IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


’’විශ්වවිද්‍යාල වංශකථාවේ ප්‍රේමණීය ගායකයා’’ - සුනීර සුමංග


බාල, තරුණ මහලු හැම හදවතකටම දැනෙන්නට ආමන්ත්‍රණය කළ හැකි කටහඩක් වේ නම් එය දෙවියන්ගෙන් ලැබුණු තිළිණයකි. මිනිස් සන්තානය බිඳ දමමින් මිනිස් සිත් නළවන්නටත්, හඬවන්නටත් රිදුණු හිත් සනසන්නටත් කලාවට හැකියි. ඒ අතරින් නිවුණු හඬින් මිනිස් සිත් වසඟයට ගැනීමට සමත් වූ ඔහු තරුවකි.

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැළිති නඟවා
ගංගාව ඔහේ ගැලුවා..
.

මේ පැදි පෙළ කන වැකුණු සැණින් මතකයට එන හදවත් හොරා ගත් ගායකයා සුනීර සුමංගයි මෙවර සැඳැල්ලෙන් ඔහු සමඟ කළ කතාබහයි මේ.

  • මුලින්ම සුනීර ගායනයට ප්‍රවිෂ්ට වෙන විදිහෙන් කතාව ආරම්භ කළොත්, 

මම පොඩි කාලෙ ඉඳන්ම ගීත ගායනා කරා. මම පාසල් ගියේ කදාන De Mazenob college එකට. ඉස්කෝලෙ 3-4 වසරවල ඉඳන්ම වගේ ගායනයට යොමුවෙලා හිටියා. ඒ වගේම පාසල් මට්ටමින් පැවති විවිධ තරගවලිනුත් ජයග්‍රහණ අරන් තියනවා. ඊට අමතරව එක එක ඉවෙන්ට්වල එහෙමත් ඒ කාලෙ ඉඳන්ම සින්ග් කරා. ඒ අතරෙ තමයි ඩ්‍රීම්ස්ටා ඇප්ලයි කරේ. වෘත්තීය මට්ටමින් ගායනයට ප්‍රවිෂ්ට වෙන්නෙ දෙරණ නාළිකාවේ ඩ්‍රීම්ස්ටා තරඟ ජයග්‍රහණයෙන් පස්සේ. මේ විදිහට ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට උන මම දැන් ටික ටික වෘත්තීය මට්ටමේ ගායකයෙකු වෙන ගමන් ඉන්නේ.

  • සුනීරට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඒ ආදරය ගැන මතක් කළොත්,

ඇත්තටම ඒ ප්‍රතිචාර සහ ආදරය මම හිතුවටත් වඩා ලැබෙනවා. ඒ කියන්නේ  දෙරණ ඩ්‍රීම්ස්ටා තරගයෙන් එළියට එනකොට තිබුණට වැඩිය දැන් මට ගොඩක් ප්‍රතිචාර තියනවා. මම හිතන්නේ මම ගායනා කරන ශෛලියත් එක්ක ඒ ආදරය වැඩියෙන් ලැබෙනව ඇති කියල. මොකද මේ ශෛලිය ගොඩාක් තරුණ අය තෝර ගන්නෙ නැති පැත්තක්. විශේෂයෙන්ම කියන්න ඕන ඒ ආදරය වැඩිපුරම ලැබෙන්නෙ දෙමාපියන්ගෙන්. ඉතින් මම ඒ ආදරය විදිමින් මගේ ගායන කටයුතු ඉදිරියට කරගෙන යනවා. 

  • ඔබ ලංකාව ඇතුළත වගේම ලංකාවෙන් පිටත් ගොඩක් ප්‍රසංගවලට සහභාගි වෙනවනෙ. එහෙම අවස්ථාවකදී ඔබට සිදුවුණ අමතක නොවන සිදුවීමක් මතක් කරොත්,

ලංකාවෙන් එළියෙදි මට ඒ වගේ වැඩක් සිද්ධ වුණා. මම කැනඩාවේ ෂෝ එකකට ගිහින් හිටියෙ. මම එදා ගායනා කරන්න හිටියෙ අමරදේව මාස්ටර්ගේ ජගන් මෝහිනී සින්දුව. එතනදි ඇඩ්ලිස්ට් එක ප්ලේ කරල බෑන්ඩ් එක ප්ලේ කරල මට සිංදුව කියන්න පොයින්ට් එක අරන්දෙද්දිම මට සින්ග් කරන්න බැරි වුණා. මොකද මගෙ මයික් එක ඕෆ් වෙලා. මට ඒක හදාගන්නත් බෑ මොකද එතන සවුන්ඩ් ඉංජිනියර් තමයි ඒක ඔන් කරල දෙන්න ඕන. ඒක එයාට කරගන්නත් බැරිවුණා. ඇත්තටම මම විනාඩි තුනක් වගේ සින්දුවක් කියන වෙලාවම විතර වේදිකාව උඩට වෙලා බලන් හිටියා මයික් එක හදල දෙනකන්. 

