
“මට සුගත් කියපං. නැත්තන් මිස්ටර් සිල්වා කියපන්. අයියා කෑල්ලට මං එතරං කැමති නෑ.”
සුගතපාල ද සිල්වා අපට එසේ කියා තිබුණි. එහෙත් ඔහුගේ දරුවන්ගේ වයසේ අය (ගුවන් විදුලි නාට්‍ය ශිල්පීන්) ඔහු ඇමතුවේ ‘සුගත් අයියා’ නමිනි. පුද්ගලයකුට නමක් ගමක් නැතුව නොකියා දිගු කලක් ඇසුරු කිරීම අපහසු කාරණයක් වුව ද, මම ඔහුට කතා කළේ “නිකම්මය.”
සුගතපාලගේ ගුවන් විදුලි නාට්‍ය මේසය අසල දී මුණගැසෙන අය අතුරින් කරුණාරත්න අමරසිංහ මට මිස්ටර් අමරසිංහ විය. ජේ. එච්. ජයවර්ධන මිස්ටර් ජයවර්ධන ය. අයියලා සිටියේ කීප දෙනෙකි. මහින්ද අල්ගම හා අශෝක තිලකරත්න ද ඒ අතර විය. ජ්‍යෙෂ්ඨයකු වුවත් බණ්ඩාර කේ. විජේතුංගට මා කතා කළේ ‘බණ්ඩාරේ’ යනුවෙනි. ඔහු මට දැක්වූ සහෝදරත්වය ඊට හේතු වූවා විය හැකි ය. එසේ නොවන්නට ඔහු ද අනිවාර්යයෙන්ම මිස්ටර් විජේතුංග ය.
එක් කලෙක, සුගතපාලගේ මේසය අසල තවත් ‘මිස්ටර්’ කෙනකු සිටියේ ය. ගුවන් විදුලියේ බලධාරින් විසින් පැත්තකට දමා තිබූ ඔහු විමල් අභයසුන්දර නම් වූ පඬිවරයා ය. අභයසුන්දර මහතා වැඩි කතා බහක් නැති නිශ්ශබ්ද පුද්ගලයෙකි. සිනහවකින් පමණවත් අපට සංග්‍රහ නොකළ ඔහු හැමවිටම කිසියම් වැඩක නිරතව සිටියේ ය.
ගුවන් විදුලිය අභයසුන්දර මහතාගෙන් වැඩ නොගත් නමුදු සුගතපාල නම් ඔහුගෙන් බොහෝ දේ දැන ගත්තේ ය. අපට ද ඒ බව කීවේ ය. “මේ මනුස්සයා මගෙ ළඟ ඉන්න එක මට ලොකු වාසියක්. භාෂාව ගැන, සංස්කෘත වචන ගැන ඕනෑම දෙයක් දැන ගන්න පුළුවන්. අභයසුන්දර කියන්නේ ශබ්දකෝෂයක්”.
සුගතපාල ද සිල්වා වාමාංශික දේශපාලන මතධාරියෙකි. ඔහු තමන් මාක්ස්වාදියකු ලෙස හඳුන්වා ගත්තාදැයි මට හරියටම මතක නැත. නාට්‍යයක් හෝ නවකතාවක් ලියන විට, මුල්පිටුවේ උඩින්ම ‘නමෝ බුද්ධාය’ යනුවෙන් ලිවීම ඔහුගේ සිරිතකි. ඔහු ගුවන් විදුලියේ ධර්ම දේශනා ශ්‍රවණය ද ප්‍රිය කළේ ය. බැතිමතකු ලෙස නොව නාට්‍යකාරයකු ලෙස බණ දෙසුම් තුළින් උගත හැකි බොහෝ දේ තිබෙන බව ඔහු අප සමඟ කියා ඇත.
සුගතපාලගේ ජීවන දැක්ම ඉතා පොහොසත් විය. ඒ අනුව ගොඩනැඟුණු ඔහුගේ පැවැත්ම ඉතා සරල විය. බාල සෙරෙප්පු දෙකක් මිස කිසිදා පාවහන් නොපැලඳි ඔහු තම දරුමල්ලන් ද කැටුව කුලී ගෙයින් ගෙයට මාරු වෙමින් දුෂ්කර ජීවිතයක් ගත කළේ ය. ගෙවල් දොරවල්, ඇඳුම් පැලඳුම් යාන වාහන හෝ රුපියල් සත ගැන ඔහු එතරම් තැකීමක් නොකළේ ය. අවසාන කාලයේ දී ඔහුට ආණ්ඩුවෙන් ඉඩකඩ අඩු මහල් නිවාසයක් ලැබුණි.
සයිමන් නවගත්තේගම ද විසූවේ එවැනිම මහල් නිවෙසක ය. තුට්ටුවක් නොවටිනා පුස්සන් නිල නිවාසවල සුඛෝපභෝගීව වෙසෙද් දී, මේ රටක් වටිනා මිනිසුන්ට ලැබුණේ ‘තුට්ටු දෙකේ’ තට්ටු නිවාස ය.
සිය ජීවිතයේ අවසාන සමයේ දී, සයිමන් නවගත්තේගම මා සමඟ මෙසේ කීය.
