මහා වංශයේ පංච යෝජනා රටය යනුවෙන් හැඳින්වූ පස් යොදුන් රට කඳු ගිරි ශිඛර වලින් වට වූ ඉතාම ආරක්ෂිත ප්‍රදේශයකි. මෙහි ඇති භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගත් කෝට්ටේ යුගයේ සිටි දක්ෂ රණකාමියෙකු වූ වීදිය බණ්ඩාර කුමරා සිය වාස භූමිය කර ගත්තේ මේ පස් යොදුන් රට බව අපට ඉතිහාසයෙන් පෙන්වා දෙයි.   


විශේෂයෙන් උස් කඳු මුදුන් විශාල, වනාන්තර, ගල් ගුහා වලින් පිරුණු මේ ප්‍රදේශය ගරිල්ලා සටන් ක්‍රම සඳහා හොඳ ක්ෂේම භූමියකි. දක්ෂ රණකාමියෙකුට හොඳ රණ බිමකි. මේ සියලු කරුණු සැලකිල්ලට ගත් වීදිය බණ්ඩාර කුමරු පෘතුගීසින්ට විරුද්ධව සටන් කිරීමත් සැඟව සිටි පහර දීම පමණක් නොව අයුධ නිෂ්පාදනය හේවයන් පුහුණු කිරීම ආදී කටයුතුවලට යොදා ගත්තේ ද මේ ඓතිහාසික පස් යොදුන් කෝරළය බව ඓතිහාසික මූලාශ්‍ර වලින් සනාථ කොට ඇත. එදා ‘පස් යොදුන් රට’ නමින් හැඳින් වුවද අද කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි අගලවත්ත මැතිවරණ කොට්ඨාසයම වීදිය බණ්ඩාර කුමරුගේ රණ බිමක් බවට පත් වී තිබූ අයුරු ඒ ප්‍රදේශයේ සංචාරය කරද්දී දැක ගැනීමට හැකි විය.   

අගලවත්ත මැතිවරණ කොට්ඨාසයට අයත් පැලවත්ත ඉතාම සුන්දර ගම්මානයකි. කොළඹ යුගයේ කවියෙකු වූ සාගර පළන්සූරිය හෙවත් කේයස් ‘සුදෝ සුදු’ කාව්‍ය සංග්‍රහයට ලියූ 


ගොඩ මඩ දෙකම සරු සාරය පළ බරය   
කටු රොද ගම්මාන තරමක පිටිසරය   
එ් ගම මැදින් ගලනා ගඟ මනහරය   
කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය. 

 
යන පද්‍ය පංතිය සිහිපත් කිරීමට තරම් එදා පිටිසර බවක් පැලවත්ත ගම්මානයේ තිබුණේය. ඒ ගම මැදින් ගලනා පැලතු ඟග අදත් නිසොල්මනේ ගලා බැස   


බෙන්තර ගඟට එකතු වී මහා යසුර සිප ගන්නේය. වර්තමානයේ කෙමෙන් කෙමෙන් නාගරික ලක්ෂණ පැලවත්ත ගමින් මතු වුවද තවමත් සෞබා සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් වීම බොහෝ දෙනාගේ නෙත් සිත් වශී කරනු ලබන්නේය.   


පැලවත්ත ගමට ග්‍රාම නාමය ලැබී ඇත්තේ කෙසේ ද යන්න සොයා බැලීමේදී නැගෙනහිර පස් යොදුන් ​කෝරළයේ පෑල දිගට පිහිටි වත්ත පෑලවත්ත වූ බවත් පසු කාලීනව සුඛෝච්චාරණයෙන් පහසුව තකා ඒ ග්‍රාම නාමය පැලවත්ත නමින් ප්‍රසිද්ධියට පත් වූ බවත් අදටත් ගමේ ජීවත් වෙන පැරැණ්නෝ පවසති.  


