IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !

සාමීචිය - 10

 

 

සංගීතයේ විශ්වභාෂී ගුණය සුවිශද කරමින් අගනා නිමැවූම් රාශියක් රසික ප්‍රජාවට දායාද කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ සිංහල ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස් කළ සුකීර්තිමත් ගාන්ධර්වයෝය.ඔවුහු සිංහල ගීතය පමණක් නොව සංගීතය ද සෞන්දර්ය ගුණ පූර්ණ සරුසාර ඉසව්වකට කැටුව ගියෝය.සිංහල සිනමා සංගීතයේ විප්ලවීය ගාන්ධර්වයෝ ද කේමදාසයෝය.

ලාංකේය සිනමාවෙි ප්‍රේම ගීතාවලියේ ද පසුබිම් සංගීතයේ ද යුගකාරක මෙහෙවරක නියැලුණු මෙි අද්විතීය ගාන්ධර්වයෝ විශ්ව සංගීතයේ සියලු මුලාශ්‍ර සංස්පර්ශ කරමින් ඔපෙරා,සංධ්වනි,කැන්ටාටා වැනි මියැසි නිමැවුම් රාශියක් ම බිහි කළෝය.මානසවිල,දොරමඬලාව, සොඳුරු වර්ණදාසි,අග්නි වැනි දැවැන්ත ඔපෙරා එහි සාර්ථකත්වයට දෙස් දෙයි.කේමදාසයන් සුජීවත්ව සිටි සමයේ සජීවීව මුණගැසී පවත්වන ලද මෙි සම්මුඛ සාකච්ඡාව අද්‍යතන සංගීතය සහ ගීතය පිළිබඳ කළ විවෘත සංවාදයකි.මෙය ගොඩගේ ප්‍රකාශකයන් විසින් 2017 වසරේ  පළකළ මාගේ "සාහිත සංචින්තා" නමැති කෘතියෙන් උපුටා ගන්නා ලදී


මම

ලෝකයේ විවිධ රටවල් සමඟ සංසන්දනාත්මකව බලන විට ලංකාවේ සංගීත රසවින්දනය එතරම් උසස් මට්ටමක නැහැ. විශේෂයෙන් ම සංගීත රසවින්දනය පිළිබඳ සම්ප්‍රදායක් (ශාස්ත්‍රිය හෝ ජනප්‍රිය) ගොඩනැගී නොතිබීමත් ගීතය අධිනිශ්චය වීමත් මේ සඳහා බලපා තිබෙනවා. සංගීතය ගීතය තුළින්ම හඳුනාගැනීම මූලික වී තිබෙන රටක ඔබෙි අභිනව ව්‍යායාමය ඉතා විප්ලවකාරී මෙන්ම අභියෝගාත්මක එකක්.  වාද්‍ය සංගීත ප්‍රවණතාවක් නොතිබෙන ලංකාව වැනි රටක සංගීත රසිකයන් සමඟ "අග්නි" වැනි ඔපෙරාවක් මගින් ඔබ ගනුදෙනු කරන්නේ කොහොමද?

