IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


චාතුර්යා තුළින් රසික සිත් දිනා ගත් - නයනා කුමාරි


“නංගී මම ලොකු වැඩක් පටන් ගන්න යන්නෙ.. මේකේ ප්‍රධාන චරිතෙට මට අනිවාර්යයෙන්ම ඔයාව ගන්න ඕන..” 

රොජර් සෙනෛවිරත්න කී විට නයනා කුමාරි මඳක් පසුබා  සිටියේ ඒ වන විට ඇය කාර්යබහුලව සිටි නිසාය. ටෙලි නාට්‍ය දෙකතුනකම රඟ පාමින් සිටියා පමණක් නොව ඇගේ විවාහයට ද දින නියම වී තිබිණි. ඇය රොජර් සමඟ මුලින්ම රඟ පෑවේ ඉර හඳ යට ටෙලි නාට්‍යයේය. ඉනික්බිතිව ඇගේ සොහොයුරා ලෙස, සැමියා ලෙස, පෙම්වතා ලෙස ටෙලි නාට්‍ය සෑහෙන ප්‍රමාණයක රඟ පා තිබිණි. එම නිසාම මෙය ප්‍රතික්ෂේප කරන්නට ද ඇයට පුළුවන්කමක් නොවීය. 

“අනේ රොජර් අයියා.. මට මේ වෙලාවේ ප්‍රධාන චරිතය බාර ගන්න නම් බෑ.. මට දවසින් ඉවර වෙන පොඩි චරිතයක් මොකක් හරි දෙන්න..” 

ඇය එසේ කීවා පමණක් නොව එවකට ජනප්‍රියව සිටි නිළියන් දෙදෙනෙකුගේ නම් ද යෝජනා කළත් රොජර් එයට එකඟ වූයේ නැත. 

“උඹ නැතුව මේකට වෙන කෙනෙක් හරියන්නෙ නෑ බං.. හරි ඔය ප්‍රශ්න ටික ඉවර කරගෙන වරෙන්කො.. ඊට පස්සෙ අපි බලමු.. මට හදිස්සියක් නෑ..” ඔහු කීවේය. ඉදින් ඇයට ඒ ප්‍රධාන චරිතය බාර ගන්නටම සිදු වූයේය. 

එකල අතිශය ජනප්‍රියත්වයට පත් වී තිබූ එඩ්වඩ් මල්ලවාරච්චි මහතාගේ චාතුර්යා නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද චාතුර්යා ටෙලි නාට්‍යයට නයනා කුමාරි එක් වූයේ ඒ අයුරිනි. ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළේත්, එහි තේමියගේ චරිතය රඟ පෑවේත් රොජර් සෙනෙවිරත්නය. 

“මම ඒ වෙනකොට චාතුර්යා පොත කියවලාවත් තිබ්බෙ නෑ.. ඒත් කතාව දැන ගත්තට පස්සෙ මටත් ඒ ගැන කැමැත්තක් ඇති වුණා.. ඊටත් වඩා රොජර් අයියා මටම ප්‍රධාන චරිතය දෙන්න ඕන හින්දා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කල් දැම්ම එකත් සුළු කරලා සලකන්න බෑනෙ..” නයනා පැවසුවාය. 

ඇගේ විවාහ මංගලෝත්සවය පැවැත්වුණේ 2003 ජනවාරි පළමු වැනිදාය. චාතුර්යා ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කටයුතු ඇරඹුණේ මාර්තු 25 වැනිදාය. 




“පිළියන්දල, බොරලැස්ගමුව අවට තමයි ෂූටින් තිබුණේ.. ඉස්සර වෙලාම ගත්තේ චාතුර්යා සම්මුඛ පරීක්ෂණේකට යන්න ලෑස්ති වෙලා සාරිය අඳින දර්ශනයක්.. ඒ දර්ශනයම තමයි පළ වෙනි කථාංගයේ මුලින්ම විකාශය වුණේ..” චාතුර්යා රස මතක අවදි කරමින් පැවසුවාය. 

ඇගේ මව ලෙසින් ප්‍රියා රණසිංහත්, අක්කා ලෙසින් ලක්ෂිකා පොන්සේකාත් රඟ පෑහ. තේමියගේ අම්මා ලෙස රඟ පෑවේ නිලන්ති මුණසිංහය. අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ෂර්ලි පී දෙලංකාවල විසිනි. 

