IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හැරී කුමරු නොදන්න බ්රියගේ පෙම් හුටපට

Hot ගොසිප්

 

 

ගැහැණුන්ගේ පින කුණු මුල්ලේ හැංගී පවතින බව අපේ ජන සමාජයේ පවතින කතාවකි. ඒ කතාව ලංකාවේ අපිට පමණක් නොව ​ලෝකයේ කොයි තැනටත් පොදුය. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර උපන් මේඝා මර්කල්ටත් පොදුය.

අප්‍රිකානු සම්භවයක් ඇති අම්මා කෙනෙකුටත් ඇමෙරිකානුවකුටත් දාව උපන් මේසාගේ අාගම කතෝලිකය.  

මේ කෙල්ල තව මාස පහ හයකින් එංගලන්ත රජ පවුලේ රජකිරුළට හිමිකම් කියන පස් වැන්නාගේ බිරිඳ බවට පත්වීමට නියමිතය. මේඝාගේ පින අනෙක් ගැහැණුන්ගේ මෙන්ම කුණු මුල්​ලේ හැංගී තිබිණැයි මා මුලින් ලිව්වේ ඒ නිසාය.  


මේඝා හැරි කුමාරයාගේ ඇහැ ගැටුණේ දකුණු අප්‍රිකාවේදීය. කිසියම් ක්‍රීඩා සමාජයක උත්සවයකට ගිය හැරී කුමාරයාට එකපාරටම දකින්නට ලැබුණු ලස්සන කෙල්ල වැලිකතරකදී දකින්නට ලැබුණු මේඝ වලාවක් මෙන් දැනිණි. ඔහුගේ ඇස් දෙක ගිනිතරු වැටුණු අතර පපුවේ නතරවීමක්ද සිදුවිය.  


හැරී යනු කෙල්ලන්ගෙන් තොර කොල්ලෙක් නොවේ. රජ පවුලේ කෙනෙක් වීම කඩවසම් කොල්ලෙක් වීම, හිටපු නාවික හමුදා කපිතාන්වරයකු වූ බැවින් අපූරු පෞරුෂත්වයකින් යුතුවීම වැනි කරුණු කාරණා නිසා හැරීට කෙල්ලන්ගෙන් ලැබෙන ඇල්ම බැල්මේ අඩුවක් පාඩුවක් නැත.

ඒ නිසාම ඔහුට කෙල්ලක් දුටු පමණින් ‘කුලප්පුව’ හැදෙන්නේද නැත. එසේ නම් මේඝා දුටු පමණින් ඔහුගේ හදවත ගිලන් වූයේ ඇයි? අර සංසාරගත බැඳීමක් යැයි කියන ප්‍රේමය නිසාද?  


කෝකටත් හැරී කුමාරයා අර මේඝා දෙස හැරි හැරී බැලුවේය. ඒ බැල්ම ඉව වැටුණු මේඝා හැරීට ලස්සන සිනාවකින් සංග්‍රහ කළාය.  


හිනාව ඉනාවක් විය.   


ඒ අයුරින් පටන් ගත් යාළුකම දකුණු අප්‍රිකාවෙන් ආපසු ලන්ඩනයට ආ පසුත් නිමා වූයේ නැත. ඔවුහු කතා කළහ. කොච්චර කතා කළත් ඇති වීමක් නොවූ විට යළිත් මුණ ගැසුණහ. අත්වැල් අල්ලාගෙන ලෝකයේ ලස්සන තැන්වලට ඇවිද ගියහ. වරක් ඔවුන් ගියේ අප්‍රිකා මහද්වීපයේ සුන්දරම දර්ශනය වූ වික්ටෝරියා දිය ඇල්ල බලන්නටය.

ඒ ගමන්ම බොට්ස්වානාවට ගිය ඔවුහු අලින්ගේ විසිතුරු බලා සිටියහ. තවත් වරෙක හැරී කුමරුන්ගේ මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට දකුණු ඇමරිකානු රටකට හැරී ගියේ මේඝා සමඟය.  