වර්තමාන පැලවත්ත නගරය අද බොහෝ ප්‍රදේශ වලට යාමට ඇති ප්‍රධාන මංසන්ධියකි. දෙණියාය, අකුරැස්ස, මොරවක, නෙළුව, තවලම, තිනියාවල, පිටිගල, මාපලගම, උඩුගම, ඇල්පිටිය ආදී ප්‍රදේශ රැසකට යාමේදී හමුවෙන ප්‍රධාන මධ්‍යස්ථානය පැලවත්තයි. පැලවත්ත ප්‍රධාන ගම කරගත් පොකුරු වශයෙන් විහිදුණු ගම්මාන රැසක් ඇත.   


පහළ හෙවෙස්ස, කපුරු කන්ද, ගමෙන් කන්ද, වීර කන්ද, මණ්ඩගල, තේරී හේන, යට්ටපාත, පුස්සවෙල, ගොරකදුව, කොස් කැටිය, රණේපුරගොඩ, කළුගල, මිරිස්වත්ත, වැල් වී ගොඩ, ගල් කඩුව, කෑරගල, යක්කිරි කන්ද, ගල්බොරළුව කටුකැලේ ආදී කොට ගත් ගම්මාන රැසක් පැලවත්ත හා බැඳී පවතියි. මේ ගම් වලින් පැරණිම ගම වශයෙන් හඳුන්වන පහළ හෙවෙස්ස හෙවත් හෙවෙස්සයි. ඒ ගමෙන් බිහි වූ පහළ හෙවෙස්ස සේලන්කරුවාඩිපති පණ්ඩිත හෙවෙස්ස නන්දාරාම නාහිමියන් සිය ගම ගැන ඒ අතීත තොරතුරු පැවසුවේ මේ අයුරිනි.   


හෙවෙස්ස කියලා කියන්නේ මේ ප්‍රදේශයේ තියෙන පැරණිම ගම. පසුකාලීනව එය ඉහළ හෙවෙස්ස, පහළ හෙවෙස්ස යනුවෙන් කොටස් දෙකකට බෙදුණත් මුල් කාලීනව හෙවෙස්ස යනුවෙන් තමයි හැඳින්වුවේ. වීදිය බණ්ඩාර කියන සෙනෙවියාගේ හේවායෝ විස්සකගෙන් හැදුණුගම තමයි හේවාවිස්ස පසු කාලීනව හෙවෙස්ස බවට පත් වෙලා තියෙන්නේ.   


මේ ප්‍රදේශයේ බොහෝ දුරට ඒ කාලේ තිබිලා තියෙන්නේ අඩිපාරවල් විතරයි. ඉස්සර ගමේ මිනිස්සු පයින්ම තමයි ගමන් බිමන් ගියේ. මට පුංචි කාලේ මතකයි ඈත පළාත් වල ඉඳලා මිනිස්සු සිරිපාදේ වන්දනාවේ යන්න එන්නේ හෙවෙස්ස පාරෙන් අත් දෙකටම උර හිසේ සිට මළු දෙකක පුරවා ගත් කෑම බීම ආදී උපකරණ සමග පයින්ම ඒ වන්දනාකරුවෝ ශ්‍රී පාද වන්දනාවේ ගිය හැටි මගේ මතකයේ තිබෙනවා. හෙවෙස්සෙන් බදුරලිය කලවාන කුකුලේ ගඟ හරහා රත්නපුරට පැමිණ කුරුවිට පාරේ ශ්‍රී පාදස්ථානය දක්වාම පයින්ම තමයි මේ උදවිය ගමන් කරන්නේ දහවල රාත්‍රිය ගත කරන්න ගිමන් නිවා ගන්න අම්බලම් තියෙනවා. ඊට අමතරව දන්නා හඳුනන නිවෙස් වල රාත්‍රිය ගත කරනවා. ඒ දවස්වල ගමේ ගෙවල් අද තරම් ළඟින් තිබුණේ නැහැ. සැතපුම් ගණනකට එක නිවසයි දෙකයි තිබුණේ. විශාල වනාන්තර තිබුණා.   