කේමදාස

සංගීතය කුමක්ද යන්න හඳුනා නොගත් රටකට මෙබඳු ඔපෙරාවක් හඳුන්වා දීම එක අතකින් විශාල අභියෝගයක් තමයි.  සංගීතය රස විඳිනවා කියන්නේ භාෂාව හඳුනා ගැනීම නෙවෙයි. සංගීතය ප්‍රබල අාස්ථානයක පිහිටා තිබෙන දෙයක්. වචනය ඉක්මවා ගිය තැනයි සංගීතය බිහිවන්නේ. වචනයත් සමග බිහිවන සංගීතයක් නැහැ.අනික එක් සංගීත සම්ප්‍රදායක් අධ්‍යයනය කළ පමණින් සංගීතය ඉගෙන ගන්න බැහැ. සම්ප්‍රදාය සංගීතයේ ශාඛාවක් පමණයි. තවමත් අපේ රටේ සිද්ධ වෙන්නේ ඉන්දියාව වගේ රටකට ගිහින් එක් සම්ප්‍රදායක් හදාරන එක විතරයි.මේ නිසා වාද්‍ය සංගීතය හඳුනාගැනීමේ පසුබිමක් හෝ ඒ සම්බන්ධයෙන් පුරුදු පුහුණු වූ රසික ප්‍රජාවක් අපට නැහැ. ඔබ කිව්ව ආකාරයට ගීතය තුළින් සංගීතය හඳුනා ගැනීමේ ප්‍රවණතාවක් තමයි මේ රටේ  තිබෙන්නේ. අපි දැන්වත් එතැනින් එහාට යන්න උත්සාහ කළ යුතුයි.

විශේෂයෙන්ම ඔපෙරාවක් නිර්මාණය කරනවා කියන්නේ සුළු පටු දෙයක් නෙවෙයි.සාමාන්‍යයෙන් ඉතාලි භාෂාවෙන් ඔපෙරාවක පිටපතකට කියන්නේ ලිබරටු(Libaratto)'කියලා.එහි රචකයාට කියන්නේ ලිබරටිස්ට් ( Libarattist)'කියලා.ඔපෙරාවක පිටපත් රචනා කිරීම පවා බොහොම අසීරු දෙයක්. විශේෂයෙන් ම රචකයා තුළ සංගීතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබිය යුතුයි. බීතෝවන්, මොසාට් වැනි උසස්  සංගීතඥයන්ගේ පැය දෙකක් පුරා දිව යන සිම්පනියක පවා ආරම්භය ස්වර දෙකයි තුනයි.මෙය එකින් එක විවිධ රිද්ම ඔස්සේ වර්ධනය වෙමින් පැය ගණනක්ම වාදනය වෙනවා. ඒත් අපේ රටේ විනාඩි තුනක ගීතයක පැය තුනක විතර සංගීතය තිබෙනවා.මේ විදියට කොහොමද සංගීතය රසවිඳින්නේ. මේවා සංගීත පාඩම්. සංගීත පාඩමයි සංගීතය රසවිඳීමයි කියන්නේ දෙකක්. තවම මේ රටේ තිබෙන්නේ සංගීත පාඩම්. ස්වර ටිකක් එහාට මෙහාට කරන එක සංගීතය නොවෙයි. ස්වර දෙක තුනක කම්පනය රසිකයාගේ හදවතට වදිනවා. ඔවුන්ට ඒක මතක හිටිනවා.

 

මම

ඔබ ජනප්‍රිය සහ සම්භාව්‍ය සංගීතය අතර කිසියම් අතරමැදි සම්බන්ධතාවක් ගොඩනැගූ සංගීතඥයෙක්. සැනසුම කොතැනද, බඹරු ඇවිත් වැනි චිත්‍රපට වලින් මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වෙනවා.  ඒත් ලාංකේය ජනප්‍රිය සංගීතය බොහෝ විට ගීත නිර්මාණය සහ චිත්‍රපට සංගීතය යන ක්ෂේත්‍ර දෙක තුළ පැතිර ගිය මාධ්‍යයක්. විශේෂයෙන් ම ජනප්‍රිය ගීත  නිර්මාණයේදී පද රචනය සහ ගායනය ප්‍රධාන වීම නිසා ජනප්‍රිය සංගීතය සංගීත ප්‍රවණතාවක් වශයෙන් සමාජය තුළ ප්‍රචලිත වී නැහැ. ලංකාවේ ජනප්‍රිය වාද්‍ය සංගීත ප්‍රවණතාවක් දකින්නට නොලැබීම පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