'මම හම්බ කරපු සල්ලි ඉතුරු කෙරුවා නං මට මාලිගාවක ජීවත් වෙන්න තිබුණා.' ඒ මොහොතේ ඔහුගේ මුහුණේ කිසියම් පසුතැවීමක ලකුණක් පිළිබිඹුවී දැයි මට දැන් නිශ්චිතව සිතා ගත නොහැකිය.
සුගත් ද ලද දෙයින් සැනහුණා මිස පසුතැවීමෙන් කල් ගෙවූයේ නැත. ඔහු අවසාන සමය ගෙවූයේ උපේක්ෂා ගුණයෙන් පිරි තවුසකු මෙනි. රෝගීව සිටි අවදියේ ඔහු ටෙලි නාට්‍ය පිටපතක් රචනා කොට, එය ටෙලිස්ටාර් අධිපති බන්දුල වීරක්කොඩි වෙත යැවී ය.
බන්දුල කාර්යබහුල පුද්ගලයකු බැවින්, එම පිටපත දින ගණනාවක් ම ඔහුගේ කැබ් රථයේ රැඳෙමින් ඒ මේ අත ගියේ ය. බන්දුලට එම පිටපත ගැන සිහි වී සොයද්දී එය අතුරුදන් වී තිබුණි.
චෙක්පතක් ද ලියාගත් බන්දුල රත්මලානේ පිහිටි සුගත්ගේ නිවෙසට ගියේ සිදු වූ දෙය පවසා ටෙලිපිටපතේ මුල් පිටපත ඉල්ලා ගැනීමට ය. “මම අතින් ලියපු මුල් පිටපත තමයි බන්දුට එව්වේ. වෙන පිටපතක් නෑ.”
බන්දුට තරු පෙනුණි. එහෙත් සුගත්ගේ මුවගෙහි සිහින් සිනහවක් මතුව තිබුණි. “බන්දු ඕක ගණන් ගන්න එපා. මට ජීවිතේ ඔයිට වඩා දේවල් නැතිවෙලා තියෙනවා.” බන්දු, මේ උදාර මිනිසා දෙස බලා සිටියේ මවිතයෙනි.
ජීවිතයේ දුෂ්කර අවදියක මගේ එකම ආදායම් මාර්ගය වූයේ ගුවන් විදුලි නාට්‍ය පිටපත් වෙනුවෙන් ලැබුණු ‘වවුචරය’. එහි ගිණුම් අංශයේ සිටි ඇතැම් මිතුරන් මට ‘අක්ෂර වෙළෙන්දා’ යැයි නමක් ද පටබැඳ තිබුණි. වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක රැකියාවකට ගිය පසු පසුම්බිය බර වුයෙන්, ගුවන්විදුලිය මගෙන් කෙමෙන් දුරස්වන්නට විය. ඒ කාලයේ දිනෙක අවන්හලක දී මට සුගත් හමු වුණි.
“පසුගිය කාලේ ඔබ මා ජීවත් කෙරෙව්වා.” මම කීවෙමි.
සුගත් මා දෙස රවා බැලුවේ ය.
“උඹ තවත් ඒ කතාව කියන්න එපා. උඹ ජීවත් වුණේ උඹේ හැකියාවෙන්. මම කෙරුවෙ මගෙ රස්සාව.”
බණ්ඩාර විජේතුංග මියගිය පසු මම සතිඅන්ත පුවත්පතකට ඔහු පිළිබඳ ලිවීමි. එහි එක් තැනක ගුවන් විදුලි නාට්‍යයක් පටිගත කිරීමෙන් පසු සුගත්, බණ්ඩාර, ජේ. එච්. කරූ ආදීන් සමඟ අවන්හලකට ගොස් හෝරාවක් දෙකක් ගත කරන අයුරු ද සඳහන් කළෙමි. එය දුටු සුගත් මට දොස් කීවේ ය.
“ඇයි උඹ එහෙම ලිව්වේ. මම නාට්‍ය රචකයන්ගෙන් කනව බොනව කියලා මිනිස්සු වරදවා තේරුම් ගනීවි.” ඊට වසර කීපයකට පසු, මට සුගත් මුණගැසුණු මොහොතක මම ඔහුට මධුවිතකට ඇරියුම් කළෙමි. “එපා ඕනෙ නෑ.” ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ කරුණාබර හඬිනි.
මම ඔහු දෙස ඕනෑකමින් බැලුවෙමි.
සුගතපාල ද සිල්වා සිතින් – ගතින් දෙකින් ම මහලු වී සිටියේ ය.
සුගත්ගේ මතකය කෙමෙන් කෙමෙන් ඔහු හැරදා යන්නට විය.
එහෙත්, ඔහු පිළිබඳ මතකය කිසිදා අප හැර යන්නේ නැත.
2002 ඔක්තෝබර් 28 දා සුගතපාල ද සිල්වා සිය ජීවන නාටකය ලියා අවසන් කළේ ය.
2025 දෙසැම්බර් මස 04
586
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
502
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
427
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රඟ මඬලේ සොඳුරු මිනිසා