රජ පවුලට නිදහසක් ඇත්තේම නැත. ලොව කොතැන​ වේවා ඔවුන් පසුපසින් පැපරාසීහුද යති. ඔවුන්ගේ උකුසු කැමරාවලින් රජ පවුලේ උදවියගේ ඡායාරූප ගෙන ගොසිප් ටැබ්ලොයිඩ්වල පළකරති. එංගලන්තයේ පළවන ‘ද සන්’ පත්තරයේ මේ දෙන්නාගේ පින්තූරයක් පළවිය.

ඒ සමගම හැරීගේ හිතගිය මේඝා යනු කවුදැයි සොයා බලන්නට ඔවුහු අමතක නොකළහ. මේ කෙල්ලගේ පරණ පෙම් බැඳුම් පරණ පෙම්වතුන් ආදිය සොයා පළකළහොත් තමන්ගේ පත්තර වල ඉල්ලුම ඉහළ යන බව දත් ගොසිප් කාරයෝ කෙල්ලගේ විස්තර හොයා බැලූහ. බලන විට මේඝා මර්කර් යනු නිළියකි. ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකාවල විකාශය වූ ටෙලි නාට්‍ය බර ගණනක රඟපා ජනප්‍රියත්වයට පත්වූ නිළියකි. එතැනම කොච්චර කතන්දරද?  

 

මේඝා මුලින්ම රඟපෑවේ ‘ජෙනරල් හොස්පිටල්’ නම් වූ සෝප් ඔපෙරාවකය. ඊට පසු ‘සෙන්චුවරි සිටි’ නම් ටෙලිනාට්‍යයකද ඊළඟට ‘ද වෝ ඇට් හෝම්’ නම් ටෙලියක ද රඟපෑවාය. එහෙත් මේ කෙල්ල වඩාත් ජනප්‍රිය වූයේ ‘ෂූට්’ නම් ටෙලියක රඟ පෑ රැචල් සේන් නම් චරිතයක් හේතුවෙනි. ඊළඟට චිත්‍රපට දෙක තුනකද රඟපාන්නට වරම් ලැබුණු මේඝා මෝස්තර නිරූපිකාවක ලෙස ද කටයුතු කළාය.  


සිනමා ලෝකයේ සැරිසරද්දී චිත්‍රපට නිෂ්පාදකයකු තිර රචකයකු මෙන්ම නළුවකු ද වූ ‘කොල්ලෙක් සමඟ මේඝාගේ හාදකමක් ඇති විය. මෙවැනි හාදකම්වලින් නිළියකට වැඩි වැඩියෙන් චරිත ලැබීමත්, තමන්ගේ චරිතය නැති වීමත් යන දෙකම සිදුවෙයි. මේඝාටත් වූයේ ඒ ටිකමය. හැබැයි ඒ චිත්‍රපට නිෂ්පාදකයා මේ කෙල්ලව කසාද බැඳගත්තේය. ​ෙට්‍රවෝ එංගල්සන් නමැති මේ හාදයා 2004 පටන් අවුරුදු හයක්ම මේඝාව ඇසුරු කළේය. අන්තිමේ 2011 සැප්තැම්බර් 10 වැනිදා ජැමෙනිකාවේ හොඳ හෝටලයක සුපිරි උත්සවයක් ගෙන මේඝාව කසාද බැඳගත්තේය.   


අවුරුදු හයක් ඇසුරු කළත් දෙන්නාට දෙන්නා හරියට තේරුම් ගන්නට නොහැකි විය. පෙම් කරන කාලයේදී නොපෙනුණු අඩුපාඩු වැඩි වැඩියෙන් පෙනෙන්නට පටන්ගත්තේය. අන්තිමේදී අවුරුදු දෙකක් තුළ දෙන්නා දෙපැත්තට වූහ. 2013 අගෝස්තු මාසයේදී දෙන්නා ඔවුන්ගේ ‘සුරංගනා කතාවට’ අවසන් තිත තැබූහ.  