කේමදාස

අපි ජනප්‍රිය සංගීතය කියලා තවමත් කබල් සින්දුවක් පස්සේ දුවමින් ඉන්නවා. ජනප්‍රිය වාද්‍ය සංගීත ප්‍රවණතාවක් බිහි නොවීමට මූලික හේතුව වී තිබෙන්නේ මේ කබල් සින්දුව. හැමදාම සන්නාලියනේ, ඕලු පිපිලා විතරක් වමාරලා වැඩක් නැහැ. මේගොල්ලෝ හැමදාම හැමදේම ගන්නේ ඉන්දියාවෙන්. ඒක මම වරදක් හැටියට දකින්නේ නැහැ. එහෙත් අපි එකම තැන භ්‍රමණය වෙන්නේ නැතිව විශ්ව සංගීතයේ නව ඉසව්, මං පෙත් සොයා පාදා ගත යුතුයි. මේ රටේ සංගීතඥයන් ලෙස පෙනී සිටි ඇතැමුන් සහෘද රසික ප්‍රජාව මොනතරම් මුළා කොට තිබෙනවාද? ඔවුන් හැමදාම කළේ තමන්ට යායගන්න බැරි තැන පෙන්නන්නේ නැතුව එකම තැන මිනිස්සු රඳවාගෙන හිටපු එක. මුළු ජාතියක්ම පල්වළකට ඇදලා දැම්මා.සංගීතය කියන්නේ මොකක්ද කියන එක මාධ්‍ය තුළින් මෙහෙමහරි කතාබහ කළේ නැත්නම්  සාමාන්‍ය මිනිස්සු සංගීතය පිළිබඳ මෙලෝ හසරක් දන්නේ නැහැ.

 

මම

සංගීතයේ පමණක් නොව ගීතයේ ද ආකෘතිමය වෙනසක් ඇති කිරීමට ඔබ ප්‍රමුඛ වූ සංගීතඥයෙක්.ඔබ මෙි අභියෝග ය බාරගත්තේ කොහොමද ?

කේමදාස

සම්භාව්‍ය සංගීතයේ පමණක් නොවේ  ජනප්‍රිය සංගීතය තුළ පවා ආකෘතිමය වෙනසක් ඇති කළ යුතුයි. සංගීත නිර්මාණකරණය කියන්නේ වෙනම දෙයක්. මේ රටේ සංගීතය ඉගැන්වීම තුළ පවා විශාල අර්බුදයක් තිබෙනවා.උදාහරණයක් විදිහට උසස් පෙළ විභාගයෙන් සංගීත විෂය සමත් වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන විද්‍යාර්ථියෙක් ගන්න.ඔහු  උසස් පෙළ පන්තියෙන් ඉගෙන ගෙන එන රාග දොළහට අමතරව සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් තව රාග පහක් පමණ ඉගෙන  ගන්නවා. අවසානයේ මේ රාග 17 ඉගෙන ගෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නික්මෙන මෙි තැනැත්තා  කොහේහරි පාසලක සංගීත ගුරුවරයකු විදියට  පත්වීමක් හදාගෙන ගිහින්, ඒ පාසලේ දරුවන්ට නැවත අර රාග දාහත වමාරනවා.මේ රටේ සංගීත ශාස්ත්‍රාලයීය ආයතන තිබෙන්නේ ඔය වගේ ගතානුගතික ආචීර්ණ කල්පිත ඉගැන්වීම් රටාවකට සීමාවූ පටු තැනක. ඇත්තටම සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් කියන්නේ මොනතරම් උසස් අධ්‍යාපන ශිල්ප ක්‍රම තිබෙන ශාස්ත්‍රාලයීය ආයතනයකටද?ලෝකයේ වෙනත් රටවල මේ ආයතනවල මොනතරම් දේවල් උගන්වනවද?සංගීත මානවවිද්‍යාව ( Anthropology of Music ) සංගීත දර්ශනය ( Philosophy of Music ) වැනි විෂයයන් ඒ ආයතනවල උගන්වනවා.අපේ රටේ විශ්වවිද්‍යාලවල උගන්වන කථිකාචාර්යවරුන් මේ නම්වත් අහලා නෑ. ජපන් රටේ සංගීතය උගන්වන ශාස්තාලයීය ආයතනවල විෂය නිර්දේශයට අපරදිග සංගීතය ( Western Music ) ඇතුළු කර තිබෙනවා.ජපානයේ අදටත් එක දවසක් පාසල්වල නිවාඩු දාලා බීතෝවන්ගේ ලෝකප්‍රකට( Freedom ) සංධ්වනිය  වාදනය කරනවා.මිනිස් හඬ ( Human Voice )යොදාගෙන දේශපාලන අර්ථයක් දීමට නිර්මාණය කළ මේ සිම්පනිය ජපනුන් ඉතා සාවධානව ආදරයෙන් ශ්‍රවණය කරනවා. මේ රටේ අය තවමත් නුර්ති ගීයයි, ආනන්ද සමරකෝන්ලා, සුනිල් සාන්තලා අමර දේවලා කියන සින්දු පස්සේ දුවනවා.  සින්දු කිව්වට කමක් නැහැ. අඩුම තරමින් මේ සින්දුවේ ආකෘතිය වෙනස් කරගන්න බැරිද?