“රොජර් සෙනෙවිරත්න කියන්නෙ පුංචි චරිතයකට වුණත් ලොකු වැදගත්කමක් දෙන කෙනෙක්.. ඒ හින්දා හැම චරිතයකටම ගැළපෙනම අය ගත්තෙ.. හිතවත්කම් උඩ විතරක් කවුරුවත් ගත්තෙ නෑ.. තේමියගේ යාළුවෝ දෙන්නට රඟ පෑව චින්තක කුලතුංග, රුවන් වික්‍රමසිංහ අලු‍ත්ම දෙන්නෙක් වුණත් ඔවුන් හොඳට හසුරුවන්න නිෂ්පාදන කණ්ඩායමට පුළුවන් වුණා.. එහෙම වුණේ හැම දෙනාම එකම පවුලක අය වගේ කටයුතු කරපු හින්දා.. ඇත්තටම අපි හැමෝටම දැනුණේ මේක අපේම දෙයක් කියන හැඟීම..” නයනා කීවාය. 

චාතුර්යා ටෙලි නාට්‍යයට මොන තරම් පෙම් බැන්දේ ද යත් රාත්‍රි අට වන විට සියලු‍ වැඩ අත් හැර රූපවාහිනිය ඉදිරියට රොක් වන්නට බාල මහලු‍ රසිකයන් සියල්ලෝම පුරුදු වූහ. නයනා කුමාරි නම ඔවුන් දැන සිටියේ චාතුර්යා ලෙසින්ම පමණකි.  

එය රූගත කිරීමේදී මුහුණ දෙන්නට සිදු වූ රසවත් මෙන්ම දුෂ්කර අවස්ථාවන් ද බොහෝ ගණනකි. නයනා අනුනමයෙන් මරණයෙන් බේරුණ මාරාන්තික සිදු වීමක් ද ඒ අතර තිබේ. එය ජීවිත කාලයටම අමතක නොවන බැව් ඇය කියන්නීය. 

“චාතුර්යා එයාගෙ අම්මත් එක්ක හංවැල්ල පැත්තෙ පන්සලකට යන දර්ශනයක් තිබුණා.. ඒ පන්සල බොහොම දුෂ්කර පාරකින් යන්න ඕන කන්දක් උඩ තියෙන එකක්.. උඩ ඔක්කොම දර්ශන ඉවර කරගෙන අපි පහළට බැස්සෙ බොහොම මහන්සියෙන්.. එක තැනකදී තේමිය ගල් තලාවක් උඩ ඉඳලා චාතුර්යා ඇදලා ගන්නවා.. ඒ වෙලාවේ වැස්ස.. පහළ ඉඳලා යකඩ බට දාලා කෘත්‍රිමව වැස්ස නිර්මාණය කරලා තිබ්බෙ.. එතන තිබුණෙ හරිම ප්‍රේමණීය දර්ශනයක්.. ඒක ඉවර වුණාට පස්සෙ අපි දෙන්නගෙම සමීප පින්තූර ගන්න තිබ්බා.. ඉස්සර වෙලාම ගත්තෙ රොජර් අයියගෙ.. ඒවා ඉවර වෙනකොට මාව වේලිලා.. ඉතින් අධ්‍යක්ෂතුමා කිව්වා මාව තෙමන්න කියලා.. වතුර තිබුණේ නැති හින්දා අර කෘත්‍රිම වැස්ස ගන්න ගෙනාව යකඩ බටයක් හතර දෙනෙක් උස්සලා ඒකේ තිබිච්ච වතුර මට දාන්න යනකොට බටේ ලිස්සුවා.. කෙළින්ම ආවෙ මගෙ ඔළුවට..  කැමරාව වහන්න ගෙනාව කුඩේ උඩට වැටිලා ඊ ළඟට ඔළුව උඩට වැටිච්ච හින්දා මිසක් නැත්නම් මෙහෙම කතා කරන්න නයනා කුමාරි කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ..” ඇය කීවේ මගේ සිරුරත් ලොමුදැහැ ගන්වමිනි. 

කම්පනය නිසා ඇයගේ ඇස් නිලංකාර වූයේය. ඇය එහෙමම බිම ඉන්දිණි. සියල්ලෝම වහා දිව විත් ඇය වට කරගෙන සාත්තු කරන්නට පටන් ගත්හ. සියල්ලන්ටම වුවමනා වූයේ රූගත කිරීම් නවතා පහළට ගොස් ඇය රෝහල්ගත කරන්නටය. 

