IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ඕක ඉතින් කෙල්ලෙක්වෙලා ඉපදෙන හැමෝටම සිද්ධ වෙන දෙයක්නෙ

දිනේෂි අම්මාත් සමඟ කැලෑ රොදක් මැදින් කොහේදෝ ගමනක් යමින් සිටියාය. අම්මා සිටියේ බිළිඳු දරුවෙකු ද වඩාගෙනය.   


“ලොකු දුව මට මහන්සියි.. වතුර ටිකක් ගෙනත් දෙන්න..”   


කියමින් අම්මා ගසක් යට වාඩි ගත්තාය. ඒ ආසන්නයේ ඇළක් ගලාගෙන ගියේය. දිනේෂි ඇළට නැඹුරු වූයේ වතුර දෝතක් ගැනීමටය. එහෙත් ඇය පය ලිස්සා ගොස් ඇළට වැටුණාය. ඇගේ ගවුම හොඳටම තෙමිණි. 

“තෙමා ගත්තා නේ ද ගවුම..? දැන් ඉතින් කොහොමද ගමන යන්නෙ..?” අම්මා කෑ ගැසුවාය.   
දිනේෂි ඇළේ සිටගෙනම හිස හරවා අම්මා දෙස බැලු‍වාය. එහෙත් ගස යට ඇය සිටියේ නැත. දිනේෂිට හැඬිණි.   
“ලොකු දුව.. ලොකු දුව..”   
කිසිවෙකු ඇගේ උර හිසින් අල්ලා සොලවනු දැනිණි. ඇය තිගැස්සී යාන්තමට ඇස් විවර කළේ කතා කරන්නේ අම්මා විය යුතුයැයි සිතමිනි.   


“අම්මා.. ඇළේ වැටිලා මගෙ ගවුම තෙමුණා..”   
ගවුමේ තෙත්බර බවක් දැනුණ බැවින් ඇය කීවාය. අම්මා වතුර ගෙනැවිත් දෙන්නට නොකීවානම් ගවුම මෙලෙස තෙමෙන්නේ නැත. ඒ සමඟම උස් සිනා හඬක් ඇසුණ බැවින් ඇය වඩාත් හොඳින් දෑස් හැරියේ මවිතයෙනි. දියණියට යම් අබග්ගයක් සිදු වූ විට අම්මා මෙලෙස උපහාසාත්මකව සිනාසෙන්නේ නැත. අවට පරිසරයේ පැවතියේ මඳ අඳුරකි. ඒ අඳුර අතරින් ඇය වෙත නැඹුරුව සිනාසෙමින් සිටියේ පොඩි නැන්දාය.   
තමා මේ සිටින්නේ කොහේද, සිදු වූයේ කුමක්දැයි එක්වරම වටහා ගන්නට දිනේෂිට නොහැකි වූයේය.   
“පොඩි නැන්දා..” ඇය මිමිණුවාය.   


“නැඟිටපන් නැඟිටපන් කම්මැලි කෙල්ල.. මේ කෑ ගගහ අඬන්නේ මොකද කියලා බලන්න මං ආවෙ.. බලනකොට මෙයා ඇළේ වැටිලනෙ..” පොඩි නැන්දා කීවේ තවත් සිනාසෙමිනි.   
තමා මෙතෙක් වේලා දැක තිබෙන්නේ සිහිනයක් බවත්, මේ සිටින්නේ ආච්චිගේ නිවසේ බවත් දිනේෂිට පසක් වූයේ එවිටය. ඇය ලැජ්ජාශීලී මඳ සිනාවක් පාමින් ඇදෙන් නැගිට්ටාය. එහෙත් සිය සිත තුළ සංකාකූල හැඟීමක් ද, ගතේ කෙඩෙත්තුවක් ද ඇති බැව් ඇයට වැටහිණි. යටි බඩේ ද යාන්තමින් කැක්කුමක් දැනීගෙන ආවේය.   


“ඔහොම අඬන්න මොකක්ද දැකපු හීනෙ..?”   


පොඩි නැන්දා ජනේලය විවෘත කරමින් විමසුවාය. ආරාධනා කරන තෙක් බලා සිටියාක් බඳුව හිරු රැස් දෝරක් කාමරය තුළට ගලා ආවේය. ගෙදර දී හිරුට කලින් අවදි වෙන තමාට මෙතරම් වේලා නින්ද යාම පිළිබඳව දිනේෂිට දැනුණේ වරදකාරී හැඟීමකි. පෙරදා රෝහලට යාමට පෙර අම්මා කීවේ පාන්දරම නැගිට ආච්චිටත් පොඩි නැන්දාටත් උදව් කරන ලෙසය.   