 

මම

සංගීතය පිළිබඳ ඔබේ කලාත්මක විඥානය බීතෝවන් , මොසාට්, ඩිබුසි,ප්‍රොකෆිව්, වාග්නර් වැනි අග‍්‍රගණ්‍ය  සංගීතඥයන්ගේ ආභාසයෙන් පොහොණි වූ එකක්.එහෙත් අද්‍යතන ගෝලීය ධනවාදය තුළ විවෘත වෙළෙඳපොළ න්‍යායෙන් වියුක්ත වී ඔබට මේ කටයුතු කරන්න  බැහැ. අප කැමති වුණත් අකමැති වුණත්  පරිභෝජනය කළ යුතුයි. සමහර දේ අපට අනුභව කිරීමට සිදුවෙනවා. මෙහිදී සංවේදී සන්නිවේදනය විනාශ  වෙනවා.මෙනයින් ඔබගේ සෞන්දර්යවාදී උසස් සංගීත නිර්මාණ සන්නිවේදනය කර ගැනීමට අද රසිකයාගේ මොළ ගෙඩියේ සංවේදනා නැහැ.මෙහි  ප්‍රතිඵලයක් විදියට අද තරුණ ගායක ගායිකාවන් උම්මන්තකයන් ලෙස වේදිකාව දෙවනත් කරමින් බෙරිහන්  දෙනවා. මේ අභියෝග ඔබ ජයගන්නේ කොහොමද?