  • "විශ්වවිද්‍යාල වංශකථාවේ ප්‍රේමණීය ගායකයා" ලෙස ඔබ මේ දිනවල හරිම ප්‍රචලිතයි. ඒ විදිහට විශ්වවිද්‍යාලය හා ප්‍රේමය ගැන ගීත එළි දක්වන්න විශේෂ හේතුවක් තියෙනව ද?

එහෙම විශේෂ හේතුවක් නැහැ. හැබැයි මෙහෙමයි මම වැඩිපුර විශ්වවිද්‍යාලවල පවත්වන ප්‍රසංගවලට සම්බන්ධ වෙනව සහ ඒ දේවල්වලට මට ගොඩක් ආරාධනා ලැබෙනවා. මම ගොඩක් තැන්වල කියල තියන දෙයක් තමයි ඒවට ගියපුහම ඒ හම්බවෙන ප්‍රේක්ෂක ආදරය මාරයි කියන එක. ඒ ලැබෙන පිළිගැනීම හරිම ආදරණීයයි. ඒ වගේම හොඳට සලකනවා. මගේ අනිත් ප්‍රසංගවලත් ඒ ආදරේ ලැබෙනවා. මම හිතන්නෙ කැම්පස්වලදි ඒක විශේෂ වෙන්නෙ ඒ පිරිස අපේ වයසෙ වීම සහ අපේ පරපුර නියෝජනය කිරීම නිසා.ඉතින් ඒ නිසා එතනදි ලැබෙන ආදරය හරි වෙනස්. ඒක වෙනම ෆීල් එකක්. ඇත්තටම මට ඒ ආදරය ලැබුණෙ සන්තාන සුසුම් කියන ගීතය නිසා. ඒක කැම්පස් එක ඉලක්ක කරලම කරපු එකක් නෙවෙයි. හැබැයි ඒ කතාවෙ අර්ථයත් එක්ක ඒක කැම්පස් එකට ඈදුණා. ඒ නිසා විශ්වවිද්‍යාලවල පිරිසක් මගෙ වටේ එකතු වුණා. ඒ විදිහට තමයි ඕක ගොඩ නැගෙන්නේ. දැනට විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිංදු හතරක් කරල තියනව. තව එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • සුනීරගෙ ප්‍රේමය ගැන කියන්නෙ නැද්ද?

ඒක ගැන කියන්න ඕන හැබැයි තව පොඩි කාලයක් ගියපුහම කියන්නම්.

  • ඔබගේ නිර්මාණ අතර ඔබ කැමතිම ගීතය කුමක්ද?

මම දැනට ගීත 180ක් විතර ගායනා කරල තියනවා. හැබැයි එළිදක්වලා තියෙන්නෙ සිංදු 25ක් විතර. ඒ ගීත අතරිනුත් හැම එකක්ම වගේ මගේ යූටියුබ් නාළිකාවෙන් එළිදක්වපු ඒව නෙවෙයි. දැනට  එළිදක්වලා තියන ගීත අතරින් මම වැඩිපුරම කැමති සන්තාන සුසුම් ගීතයට සහ නෙළා ගැනුමට කියන ගීතයට. 

  • ඉදිරි කලා කටයුතු මොනව ද?

මම නන්දා මාලනී මිස් එක්ක යුග ගීතයක් කළා. ඒ වගේම සන්තාන සුසුම් ලයිව් ඉන් කොන්සට් කියලා මගේ සෝලෝ කොන්සට් එකක් 2025යේ ජනවාරි මාසයේ 11 වැනිදා පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.  ඒක තමයි දැනට තියන ලොකුම කලා කටයුත්ත. ඊට අමතරව ලංකාවෙ ප්‍රසංග හා විදේශීය ප්‍රසංග කිහිපයක වැඩ කටයුතු තියනවා.

  • සුනීරගෙ අනාගත ඉලක්ක මොනව ද? 

දැනට මට තියන ලොකුම බලාපොරොත්තුව තමයි මගේ සෝලෝ කොන්සට් එක. මොකද ලංකාව ඇතුළෙ නැවතත් ශාස්ත්‍රීය සංගීතයට ප්‍රියකරන නිවුණු සංගීතයට ආසකරන පිරිස වැඩිවෙලා, ඒවට හොඳ ප්‍රවණතාවක් හැදිල තියනවා. මගේ ඉලක්කය තමයි ඒ පිරිස තවත් වැඩිකරන එක. ඒ වගේම තමයි තව අවුරුදු 10 කින් 15 කින් මිනිස්සුන්ට මෙන්න මෙහෙම ගායකයෙක් හිටියා, මේ වගේ ගීත තිබුණ කියල කොලිටි මතකයක් දාල තියන්න උත්සාහ කරන එකත් මගේ ඉලක්කයක්.

  • පවුලෙ විස්තර ටිකකුත් කිව්වොත්, 

මමයි අම්මයි තාත්තයි නංගී ඉන්නේ. තාත්තා නම් දැනට ලංකාවෙ නැහැ. විදේශ රටක රැකියාවක් කරනවා. නංගි උසස් පෙළ විභාගය නිම කරල රැකියාවක් කරනවා.


දුලක්ෂි ලියනගේ



අදහස් (0)

’’විශ්වවිද්‍යාල වංශකථාවේ ප්‍රේමණීය ගායකයා’’ - සුනීර සුමංග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2545 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site