එවැනි විශාල වනාන්තරයක්ව පැවැති ප්‍රදේශයක තමයි ආණ්ඩුව විසින් පැලවත්ත රාජ්‍ය වතුයාය ආරම්භ කළේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ මේ තේ ව්‍යාපාරය ආරම්භ වුණා. ඒ වතු යාය ආරම්භ වීම සිහි ගැන් වීමට එවකට ඉඩම් අමාත්‍ය වරයා වූ සී.පී.ද. සිල්වා මහතා රෝපණය කළ විශාල තේ ගසක් ඒ වතු යායේ ඒ කාලේ තිබුණා. ඊට පස්සේ විශාල වශයෙන් හෙවෙස්ස ගම්මානය ජනාවාස වීම ආරම්භ වුණා. ගමේ මිනිසුන්ට මේ වතු යායේ රැකියාවල් ද ලැබුණා.   


එ් දවස්වල පැලවත්තට විදුහලක් නොමැති අවදියේ බොහෝ දෙනා හෙවෙස්ස විදුහලට තමයි ඉගෙන ගන්න ඇවිත් තිබෙන්නේ. ඉතා දුර බැහැර ඉඳලා බෞද්ධයන් දාන මානාදී කටයුතු වලට යන ඉතා ශාන්ත සුන්දර පරිසරයක පිහිටි කළුගල ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ තමයි. ඇහැලියගොඩ සමරදිවාකාර රාළහාමි මේ පුණ්‍ය භූමිය ආරම්භ කරලා තියෙනවා. කළුගල ආරණ්‍ය සේනාසනය මා අතින් කවියට නැගුණේ මෙසේය.   


මේ මුළු රටේ පරසිදු කළු ගල අරණ   
ලොවටම ශාන්තිය දෙන මා හැඟි දෙරණ   
කළුගල සොබා සොඳුරියගේ සැනසුම දෙවණ   
සුන්දර ගතිය ඇති නිති මිහිළිය මවණ.   


කළුගල රක්ෂිතයක් වශයෙන් ද විශාල ගස් හා විවිධ පැලෑටි වර්ග වලින් පිරුණු සුන්දර පරිසරයකි. පහළ හෙවෙස්ස සේලන්තරාරාම විහාරස්ථානයද ප්‍රදේශයේ ඉපැරණිම විහාරස්ථානයක්. බදුගම පියදස්සි කියන හාමුදුරුවෝ මේ විහාරස්ථානයේ ආරම්භක හාමුදුරුවන් වහන්සේ වශයෙන් සලකනවා. ඒ කාලේ පැලවත්තේ කඩ මණ්ඩියක් නොතිබූ අවදියේ විහාරස්ථානයේ වැඩ වලට හුණු ආදිය ද්‍රව්‍ය මිලට අරගන්න කුම්බදුව කියන කඩමණ්ඩියට එන්න සිදු වෙලා තියෙනවා. හෙවෙස්සේ මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති විල්බට් හෙට්ටිආරච්චි මහත්මා ද මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. ඒ මහතා පදිංචිව සිටියේ පැලවත්ත ගොරකදුව කියන පැලවත්තටම අයිති ගමක තමයි. පැලවත්තෙන් බිහි වූ පළමු බටහිර වෛද්‍යවරයා වූයේ ඒ මහතාගේ පුත්‍ර රත්නයක්. ඒ තමයි ජාතික ලේ බැංකුවේ මෙන්ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරයා වයෙන් සේවය කරන ග්‍රන්ථ කීපයක් ලියූ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහත්මා. පහළ හෙවෙස්ස මහා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වශයෙන් ඒ මහතා අපේ ගමට විශාල ගෞරවයක් ලබා දුන්නා. ඊළඟට පහළ හෙවෙස්ස ප්‍රදේශයෙන් බිහි වූ වර්තමාන මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතා පරිපාලන සේවයෙන් ඉහළට පැමිණි අයෙකි. වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් පියසේන රණේපුර සහ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සභාපති කරුණාදාස ගමගේ යන මහත්වරු ගමට අභිමානයකි. පැලවත්තෙන් බිහි වූ බටහිර වෛද්‍යවරු ගැන කතා කිරීමේදී හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රියංකර ජයවර්ධන මහතා ද ප්‍රදේශයට ගෞරවයක්. හිටපු ගම් සභාපති මෙන්ම කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රී වරයෙකු වුද පැලවත්ත උප තැපැල් කාර්යාලයේ ප්‍රථම උප තැපැල් ස්ථානාධිපති වරයා වූ හේමරත්න ජයවර්ධන මහතාගේ ජ්‍යෙෂ්‍ඨ පුත්‍රයා වනුයේ ද හෘද රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාය. ඊළඟට වර්තමාන ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ද හේම ජයවර්ධන මහතාගේ කනිටු පුත්‍රයාය. අතීතයේ මේ ප්‍රදේශවල ගමනා ගමන පහසුකම් ඉතාම දුර්වල මට්ටමක පැවතියත්   