කේමදාස 

අද විද්‍යුත් මාධ්‍යවල විශේෂයෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල විකාශය කරන සින්දු ඉතා පුගුප්සා ජනකයි.සමහර ගායක ගායිකාවන් මූලග් ගාය හැදිච්ච රෝගීන් වැසිකිළියට යාමට නොහැකිව ළතැවෙනවා වගේ ඔහේ දඟලනවා. මේක කොහොමද දෙයියනේ සංගීතය වෙන්නේ? මූලග්ගාය කොහොමද ආර්ට් වෙන්නේ? අද බොහෝ දෙනෙක් අන්ධානුකාරණයෙන් මංමුළා වෙලා.මයිකල් ජැක්සන්ලා කෑකෝ ගසමින් දැඟලුවත් ඔවුන් දැඩි ශික්ෂණයක් ඇතිව සංගීතය හදාරලා  තිබෙනවා.( black or white)( Heal the world )වගේ සින්දු දිහා බැලුවම තේරෙනවා ඔවුන් මොනතරම් ගැඹුරින් මේ විෂය හඳුනාගෙන තියෙනවද කියලා.ලෝකයේ ප්‍රාසාංගික කලාව( Performance  Art ) කියන්නේ වෙනමම දියුණු වෙච්ච විෂයක්. වෘත්තීය මට්ටමින් පුරුදු පුහුණු කළ කලාවක්.ප්‍රේක්ෂකයා තමා වෙත නතු කර ගන්නා ආකාරය මෙන්ම වේදිකාව මත සිටගෙන හිඳින රටාව පවා එහිදී උගන්වනවා. මේ දේට විද්‍යුත් මාධ්‍යය තමයි මුලින්ම වග කියන්න ඕනෑ. විද්‍යුත් මාධ්‍යවල වැඩසටහන් ඉදිරිපත් කරන ඇතැම් නිවේදක නිවේදිකාවන් මෙලෝ හසරක් දන්නේ  නැහැ. 13 වැනි සියවසේ හිටපු පෘතුගාලයේ රජ්ජුරුවෝ ඉතිහාසගත වෙලා තියෙන්නේ සම්භාව්‍ය සංගීතය රචනා කළා කියලා.එහෙත් 15 වැනි සියවසේ කුලී හේවායෝ ලංකාව ආක්‍රමණය කරනකොට උන් ගෙනාවේ කපිරිඤ්ඤා සංගීතය.පෘතුගාලයේ රජ්ජුරුවෝ සම්භාව්‍ය සංගීතයේ රසවින්ඳත් අපට  රසවිඳින්න වෙලා තියෙන්නේ අර කුලී හේවායෝ ගෙනාපු කපරිඤ්ඤා සංගීතය. ලංකාවේ මිනිස්සු හැමදාම හැම තැනකින්ම ගත්තේ බාල  දෙයක්. මිනිහා කියන සත්වයා ගල් යුගයේ ඉඳලම සතෙක් මරාගෙන ඇවිත් අතේ ලේ තැවරුණාම බිත්තිවල ඒ ලේ ආලේප කළා. ඔය තත්වය දියුණු වෙලා තමයි කැන්වසය    නිර්මාණය වෙලා චිත්‍ර කලාව බිහි වු⁣ණේ. මේ මරාගෙන ආපු සතාගේ මස් කට්ට අතේ තියාගෙන බෙරයකට තලමින් අපි නැටුවා.අපි ශිෂ්ටාචාරගත වෙලා දියුණු තලයකට ආවත් අර මස් කට්ටත් එක්ක නටපු සතා තාමත් අපිත් එක්ක ජීවත් වෙනවා. මොනවා හරි සැරබීමක් තොල කට ගාගත්තු වෙලාවට ඒ සතා එළියට ඇවිත් දඟලනවා.එවිට තමයි තිරිසන් රසය මතුවන්නේ.අද අපේ රටේ බොහෝ කැසට් ව්‍යාපාරිකයෝ කරන්නේ මේ තිරිසන් සතාව එළියට අරගෙන ඔවුන්ගේ මඩිය තර කරගන්න එක. එහෙත් ලෝකයේ කලාකරුවා(Artist ) කියන පුද්ගලයා මේ සතාව එළියට නොගෙන මිනිසාට ප්‍රඥාව දීලා ඔහු දියුණු සත්වයෙක් බවට පත්කරනවා. එහෙත් ලංකාවේ වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. ලංකාවේ රසිකයාට උසස් රසිකත්වයක්  තියෙනවා. ඔවුන්ට පරණ සින්දු අහලම දැන් එපා වෙලා. ඔවුන් ලෝකයේ විවිධ රටවල උසස් සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ සොයමින් දැනුම් පිපාසාවෙන් පෙළෙනවා. සමහර මිනිස්සු මගෙන් සින්දු නැති කැසට් ඉල්ලන්නේ ඒකයි.

