප්‍රතිරූපය බිඳ ග්‍රාම්‍ය චරිතයක් නිරූපණය කරන්නට මාලිනී කළ කැප කිරීම අගය කළ යුතු බවයි. භාරතීය ඉංග්‍රීසි සඟරාවක් වූ Film world මාලනී ගැන ලිපියක් පළ කරමින් ඇය හැඳින්වූයේ සිංහල රිදී තිරයේ ආර්යාව වශයෙනි.

මාලනී රංග න්‍යාය සහ භාවිතය පිළිබඳව සොයා බැලීමේදී ඈ තුළ වූ ස්වයං හැදෑරීමේ ගුණය අවධානයට පාත්‍ර විය යුතුය. මුල් කාලීන පුහුණුවීම් බොහෝමයකදී ඈ අත "සංස්කෘති" සඟරාව හෝ යම් සාහිත්‍ය කෘතියක් නිරන්තරයෙන්ම තිබූ බව ප්‍රචලිතය. ඇගේ රංග ශික්ෂණය සකසන ලද්දේ එකී ප්‍රබුද්ධ රුචිකත්වය ඔස්සේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානයෙන් පසු මාලනී ෆොන්සේකාගේ රංග මහිමය ප්‍රබලව මතු කරගත් සිනමාකරුවා ආචාර්ය ධර්මසේන පතිරාජය.
එයා දැන් ලොකු ළමයෙක් කෘතියේ බාහිර මෙන්ම අභ්‍යන්තර මනෝභාවද ගැඹුරින් ප්‍රකට කරන්නට ඈ සමත් වූවාය. අධ්‍යක්ෂවරයාගේ විශිෂ්ට ප්‍රතිභාව හැරුණු කොට මුළු චිත්‍රපටය පුරාම පෙනෙන්නේ මාලනීගේ රංගනයේ දෝංකාරය බව මහාචාර්ය සුචරිත ගම්ලත් ලියා තැබුවේය. එහි රංගනය වෙනුවෙන් 9 වැනි මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ  ඩිප්ලෝමා සහතිකයක් මාලිනීට හිමි විය. එය ශ්‍රී ලාංකික නළුවකු හෝ නිළියක හෝ ලද ප්‍රථම අන්තර්ජාතික ජයග්‍රහණයයි.

බඹරු ඇවිත් හි ලිංගික සූරා කෑමට ලක්වන තරුණියකගේ චරිතයද සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ පරමාධිපත්‍යය කුණුහරුපයක් සේ සලකන පේමක්කා නම් වූ ගණිකාවගේ චරිතයද ඇය රඟපෑවේ චිත්‍රපටයේ සමුදයාර්ථයට අදාළ රංග ශෛලියක් චිත්‍රණය කරමිනි.
අනූපමා, අපේක්ෂා, හිඟන කොල්ලා, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක්, දඬු මොනර, එක්ටැම් ගේ, සිරි මැඳුර, මධුසමය,ස්ත්‍රී සහ අන්තිම රැය වැනි චිත්‍රපටවල මාලනී කළ රංගනයන්ද විවිධත්වයෙන් පිරිපුන්ය. ඇය සම්භාව්‍ය සිනමාවේ දක්ෂතම චරිතාංග නිළිය බවට පත්වූයේ ඉතාමත් කෙටි කලකිනි.

සිය පෞද්ගලික හැසිරීම් ඉක්මවා යමින් චරිතයට අදාළ භාව ප්‍රකාශනයේ යෙදීමෙන් මහා නළුවන් සහ නිළියන් බිහි වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. චිත්‍රපට තාක්ෂණය හා සැසඳෙන ලෙස හැඟීම් ප්‍රකාශනයට රංගධරයන් හුරු වූයේ සිනමා තාක්ෂණයේ දියුණුවත් සමඟය. ජගත් සිනමාවේ අපට මුණ ගැසෙන්නේ බොහෝවිට රඟපෑම විද්‍යාත්මකව හැදෑරූ නළු නිළියන්ය. මාලනී රංග කලා පිළිබඳව ආයතනික පුහුණුවක් නොලැබුවාය. මාලනී පුරාවෘත්තයක් වන්නේ ප්‍රතිභාව සහ ස්වයං හැදෑරීම ඔස්සේ ගොඩනගා ගත් රංග රීතියකිනි. සතතාභ්‍යාසයෙන් සහ ව්‍යුත්පත්තියෙනි. එකසිය පනහකට අධික භූමිකා ඇය නිරූපණය කරන්නේ මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ පිළිබිඹු කරමිනි. එම චරිතවලට ඇය දෙන  මිනිස් හැඩතල ඔස්සේ ඇගේ රංගෝපාය විධික්‍රම සැකසී තිබේ.

නිධානය, එයා දැන් ලොකු ළමයෙක්, සිරිපාල සහ රන් මැණිකා, බඹරු ඇවිත්, බැද්දේගම, සොල්දාදු උන්නැහේ, වෑකන්ද වලව්ව වැනි චිත්‍රපටවල ඇගේ රූපණ හාත්පසින්ම එකිනෙකට වෙනස් හැඩතල ග්‍රහණය කර ගනී. ගැහැනිය පිළිබඳ විවිධ අර්ථ ප්‍රකාශන ඇය සිය භාව නිරූපණය ඔස්සේ පිළිබිඹු කරන ආකාරය ප්‍රශස්තය.

සිය දීර්ඝ නිර්මාණ චාරිකාවේ අවසානය සලකුණු කරන විට මාලනී රංග විද්‍යායතනයක් පමණට පරිපාකයට පත්ව සිටියාය. ඇය දේශීය සිනමාවේ එක් පරිච්ඡේදයකි. ශ්‍රී ලාංකේය කාන්තාවගේ සතුටත් කඳුළත් පිළිබිඹු කළ ඇය දේශීය සිනමාවේ භූමිකා නිරූපණයේ ජාතික ලකුණ බවට තර්කයක් නැත.

39 වැනි අන්තර්ජාතික ඉන්දීය චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානය හිමි කරගත්  ආකාස කුසුම් චිත්‍රපටයේ සන්ධ්‍යා රාණි භූමිකා රංගනය මාලිනිගේ පරිපාකයට පත් සිනමා ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් විය. 

මාලනී සිංහල සිනමාවේ නිළි රැජන ය. ඇය පොදු ජන මනසේ ජනප්‍රවාදයකි.  විද්වත් ඇගයීම තුළ පුරාවෘත්තයකි.

පසුගිය දශක දෙක තුළ සිනෙස්ටර් සංවිධානයේ විවිධ කටයුතුවලදී ඇය සමඟ සමීපව කටයුතු කරන්නට ලැබීම මා ලද භාග්‍යයකි

 



අදහස් (0)

සිංහල සිනමාවෙි නිධානය - මාලිනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1467 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 602 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site