ඊට සමාගමීව අද මිනිසුන්ට ඒ පහසුකම් වර්ධනය වෙලා තිබෙනවා. රෝහල සහ පොලිසිය මීගහතැන්න ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලල්ලාවිට ප්‍රදේශයේ පිහිටා ඇත. අපේ ගම්වල පවතින පරිසරය රැකගෙන දියුණුවක් මිස ගස් කොළන් විනාශ කරමින් දිය උල්පත් සිඳී යමින් කරන සංවර්ධන ව්‍යාපෘති අපේ ගම් වලට අවශ්‍ය නැහැ.

 

වර්තමාන පැලවත්ත නගරය අද බොහෝ ප්‍රදේශ වලට යාමට ඇති ප්‍රධාන මංසන්ධියකි. දෙණියාය, අකුරැස්ස, මොරවක, නෙළුව, තවලම, තිනියාවල, පිටිගල, මාපලගම, උඩුගම, ඇල්පිටිය ආදී ප්‍රදේශ රැසකට යාමේදී හමුවෙන ප්‍රධාන මධ්‍යස්ථානය පැලවත්තයි. පැලවත්ත ප්‍රධාන ගම කරගත් පොකුරු වශයෙන් විහිදුණු ගම්මාන රැසක් ඇත.

 


ඊළඟට සඳහන් කරන්න ඕනෑම දෙය පහළ හෙවෙස්ස ප්‍රදේශයේ ඒ කාලේ ඉඳලා මැණික් කර්මාන්තයට බොහෝ ප්‍රසිද්ධියක් ඉසිලු ප්‍රදේශයක් බව. විශේෂයෙන් කුඹුරුවල පවා ඒ කාලේ මැණික් ගැරීම සිදු කළා. රත්නපුර හා බේරුවල ආදී ප්‍රදේශ වලින් පැමිණෙන මැණික් ව්‍යාපාරිකයන්ගෙන් පහළ හෙවෙස්ස ප්‍රදේශය ඒ කාලේ පිරිලා. ඒ කාලේ වටිනාම වාහන තිබුණේ මැණික් ව්‍යාපාරිකයන් සතුවයි. ඔවුන්ගේ සුව පහසු වාහන පහළ හෙවෙස්ස ප්‍රදේශයට නිතර එනවා යනවා. මැණික් ගන්න ස්ථාන පැලවත්ත නගරයේ ද තිබුණා. ඉස්සර ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනය කළ පසුව එජාප බුලත් සිංහල මන්ත්‍රීවරයාව සිටි මියගිය සරත් රණවක මහතාගේ ද මැණික් ගන්න ස්ථානයක් පැලවත්තේ තිබුණා මට මතකයි. ඊළඟට ලයිෂන් කඩේ කියන ස්ථානයේ විජේපාල ගුණසිංහ මහතාගේ මැණික් ව්‍යාපාරික ස්ථානයක් ද තිබුණා. 