 

මම

බටහිර සංගීතයේ නව නැමියාවක් ඇති කරමින් ඉදිරි ගමනකට මුලපිරූ සංගීතඥයකු වූ  මොසාට්ගේ ( Wolfgang Amadeus Mozart )සංගීත රචනාවන්ට ආකර්ශනීය වූයේ රාජකීයයන්, රදළ ප්‍රභූ පන්තිය හා උගතුන් පමණක් නොවෙයි. සාමාන්‍ය මහජනයා ද ඔහුගේ සම්භාව්‍ය සංගීත රචනාවලට ආකර්ෂණය වුණා.මොසාට්ගේ සංගීතය ප්‍රභූවරුන්  අතර මෙන්ම සාමාන්‍ය ජනයා තුළද ජනප්‍රිය වීමට බලපෑ හේතු කාරණා මොනවාද?

කේමදාස 

මොසාට් සංගීතයේදී ප්‍රදර්ශනය  කළ දැවැන්ත සුධීමත්භාවය අතිප්‍රබලයි. වියා නාහි පිහිටි දෙවැනි ජෝශප් රෝමානු  අධිරාජ්‍යාගේ මාලිගාවේ විතරක් නොවෙයි රදල ප්‍රභූ පන්තිය ද සාමාන්‍ය ජනයා අතර ද ඔහු ජනප්‍රිය සංගීතඥයකු  වුණා. එකල රාජ සභාවට පමණක් වෙන් වෙලා තිබුණු මේ කුටීර සංගීතය ( Chamber Music ) ඉන් එළියට ගෙනාවෙි මොසාට්.ඔහුගේ සංගීතය තුළ මිනිසුන්ට සමීප වීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබුණා. මොසාට්ට හොඳ සමාජ විඥානයක් මෙන්ම සාමාන්‍ය මිනිසාගේ අධ්‍යාත්මික ස්පර්ශය ග්‍රහණය කර ගැනීමේ ශක්‍යතාව ද තිබුණා.


මම

මොසාට් වැනි සංගීතඥයකුගේ චරිතය තුළම කිසියම් ප්‍රතිවිරෝධතාවක් දකින්නට ලැබෙනවා. ඇමඩේයුස් (Amadeus )වැනි සංගීතමය සිනමා සිතමක් බලන විට මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වෙනවා. විශේෂයෙන්ම නොහික්මුණු ගති පැවතුම් ඇති ඔහුගේ පෞරුෂත්වය ඔහුගේ සංගීත රචනාවේ පැවති ගැඹුරු ලාලිත්‍ය හා වර්ගීකරණය සමඟ කිසිසේත් පෑහුණේ නැහැ.එහෙත් ඔහුගේ සංගීතය අතිශයින්ම බැරෑරුම් සහ පරිණත එකක්. අග්‍රගණ්‍ය ඔපෙරාවලට සුදුසු භාෂාව ලෙස ළයාන්විත බසක් වූ ඉතාලි බස යොදා ගැනීම එවකට තිබූ කලා සම්ප්‍රදායක්.එහෙත් තරමක් ගොරහැඬි බසක් වූ ජර්මන්  බසින් ද අග්‍රගණ්‍ය ඔපෙරා නිර්මාණය කිරීමට හැකි බව කියමින් ඊට අභියෝග කළේ වාග්නර් සහ මොසාට්.මොසාට්ගේ  මේ නිර්භය ප්‍රයත්නය  සහ ශක්‍යතාව පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ? 