 

මේ නිවසේ සිටියේ ආච්චිත්, කවදාවත් විවාහ නොවන ස්ථාවරයක සිටි පොඩි නැන්දාත් පමණකි. ඔවුන් දෙදෙනා කඩවල්වලට දැමීම පිණිස විවිධ කෑම වර්ග සෑදූ අතර එළදෙනුන් කිහිප දෙනෙකු ද ඇති කළහ. කිරි එකතු කරන වෑන් රියක් හැමදාම උදේ ගේ ළඟට ආවේය. මේ වන විට එය ද පැමිණ යන්නට ඇතැයි දිනේෂි කල්පනා කළාය. ආප්ප සුවඳක් පරිසරයේ පැතිර තිබුණත් ඇයට කෑම රුචියක් නම් දැනුණේම නැත.   
“මම අම්මව හීනෙන් දැක්කා.. අම්මා පොඩි ළමයෙක් වඩාගෙන හිටියේ.. අපි දෙන්නා කැලයක් මැද්දෙන් ගියා.. අම්මා තිබහයි කියලා වතුර ඉල්ලු‍ව හින්දා මං ඇළට බැස්සා.. ලිස්සලා ඇළේ වැටිලා ගවුම තෙමුණා..”   
ඇය හීනයේ හැම අංශුවක්ම සිහිපත් කරමින් කියාගෙන ගියාය. එය සැබෑවටම සිදු වූ දෙයක් මිස සිහිනයක් නොවේ යැයි හැඟීමක් ඇයට ඇති වූයේය.  


“එහෙනම් අම්මට දරුවා හම්බු වෙලා වෙන්න ඇති.. ඔයා කැමති නංගි කෙනෙකුට ද මල්ලි කෙනෙකුට ද..?” පොඩි නැන්දා ඇසුවාය.   


“නංගි කෙනෙක් නම් හොඳයි.. එතකොට මල්ලිලා දෙන්නයි, නංගිලා දෙන්නයි..”   
එවර දිනේෂි කීවේ මුව පුරා සිනාසෙමිනි. සැබැවින්ම ඇයට අම්මාට ඉපදුණ දරුවා පිළිබඳ ලොකු හැඟීමක් නොවිණි. ඇයට දැනෙමින් තිබුණේ අම්මා බරින් නිදහස් වීමේ සැහැල්ලු‍වය.   


“කෝකටත් ආච්චිගෙන් ගිහින් අහමුකො, මොකක්ද හීනෙ තේරුම කියලා..” කියමින් පොඩි නැන්දා දිනේෂිගේ අතින් අල්ලා ගත්තාය.   


“මට නම් ඒක හිනයක් නෙමෙයි ඇත්තක්ම කියලා හිතෙන්නෙ පොඩි නැන්දෙ.. තවමත් ගවුම තෙතයි..”   
ගවුම පමණක් නොව යට ඇඳුමත් තෙත් වී ඇති බවක් ඇයට වැටහිණි. ඇය කුඩා කාලයේ තාත්තා හෝ අම්මා සැර කළහොත් හෝ වෙනත් සිත් අමාරුවක් ඇති වුවහොත් රාත්‍රි නින්දේදී මූත්‍රා පහ වෙන බැව් අම්මා කියා තිබිණි. පෙරදා උදේ අම්මා රෝහලට යද්දී දිනේෂිට කවදාවත් නැති තරම් වේදනාවක් දැනෙන්නට වූයේය. ඇය රෝහල්ගත කර තාත්තා පැමිණියාට පසුව මල්ලිලාත්, නංගීත් ගෙදර දමා මේ ගමන ආවේ හඬ හඬාය.   
“කවදාවත් නැතුව මේ මොන විකාරයක් ද..? හැමදාම ඉන්න යනවා නෙමෙයිනෙ.. අම්මා ඉස්පිරිතාලෙන් ආව ගමන්ම එන එකනෙ..” ආච්චි සැරෙන් කීවේත් ඇය හැඬුම නොනැවැත් වූ නිසාය.   