“එතකොට කරන්න ඉතුරු වෙලා තිබ්බෙ එක ෂොට් එකයි.. මට අමාරු බව පෙන්නුවොත් එයාලා ඒක නතර කරනවා.. ආයෙම කරන්න මොන තරම් කට්ටක් කන්න ඕන ද කියලා මට මතක් වුණා.. මේ දුෂ්කර මඟ තරණය කරගෙන ආපහු එන්න ඕන.. කෘත්‍රිම වැස්ස වස්සන්න බට අදින්න ඕන.. ඔය ඔක්කොම කල්පනා කරලා මම කිව්වා මට අමාරුවක් නෑ ඒ ෂොට් එක ගනිමු කියලා.. ඒකට ආයෙමත් මාව තෙමුවා.. එතකොට මට මැරෙන්න තරම් අමාරුයි.. ඒත් මම හිත හයිය කරගෙන රඟ පෑවා.. අන්තිමේදී ඩිරෙක්ටර් කට් කියනවා විතරයි මට මතක..”  

ඇය සිනාසෙමින් කීවත් දර්ශනය අවසානයේ ඇය ඇද වැටුණ කල ඇති වූ තත්ත්වය වෙනම ජවනිකාවක් වූයේය. සියල්ලෝම වහා ඇය ඔසවාගෙන පහළට රැගෙන ආහ. 

“මට සිහිය නැති වුණේ නෑ.. ඒත් කම්පනයයි වේදනාවයි හින්දා නැගිට ගන්නවත් බැරිව හිටියෙ.. හංවැල්ලෙ ඉඳලා රෝහල් කීපෙකටම ගියත් බාර ගන්න බෑ කිව්වා.. ඉතින් අපි කෙළින්ම ආවේ පන්නිපිටියේ නර්සින් හෝම් එකට.. ලස්සනම වැඩේ කියන්නෙ අපි යනකොට එතන හිටිය ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඔක්කොම ටී. වී එකෙන් චාතුර්යා බලනවා.. අපිව දැක්කට පස්සෙ එයාලට හරි පුදුමයි.. ඊට පස්සෙ අපිව වට කර ගත්තා.. ඒ හැමෝම මට ලොකු සහයෝගයක් දුන්නා.. තැල්ම මිසක් අභ්‍යන්තර තුවාල මොකුත් නෑ කියලා දැන ගත්තට පස්සෙ මට විතරක් නෙමෙයි කණ්ඩායමේ ඔක්කොටම දැනුණෙ සහනයක්.. හැබැයි මාසයක් විතර යනකම් මට  යන්තම් සද්දයක් ඇහුණත් ඔළුවේ කැක්කුමයි.. බෙහෙත් කරලා කරලා තමයි සනීප කර ගත්තෙ.. ඒ කාලේ රඟ පාන්නත් පුළුවන් වුණේ නෑ..” ඇය පැවසුවාය. 

චාතුර්යා අවසන් කොටස් රූගත කෙරුණේ ඉන්දියාවේ චෙන්නායිවලය. ඒ සඳහා ගිය කණ්ඩායමේ  නයනා හැර  අනෙක් සියල්ලන්ම පිරිමිය. 

“චෙන්නායි ඉඳලා සෑහෙන දුරකින් තිබ්බ කෝවිලක ෂූටින් තිබුණෙ.. පැයක්වත් නිදා ගන්න කාලයක් තිබ්බෙ නෑ.. රොජර් අයියා අපිට කෑම ගන්න වෙනම තැනක් ලෑස්ති කරලා තිබ්බා.. දවසින් දවසට කෑම වර්ග මාරු කරකර දුන්නත් සතියක් විතර යනකොට මට ඒවා එපා වුණා.. අන්තිමට මට උණ හැදිලා හොඳටම අමාරු වුණා.. වෙව්ල වෙව්ලා තමයි රඟ පෑවේ.. දෙබස් පවා අමතක වෙනවා.. රූ ගැන්වීම් ශිල්පි සරත් රණවීර අයියා තමයි තාත්තා කෙනෙක් වගේ මාව බලා ගත්තෙ.. හදිස්සියකට ටිකක් නිදාගෙන ඉන්න පැදුරක් කොට්ටයක්වත් හොයා ගන්න තිබ්බෙ නෑ.. සරත් අයියට ලොකු බඩක් තිබුණනෙ.. මම ඒ බඩ උඩ ඔළුව තියාගෙන නිදා ගන්නවා.. හෙල්ලෙන්නෙවත් නැතුව එකම තැන වාඩි වෙලා ඉන්න සිද්ද වුණත් එයා වචනයක්වත් කියන්නෙ නෑ..” ඇය කීවේ කෘතඥතාපූර්වක හඬකිනි. 