කේමදාස 

මොසාට් ළඟ විතරක් නොවේ. ලෝකය වෙනස් කළ හැම චරිතයක් තුළම කිසියම් ප්‍රතිවිරෝධතාවක් තිබුණා. ඔබ කිව්වා ආකාරයට ඇමඩයුස්  නරඹන ඕනෑම පුද්ගලයකුට මොසාට් තුළ තිබූ මේ ප්‍රතිවිරෝධතාව හඳුනාගන්න පුළුවන්.මොසාට් රජ ගෙදර තුළ තැන තැන දුව පනිමින් සිය පෙම්වතිය සමග බොළඳ බස් තෙපලමින් සිටියත් ඔහුගේ සංගීතය අතිශය බරපතළ ගැඹුරු පරිණත එකක් බව අවිවාදිතයි. මොසාට් සිය පියාගේ මරණය සමරමින් ඔහුට උපහාර වශයෙන් ඔපෙරාරූපී අග්‍රකෘතියක් වූ ඩොන් ජියෝවන්නි ( Don Giovanni )නිර්මාණය කළා. ඇත්තට ම ඔහුගේ ශක්‍යතාව මැන බැලීමට එම ඔපෙරා නිර්මාණය ම සාධකයක්.

 

මම

ඔබ යුරෝපීය සංගීත ලෝකය හඳුනාගෙන  බරඅඩි තබමින් ඒ ඔස්සේ ගමන් කළ සංගීතඥයෙක්.ඔබගේ සංධ්වනි ඕස්ට්‍රියාව වැනි සංගීත රාජධානිවල පවා වාදනය කර තිබෙනවා. එම සංගීත විඥානය ඔබ තක්සේරු කරන්නේ කොහොමද?

කේමදාස 

අපි බටහිර ආකෘති පිළිබඳ සැම දෙයක්ම හැදෑරුවාට ඔවුන්ගේ සිතුම් පැතුම් මෙහාට ආරෝපණය කරන්නේ නැහැ. අපි ඔවුන්ගේ විවිධ උසස් තාක්ෂණික ශිල්පක්‍රම පමණයි උකහා ගත්තේ.යුරෝපීය රටවල මිනිසුන්ගේ සංගීත විඥානය  අතිවිශිෂ්ටයි. අපි ජන කවියක්, පැල් කවියක් ගැයූ පමණින් ඒක සංගීතයක් වෙන්නේ නැහැ.සංගීතවේදය ඔස්සේ ශාස්ත්‍රීය මට්ටමේ ප්‍රතිනිර්මාණයක් කළොත් විතරයි ඒක සංගීතයක් වෙන්නේ. සින්දුවක් කියනවා වගේ නොවෙයි. ඔපෙරාවකට සහභාගී වන ගායක ගායිකාවන්ට විශාල කැපවීමක් තිබිය යුතුයි. මේ රටේ සංගීත සංස්කෘතියක් නැහැ. ජාතික වැඩපිළිවෙළක් නැහැ. ඉතින් කොහොමද සංගීතය දියුණු කරන්නේ?



අදහස් (2)

මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !

චමිලා ඉහළගමගේ Tuesday, 11 June 2024 07:19 AM

අගෙයි බොහොමයක්

:       0       5

kanka Wednesday, 12 June 2024 01:46 PM

අද සිටින සංගීතඥයින් හා ගායක - ගායිකාවන් සියල්ලම මෙය කියැවිය යුතුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

සාමීචිය

මම දෘෂ්ටිවාදී කඳවුරක විචාරකයෙක් නෙවෙයි
2024 ජුලි මස 23 804 0

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා


මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ
2024 ජුලි මස 16 1012 0

විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ
2024 ජුලි මස 09 922 1

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර


එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්
2024 ජුලි මස 02 845 0

ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයෝ මෙරට සිටින විශිෂ්ටත ම කවීන් අතළොස්ස අතර ප්‍රමුඛයෙක් වෙති.


එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර
2024 ජුනි මස 18 644 0

අද මෙරට සිටින ජ්‍යෙෂ්ඨත ම ජීවමාන සාහිත්‍යසූරීහු වන්නේ ගුණදාස අමරසේකරයෝය.ඔවුහු සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ


මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !
2024 ජුනි මස 11 812 2

සංගීතයේ විශ්වභාෂී ගුණය සුවිශද කරමින් අගනා නිමැවූම් රාශියක් රසික ප්‍රජාවට දායාද කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ සිංහල ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site