 
මැණික් කර්මාන්තයට යොමු වූ විශාල පිරිසක් ඒ කාලේ ගමේ හිටියා මට මතකයි.   


විශේෂයෙන් මේ මොහොතේ සඳහන් කළ යුතු තවත් දෙයක් තියෙනවා. කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ නිර්මාතෘවරයාණන් වහන්සේ වෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල මා හිමියන්ගේ පියාගේ මුල් ගම පැලවත්ත පහළ හෙවෙස්ස ප්‍රදේශයයි. පහළ හෙවෙස්සේ වළාකුළු ආරච්චි පවුලේ සහෝදරයන් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයට පදිංචියට ගිහින් තිබෙනවා. ඒ එක වළාකුළු ආරච්චි කෙනෙකුගේ පුත්‍රයෙක් තමයි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කියන්නේ. ඒක අපේ ප්‍රදේශයට විශාල ගෞරවයක් හා අභිමානයක් වශයෙන් සඳහන් කිරීමට හැකි බව අවසන් වශයෙන් හෙවෙස්සේ නන්දාරාම නාහිමියෝ පැවසූහ.   


පැලවත්ත ගැන අතීත තොරතුරු සොයා යෑමේ දී හමුවූ පැලවත්ත සුදර්ශනා රාමාධිපති හා සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ හිටපු ආයතනාධිපති රාජකීය පණ්ඩිත මවනානේ සෝමින්ද හිමියන් අදහස් දැක් වූයේ මේ අයුරිනි.   


ඇළ දොළ ගංගා වලින් සැදුම් ලත් සුන්දර වනගහනයකින් පිරි පිරිසිදු වාතාශ්‍රයක් ඇති ප්‍රදේශයක් වශයෙන් පැලවත්ත හඳුන්වා දෙන්න පුළුවන්. මුල්කාලීනව පැලවත්ත ජනාවාස ඇති වීමේදී පැලවත්ත ගඟ හරහා ගමනා ගමන පහසුකම් සපයාගෙන තිබෙනවා. බෙන්තර ගඟේ අතු ගංගාවක් වන පැලවත්ත ගඟ පැල වත්තෙන් පහළටත් බෙන්තරින් ඉහළටත් පාරු ගමනා ගමනය සිදු වෙලා තිබෙනවා. පැලවත්ත ගමේ මුල් පදිංචි කරුවන් පැලවත්ත ගඟ දිගේ පැමිණ හෙට්ටිගොඩ තොටුපොළ නැමැති ස්ථානයෙන් ගොඩ බැස හෙට්ටිගොඩවත්ත නමැති ස්ථානයේ පදිංචි වෙලා තිබෙනවා. හෙට්ටිගේ නයිදෙහාමි හෙවත් ගන්න වසම් නයිදෙ හාමි නම් පුද්ගලයෙකු පැලවත්තට පැමිණ මුලින්ම පදිංචි වෙලා තිබෙනවා. මොහුගේ මුල් ගම මාතර වැලිගම ප්‍රදේශයේ බවද පැවසෙනවා. මොහුගේ තවත් සහෝදරයන් ගොරකදුව කන්ත්තගොඩ වත්ත කොස්කැටිය පාළුකැටිගොඩ යන ස්ථාන වල පදිංචි වෙලා තිබෙනවා.   