දිනක් රූගත කිරීම් අවසන්ව ආපසු හෝටලයට එද්දී නයනාගේ බඩුබාහිරාදිය සියල්ලම සොරාගෙන තිබිණි. ඒ කාමරයේ නිදා ගන්නට බිය වූ ඇය සරත් රණවීරගේ කාමරයට ගියාය. කණ්ඩායමේ සියලු‍ දෙනාම ඇගේ ආරක්ෂාව තහවුරු කරන්නට වෙහෙස දැරූ අන්දම අදත් ඇයට අමතක වන්නේ නැත. 

“ඒ කෝවිල අක්කර ගණනක පැතිරුණ එකක්.. සමහර දවස්වලට අපි කෝවිලේ අතරමං වෙනවා.. අද වාගෙ ෆෝන්ස් තිබ්බෙත් නෑනෙ.. පාරක්තොටක් අහ ගන්න භාෂාව දන්නෙත් නෑ.. ඉතින් දවසම අනිත් අය හොයලා ෂූටින් කැන්සල් කරන්න සිද්ද වුණ දවසුත් තිබුණා..” ඇය කීවාය. 

මොන තරම් දුෂ්කරතා මධ්‍යයේ රූගත කිරීම් කළත් ටෙලි නාට්‍ය කණ්ඩායමේ හැම දෙනාම සිටියේ තෘප්තිමත් සිත්වලින් යුතුවය. ටෙලි නාට්‍යය ද බොහෝ සෙයින් ජනප්‍රිය වූයේය. 

“ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි.. අපි එකම පවුලේ වගේ හිටිය හින්දා වරින්වර හමු වෙනවා.. ගිය අවුරුද්දට චාතුර්යාට අවුරුදු විස්සක් වුණා.. ඒ නිමිත්තෙන් ටෙලි නාට්‍ය කණ්ඩායමේ හිටිය අය එකතු වෙලා සාදයකුත් පැවැත්තුවා.. ඒ කාලේ අපි අපේ කොටස විතරක් කරලා දර්ශන තලයෙන් යන්නෙ නෑ.. අනිත් අය රඟ පානවා බලාගෙන ඉඳලා ඒ අයගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්නවා.. අඩුපාඩු පෙන්නලා දෙනවා..” 

ඇය කියද්දී එදත් අදත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වෙනස පිළිබඳ පැහැදිලි සිතුවමක් මා තුළ මැවිණි. 

සම්මානනීය නිළියක වන නයනා මේ වන විට රූපලාවණ්‍යාගාර දෙකක හිමිකාරිනියකි. ඇය රූපලාවණ්‍ය පිළිබඳ පන්ති ද පවත්වන්නීය. එම නිසා කාර්යබහුල වුවත් තෘප්තිය උදෙසා ඉඳහිට ටෙලි නාට්‍යයක ද රඟ පාන බැව් ඇය පැවසුවාය. 


චන්දි කොඩිකාර


 



අදහස් (0)

චාතුර්යා තුළින් රසික සිත් දිනා ගත් - නයනා කුමාරි

ඔබේ අදහස් එවන්න

 

 

Recommended News

බොහෝ දුරට විවාහයෙන් පසුව මම කලාවෙන් සමුගනීවි - රංගි රාජපක්ෂ
2025 ජනවාරි මස 20 6 0

නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු


අක්කා ගෙනාව බත් එකේ රස සුවඳ අදත් මට දැනෙනවා - ගීතා කාන්ති ජයකොඩි සහ රත්නා ලාලනී ජයකොඩි
2025 ජනවාරි මස 20 4 0

රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.


‘‘ජුරාලියා වූ අංජලි ’’- අංජලි ජයසිංහ
2025 ජනවාරි මස 20 7 0

ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.


‘මම ආසයි මේ කඳු ඇතුළෙ තියෙන සැඟවුණු - ගුප්ත ඉතිහාසයට ’ - මදුෂාන් නෙරංජන්
2025 ජනවාරි මස 16 66 0

පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.


මේ ගස් හැර තවත් ගස් තිබේ ද?
2025 ජනවාරි මස 16 67 0

මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.


බෙල්වුඩ් සීතල පාරාදීසයට
2025 ජනවාරි මස 15 55 0

මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 394 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 609 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site