මේ පෙම් හුටපටය, ගොසිප් පත්තරවල රසවත් ලෙස පළකළේ මේඝාගේ හා ට්‍රෙවෝගේ පින්තූර ද සමගිනි.  


එහෙත් මේ වන විට හැරීගේ ඇස්, ආලයෙන් අන්ධ වී තිබිණි. මේඝාගේ කලින් විවාහය ඔහු ප්‍රශ්නයක් කරගත්තේ නැත. අැරත් මේ වන විටත් දෙන්නා ගත කළේ ‘ලිවිං ටුගෙදර්’ ජීවිතයකි. හැරී මේඝාට හොඳටෝම වහ වැටී සිටියේය.  


හැරී කුමාරයා රජ පවු​ලේ ලොක්කාට මහ රැජිනට තමන්ගේ ප්‍රේමය ගැන දැනුම් දුන්නේය. කතෝලික ආගම ඇදහීම දික්කසාද වී සිටීම රජ පවුල හා සම්බන්ධ වීමට තිබෙන නොගැලපීම්ය. එහෙත් ඒ නොගැලපීම් නොසලකා හරින්නට මහ රැජින තීරණය කළාය. මේඝාට පැමිණ තමන් හමුවන ලෙස ඇය දැනුම් දුන්නාය.  


රැජිනගේ සම්මුඛ පරීක්ෂණයට අභීතව මුහුණ දෙන්නට මේඝාට හැකිවිය. ඇගේ නොගැලපීම් නොසලකා හැර ඇය රජ පවුලට බඳවාගන්නට රැජින කැමැත්ත පළ කළාය.   


හැරීගේ හිසේ මල් පිපුණි. මේඝාගේ පින පෑදිණි. දැන් ඇගේත් හැරී කුමරුගේත් නම් ප්‍රසිද්ධ වී අවසන්ය. ලබන අවුරුද්දේ මල්බර මැයි මාසයේදී දෙන්නාගේ විවාහ මංගල්‍යය ජයට සිදුවෙයි. මේ සඳහා යන වියදම පවුම් මිලියන පනහක් පමණ වෙතැයි කියති.  


මේ අතර මේසා මර්කර්ගේ ප්‍රථම ප්‍රේමය ද හොයාගන්නට ‘ගොසිප්’ කාරයෝ සමත් වී සිටිති. ඔවුන්ට අනුව මේඝා කෙල්ල හාපුරා පෙම්වතියක් වී ඇත්තේ පාසල් යන අවදියේදීය.   


හැරී නොදන්න මේසාගේ රහස්‍ය ප්‍රේමය ලෙස නම් කළ මේ පෙම් පුවතේ අයිතිකාරයා ස්ටීව් ලෙපෝ නමැත්තෙකි. මේඝා සමඟ පාසලේදී පෙම් කළ ඔහු අැයත් සමගම නොර්ත් වෙස්ටර්න් සරසවියට ද ඇතුළත් විය.

මේ දිගු කාලය පුරා ඔවුන්ගේ ප්‍රේමය රන්රස සේ පැවතුනාට සැක නැත. මේඝා නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ පුංචි තිරයටත් රිදී තිරයටත් සම්බන්ධ වීමත් සමඟ ඔවුන්ගේ පෙම් දම බිඳීයන්නට ඇත. එහෙත් මේඝා, මේ ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.   


කෙසේ වෙතත් අනුන්ගේ ගැහැනියකව වසර දෙකක් ගත කළ මේසාගේ පළමු ප්‍රේමය ගැන වෙහෙසීම තේරුමක් නැති දෙයක් බව හැරී කුමරු දන්නා බැවින් ඔහු ඒ පස්සේ එලෙව්වේද නැත. 

 
කෙසේ හෝ වේවා, දැන් සියල්ල තීරණය වී හමාරය. තව නොබෝ කලෙකින් මේඝා මර්කර් කුමරියකි.  

 

 

 

 

 

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන

 



අදහස් (0)

හැරී කුමරු නොදන්න බ්රියගේ පෙම් හුටපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site