එලෙස සිත් අමාරුවෙන් සිටි නිසා නොදැනුවත්වම ඇඳ තෙමුණේදැයි ඇය විළිබරව කල්පනා කළාය. එසේ වීනම් ආච්චි දොස් පවරනවා හා පොඩි නැන්දා දිගින් දිගටම සරදම් කරනවා නොඅනුමානය. දිනේෂි නැන්දාට නොපෙනෙන්නට හෙමිහිට ගවුම හරවා බලන්නට උත්සාහ කළත් නැන්දා ඇයට පෙර එදෙස බැලු‍වාය   
“ආ..හ්..” ඒ සමඟම නැන්දාගේ මුවින් අව්‍යක්ත රාවයක් නික්මිණි.   
දිනේෂිගේ සිතට දොම්නසක් දැනුණේ තමා අනුමාන කළ දෙයම සිදු වී ඇතැයි සැකය නිසාය.   
“ඇයි පොඩි නැන්දා..?” ඇය ඇසුවේ අසීරුවෙනි.   
නැන්දාගේ දෙතොලේ කෙළිලොල් සිනාවක් ඇඳුණේය.   
“අම්මා නෙමෙයි දුව වැඩ අල්ලලා..”   


දිනේෂිගේ නිකට මිරිකමින් කියූ ඇය ගවුම හරවා පෙන්වූවාය. ලා පාට ගවුමේ තැවරී තිබුණ තවමත් තෙත රුධිර පැල්ලම දුටු විට දිනේෂිට මහා තැති ගැන්මක් දැනිණි. මේ පැල්ලමේ තේරුම ඇය දැන සිටියාය. හැමදාම උදේට මෙවැන්නක් තිබේ දැයි පරීක්ෂා කර බැලු‍වේ අම්මාගේ උපදෙස් පරිදිය. පන්තියේ යෙහෙළියන් මෙන්ම ලොකු උත්සවයකින් පසුව දොරට වඩින්නට ඇය සිහිනත් දුටුවාය. එහෙත් මේ මොහොතේ ඇය අපේක්ෂා භංගත්වයට පත් වූයේ කිසිදාක බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වී ඇති කලෙක මෙනි. දුවෙකු සිය ළමා වියෙන් සමුගෙන යොවුන් වියට සපැමිණි පුවත මුලින්ම දැන ගත යුත්තේ අම්මා විසිනි. ඉනික්බිතිව හැසිරිය යුතු ආකාරය, කළ යුතු වත්පිළිවෙත් ගැන උපදෙස් ලබා දිය යුත්තේ අම්මාය. එසේ නොවුණු කළ ඕනෑම ගැහැනු දරුවෙකු අසරණ බවට පත් වන්නීය.   


“මම මේ බරෙන් නිදහස් වෙලා එනකම් හිටියොත් ඇති..” 

 
අම්මා සංකාකූලව ද, බලාපොරොත්තු සහගතව ද කියන ලද එවදන් දිනේෂිගේ සිත පුරා දෝංකාර වෙන්නට වූයේය. ඔන්චිල්ලාවක ඉහළට පැද පහළට එන කලෙක දැනෙන ආකාරයේ බඩ පපුව දැවිල්ලක් ද හට ගනු ඇයට දැනිණි.   
“අනේ පොඩි නැන්දා..” ඇය හඬාගෙන නැන්දා වැළඳ ගත්තාය.   


“හරි.. හරි ඉතින්.. මේක අඬන්න නෙමෙයි සන්තෝස වෙන්න ඕනැ වෙලාවක්නෙ.. අම්මා ගෙදර එනකම් ඉවසාගෙන හිටියෙ නැති එක තමයි නරක..” 

 
පොඩි නැන්දා කීවේ සරදමට බවත්, එය තමාට පාලනය කළ හැකි සංසිද්ධියක් නොවන බවත් දැන සිටියත් දිනේෂිගේ සිත වරදකාරී හැඟීමකින් පිරිණි. ඇගේ හැඬුම ද වැඩි වූයේය.   
“අම්මා... ඉක්මනට එන්නකෝ..” පොඩි නැන්දා කෑ ගැසුවාය.   
“මොකද රේණු මේ බෙරිහන් දෙන්නෙ..?”   


හීන් නෝනා කාමරයට පිවිසියේ නොරිස්සුම් හඬකින් එසේ අසමිනි. හඬමින් සිටි මිනිපිරියත්, ඇය තුරුළු කරගෙන සිටි දියණියත් දුටු වියපත් කාන්තාව සියල්ල වටහා ගත්තාය. ඇයට සතුටක් මෙන්ම බියමුසු හැඟීමක් ද එකටම දැනිණි.   


