IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


චීන මිතුදම කැටුව ආ සාමයේ නෞකාව


‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහි කිසිදු වරදක් නැත. මෙය ‘මෙයිපීස් ආක්’ හෙවත් ‘සාමයේ නෞකාව’ යන නමින් ද හැඳින්වෙයි. පසුගියදා සතියක කාලයක් තිස්සේ එය කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණේ ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය තවත් වර්ධනය කරගනිමින්, මෙරට වැසියන්ටත්, මෙරට වෙසෙන චීන ජාතිකයන්ටත් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, රෝග විනිශ්චය සඳහා සහායවීමටය. නාවික හමුදාවේත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේත් මැදිහත්වීමෙන්, නැවට යොමු කෙරුණු මෙරට රෝගීන් බොහෝ දෙනකුට මූලික වෛද්‍ය පරීක්ෂණ කරගැනීමට හැකි විය. ඔවුන්ට චීන විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ද ඉඩ ලැබුණි. භාෂා ගැටලු‍වලදී පරිවර්තකයන්ගේ සහාය ද ඔවුනට හිමි විය. 

මීට වසර 20 කට පමණ පෙර, ලොව පුරා, සාගරයේ පමණක් නොව ගොඩබිමත්, සිදුවෙන නොයෙක් නොයෙක් විපත් සහ ආපදාවලදී, කඩිනමින් ආධාර උපකාර ලබා දීමට චීනයට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ 2007 වසරේ දී, චීන නාවික හමුදාවට අනුයුක්තව, ‘‘පීස් ආක්’ නෞකාව එළිදැක්වීමය. වත්මන් භූගෝලීය දේශපාලන කරුණු කාරණා සැලකිල්ලට ගනිද්දී, ලෝක බලවතකු වෙන චීනය ‘මොනවා කළත් වැරදියි’ යන සිතුවිල්ලෙන් බටහිර රටවල් චීනය දෙස බලයි. චීනය, දකුණු චීන මුහුදේත්, ආසියාවේත් බලය තහවුරු කරගැනීම, ඇමෙරිකාවේ නොසතුටට හේතුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. 2007 වසරේ දී‘පීස් ආක්’ නෞකාවේ ආගමනය ද බටහිර රටවලට සැකයක් එක් කර දුන්නේය. කෙසේ ‘පීස් ආක්’ නෞකාවේ අරමුණ, මානුෂීය ආධාර ලබා දීම බවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම බවත් චීන නාවික හමුදාව ලොවට පෙන්වා දී ඇත. ඒ අනුව, අද වෙන විට උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය වෙන ‘නේටෝ’ සංවිධානයෙන් ද ‘පීස් ආක්’ නෞකාවට ගෞරවනීය පිළිගැනීමක් හිමි වී ඇත.

2010 සිට 2011, 2013, 2014, 2015, 2017, 2018, 2022, 2023 සහ මෙම 2024 දක්වා ‘පීස් ආක්’ නෞකාව ලෝක සංචාරවල නියැළෙමින්, මානුෂීය මෙහෙයුම්වල නිරත වෙයි. 2023 වසරේ, ජූලි 15 සිට 22 දක්වා ‘පීස් ආක්’ නෞකාව, කිරිබතී දූපත් රාජ්‍යයට පැමිණියේය. ලෝකයේ පළමුවෙන්ම හිරු උදාවෙන රාජ්‍යය, එසේත් නැතිනම් පළමුවෙන්ම අලු‍ත් අවුරුද්ද සමරන රට ලෙස සැලකෙන්නේ කිරිබතී ය. ‘පීස් ආක්’ නෞකාව, කිරිබතී බලා පැමිණියේ කිරිබතී වැසියන්ටත්, එහි සිටින චීන වැසියන්ටත් වෛද්‍ය ආධාර රැගෙනය. නැව තුළ දී රෝගීන් 5,095 දෙනකුට ප්‍රතිකාර ලබාදීම සිදුවිය. සැත්කම් 20 ක් සහ වෛද්‍ය පරීක්ෂණ 94 ක් පැවැත්විණි. නෞකාවෙන් ලබා දුන් සේවය සම්බන්ධයෙන් කිරිබතී ජනාධිපති මාමු දැඩි ලෙස පැහැදුණේය. කිරිබතී වැසියන්ගේ බසින් ‘අකෙන්ඩාරි’ යනු ‘සාමයේ නෞකාව’ය.



යුහුසුලුව සේවයෙහි නියැළෙන කාර්ය මණ්ඩලය


මෙම 2024 වසරේ ‘පීස් ආක්’ නෞකාව ඔවුන්ගේ සාම මෙහෙයුම ආරම්භ කෙළේ ජූනි මාසය මැදදීය. එය මේ වෙන විට අප ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 13 ක සංචාරය කර ඇති අතර, මෙම 2024 සාම මෙහෙයුම අවසන් වෙන්නේ සිංගප්පූරුවෙනි. පසුගිය ජූනි මස මැද සිට ‘පීස් ආක්’ නෞකාව සීෂෙල්ස් රාජ්‍යය, ටැන්සානියාව, මැඩගස්කරය, මොසැම්බික්, දකුණු අප්‍රිකාව, ඇන්ගෝලාව, කොංගෝව, ගැබොන්, කැමරූන්, බෙනින්, මොරිටානියා, ජිබුටි යන රටවල සිදු කළ සංචාරවලින් පසු පසුගිය 21 සෙනසුරාදා උණුසුම් පිළිගැනීම් මැද කොළඹ වරායට සේන්දු විය. මේ වෙන විට, ‘පීස් ආක්’ රෝහල් නෞකාව, නාවික සැතපුම් 280,000 කට වඩා යාත්‍රා කර, රටවල් සහ කලාප 45කට සේවය කර, 290,000 කට වැඩි පිරිසකට වෛද්‍ය සේවා සපයා ඇති අතර සැත්කම් 1,400 කට වඩා සිදු කර තිබේ.