“මං හිතන එක හරි ද..?” ඇය දියණිය පිළිවිසියේ දෑසිනි.   


රේණුකා ඥාති දියණියගේ හිස පිරිමදිමින්ම එය එසේ යයි අඟවන්නට හිස සැලු‍වාය. හීන් නෝනා හිස හරවා දිනේෂිගේ ගවුම දෙස බැලු‍වාය. ඒ පැල්ලම තමාට දැනුම් දෙන්නේ මහා වගකීමක් පැවරුණ බව නොවේදැයි ඇයට සිතිණි.   
“කීයට වාගෙ ද වෙලා තියෙන්නෙ..?”   
ඇය ඇසුවේ සුසුමක් ද හෙළමිනි.   


“දැන් වාගෙ වෙන්න ඇති.. හීනයක් දැකලා කෑ ගහලා ගවුම තෙතයි කියලා ඇහැරුණේ..” රේණුකා කීවාය.   
“දැන් ඉතින් අඬන්නෙ නැතුව ඉඳින් ලොකු දුව.. නැන්දා කියලා දෙයි කරන්න ඕනැ දේවල්.. මම පල්ලෙහා ගෙදර දුවත් එක්ක ගිහින් නැකැත්තා හම්බ වෙලා එන්නම්.. රේණු අයියට කෝල් එකක් දීලා කියාපන්කො විස්තරේ.. අනේ මන්දන්නෙ නෑ සිද්ද වෙනකොට ඔක්කොම එක පිට..”   
ඇය කාමරයෙන් පිටට ගියේ කරදරකාරී හඬකින් එසේ කියමිනි.   


“ජිනා අක්කට බබා හම්බු වෙලා ද දන්නෙ නෑ අම්මා.. ලොකු දුව හීනයක් දැක්කලු‍..”   
“හම්බු වෙලා නම් ඉතින් කිත්තා කෝල් එකක් නොදී ඉඳීයැ..”   


නොසැළකිලිමත් ලෙසින් කියූ ඇය බුලත් හෙප්පුව මත වූ ගිරය ගෙනැවිත් දිනේෂි අතට දුන්නාය.   
“ඕක අතේම තියා ගනින්.. කාමරෙන් එළියට එහෙම එන්න එපා.. කාමරෙන් එළියට ඇහෙන්න කතා කරන්න, හිනා වෙන්න , පිරිමි ඇහැ ගැටෙන්න නරකයි.. රේණු ඔය ජනේලෙත් වහලා දාපන්..”   
ආච්චි විසින් එක දිගටම දෙන ලද උපදෙස් ඇසුණ දිනේෂිට සිතුණේ තමා වසංගත රෝගයකට ගොදුරු වී සිටින්නේදැයි හැඟීමකි. අම්මා හෝ තාත්තා ළඟ සිටියේ නම් ඇයට මෙය මංගල අවස්ථාවක් බැව් දැනෙන්නට තිබිණි.   


“අනේ ආච්චී... මට බයයි..”   
ඇය එවර නැන්දා අත් හැර ආච්චි වැළඳ ගත්තාය.   


“මොනවට බය වෙන්න ද දරුවෝ..? ඕක ඉතින් කෙල්ලෙක් වෙලා ඉපදෙන ඔක්කොටම සිද්ද වෙන දෙයක්නෙ.. හා.. හා.. නාඬා ඉඳින්කො..” කියමින් ඇය දිනේෂි ඇඳ මත හිඳ වූවාය.   


රේණුකා පිටතට ගියේ දුරකථනය නාද වෙන හඬ ඇසුණ බැවිනි. ආච්චි මල්වර වූ යුවතියක විසින් කළ යුතු නොකළ යුතු දේවල් ලැයිස්තුවක් කීවත් ඒ එකක්වත් දිනේෂිගේ සිතේ රැඳුණේ නැත.   


“අම්මා.. ටිකක් එන්නකෝ..”   


රේණුගේ කලබලකාරී හඬ පිටතින් ඇසිණි.   
“ඒ ගමන මොන මරාලයක් ද..?” හීන් නෝනා මිමිණුවාය.   


ලබන සතියට.

 

 

 

 

 



අදහස් (0)

ඕක ඉතින් කෙල්ලෙක්වෙලා ඉපදෙන හැමෝටම සිද්ධ වෙන දෙයක්නෙ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10932 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5939 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5271 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3247 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1713 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 406 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1813 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1630 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site