‘පීස් ආක්’ රෝහල් නෞකාව, චීන හමුදාවේ දකුණු මුහුදු බළඇණියට අයත්ය. නෞකාව ක්‍රියාත්මක වෙන්නේ, ෂ්හේජියැන් පළාතේ ෂොෂුවාන් සිටය. මෙය වචනයේ පරිසමාප්තියෙන්ම පාවෙන රෝහලකි. එසේ මෙසේ පාවෙන රෝහලක් නොව, අතිනවීන පහසුකම්වලින් සමන්විත පාවෙන රෝහලකි. නෞකාව තුළ සායනික අංශ 17ක් සහ සහායක රෝග විනිශ්චය අංශ 5 කි. නෞකාවට ඇඳන් 300ක්, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 20ක්, ශල්‍යාගාර 8 ක් ඇත. එක්ස්රේ පරීක්ෂණ, අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ, සීටී ස්කෑන් පරීක්ෂණ ඇතුළු රෝග නිර්ණය කටයුතු සඳහා අවශ්‍ය අතිනවීන වෛද්‍ය උපකරණ ද අයත් වෙයි. චීන කටු චිකිත්සාව ඇතුළු පාරම්පරික චීන වෛද්‍ය සේවා ද මෙම නෞකාවෙන් ලබාගත හැකිය. දන්ත ශල්‍යාගාරයක් ද ඇත. නෞකාව තුළ දිනකදී ප්‍රධාන සැත්කම් 40ක් සිදු කළ හැකිය. වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ ගොඩබිම හා සම්බන්ධවීමට අවශ්‍ය දුරස්ථපාලක උපකරණ ජාලයක් ද, සංකීර්ණ සන්නිවේදන පද්ධතියක් ද නෞකාව සතුවීම විශේෂත්වයකි. මීටර් 178ක දිගකින් සහ මීටර් 24ක පළලින් සමන්විත වෙන ‘පීස් ආක්’ රෝහල් නෞකාවේ, 386 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරි කරන අතර, ඔවුන්ගෙන් 106 දෙනකු ම වෛද්‍යවරුන්ය. 

කඩිනමින් දිවි ගලවා ගැනීම්වල යෙදිය හැකි ආකාරයේ කුඩා බෝට්ටු සහ සුවිශේෂී හෙලිකොප්ටර් යානයක්ද නෞකාවට අයත් වෙයි.  ටොන් 13 ක බරක් රැගෙන යා හැකි මෙම හෙලිකොප්ටරය මුහුදේ විපත් සහ ආපදාවලට ලක්වෙන පිරිස් කඩිනමින් බේරාගැනීමට හැකි ආකාරයේ ගිලන් රථයකි. මෙය ද වෛද්‍ය පහසුකම්වලින් පිරී ඇත. එමගින් ඕනෑම අසාධ්‍ය තත්ත්වයකින් පසුවෙන රෝගියකු‍ට, මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දී, රෝහලක් වෙත රැගෙන යෑම කළ හැකිය. හෙලිකොප්ටරය ක්‍රියාත්මක කිරීමට නියමුවන් කණ්ඩායමක් සහ විශේෂයෙන් ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදිය හැකි විශේෂ පුහුණුව සහිත වෛද්‍ය සහායකයන් පිරිසක් ද ඒ හෙලිකොප්ටරය සමඟ සීරුවෙන් තබා ඇත. 

‘පීස් ආක්’, රෝහල් නෞකාව නැරඹීමට මාධ්‍යවේදීන්ට ද අවස්ථාවක් ලබාදුන් අතර පසුගිය 24 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ද ‘පීස් ආක්’, රෝහල් නෞකාවට ගොඩ වූවාය. එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් මෙම නෞකාවේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන මේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරන ලද අතර, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මේ අයුරින් සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට සිය ප්‍රසාදය ද පළ කළාය. ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍ය කටයුතුවලට සහායවීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි ඇති වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය නෞකාවේ සංචාරය කිරීමෙන් පසු රැස්ව සිටි මාධ්‍යවේදීන්ට අවධාරණය කළාය. 

‘පීස් ආක්’, අංක 920 වර්ගයට අයත් රෝහල් නෞකාවකි. 2023 වසර තෙක්ම, මෙම වර්ගයට අයත් එකම නෞකාව වූයේ ‘පීස් ආක්’ ය. කෙසේ නමුත් මෙම වර්ගයේ තවත් නෞකාවක් දැන් චීනය සතුය. මෙම නෞකාව ‘සිල්ක් රෝඩ් ආක්’ (සේද මාවතේ නෞකාව), යනුවෙන් නම් කර ඇත. එම නව රෝහල් නෞකාව, සිය පළමු වෛද්‍ය ආධාර මෙහෙයුම් ආරම්භ කළේ මෙම 2024 වසරේදීය.


ලු‍සිත ජයමාන්න
      ඡායාරූප - ළහිරු හර්ෂණ


 



අදහස් (0)

චීන මිතුදම කැටුව ආ සාමයේ නෞකාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 985 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site