ඒ කාල වකවානුවේම මඩවලගොඩ විතාන නමැති පරම්පරික පුද්ගලයන් කීප දෙනෙකු ද පදිංචි වී තිබෙනවා. මීට අමතරව දොන් සීමන් රාළ වාසගම සහිත පවුලක් බෙන්තර සිට පැමිණ ගල් කඩුවේ පුහඹුගොඩවත්ත නැමැති ස්ථානයේ පදිංචි වෙලා තිබෙනවා. මොවුන්ගේ මුල් වාස ගම දෙගල්ලගේ යයි සමහරු කියනවා. දොන් සීමන් රාළ පරම්පරාව පසුව තමන්ගේ නමට අගින් ගුණවර්ධන නාමය භාවිතා කරනවා. මේ අනුව පැලවත්ත ගමේ මුල් පදිංචිකරුවන් බවට පත් වෙලා තියෙන්නේ හෙට්ටිආරච්චි සහ ගුණවර්ධන යන පවුල් බව පැහැදිලිය. පසු කාලීනව මාකලන්දාවේ පිටිගල ගොඩ සිට පැමිණි පිටිගල කංකානම්ගේ පරම්පරාව ගොරකදුවද උහන්ඕවිට සිට පැමිණි අතුකෝරළ ද පානදුරින් පැමිණි පිරිස් මලලසේකර වැනි පවුල් ද පැලවත්ත ජනාවාස ගත කිරීමට දායක වූ පවුල් අතර ඉන්නවා.   


කෘෂි කාර්මික ජීවන රටාවට හුරු ජනතාවක් වාසය කරන පැලවත්ත ප්‍රදේශයේ අතිතයේ සිට කැත්ත උදැල්ලට හුරු ජනතාවක් වාසය කළ ප්‍රදේශයකි. ප්‍රදේශයට ආවේණික වැවිලි අතර රබර් වගාව මෙන්ම කුරුඳු වගාවද බොහෝ දෙනාගේ ඒ කාලයේ ආදායම් මාර්ග බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව පසු කාලීනව කුඩා ගොවීන් අතර ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට තේ වගාව පත් වීමත් සමග මේ ප්‍රදේශයේ තේ වගාවත් ප්‍රචලිත වුණා. ඒ කාලේ පැලවත්ත ප්‍රසිද්ධ වෙලා තිබුණේ පැල වත්ත මානසික රෝහල තිබුණ යුගයේ තමයි. ඒ දවස් වල විවිධ ප්‍ර​දේශ වලින් පැලවත්ත මානසික රෝහලට බෙහෙත් ගන්ත ජනයා පැමිණෙනවා. මානසික රෝහලෙන්. පසුව ඒ විශාල භූමියේ මල් බෙරි වගාව ප්‍රචලිත කිරීමට පියවර ගත්තා. ඊට පස්සේ යුද හමුදා කඳවුරක් සමග පැලවත්ත දේශපාලන සිර කඳවුරක් ද පැවතුණා. 1988-89 වැනි වකවානු වල ඒ දේශපාලන සිර කඳවුර පැවති අතර එහි හිටපු දේශපාලන සිරකරුවන් උමඟක් තනා ගෙන පළා යෑමත් සමග ඒ දේශපාලන සිර කඳුවර අයින් කළා. තවදුරටත් ඒ ස්ථානයේ හමුදා කඳවුර අද දක්වාම තිබෙනවා. පැලවත්ත ගම දියුණු කිරීමට කැප වූ අය අතර අප විහාරස්ථානයේ වැඩ විසූ කොස්වත්තේ සාරානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ පැලවත්ත ප්‍රදේශය දියුණු කිරීමට දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කළ හිමි නමක්. පැලවත්ත ගමෙන් බිහි වූ කලාකරුවන් ගැන සිහිපත් කිරීමේදී සංගීතාචාර්ය ගුණවර්ධන පැලවත්ත මහතා සිහිපත් කළ යුතුයි. ගුවන්විදුලියේ විරිදු ගායකයෙක් වශයෙන් ක්‍රියා කළ ගුණවර්ධන පැලවත්තයන් පැලවත්ත ගම පිළිබඳවද විරිදු පංතියක් ගායනා කර ඇත. කිවිපති පියසේන රතුවිතාන මහතා 6 කණුව ගුලනවත්ත විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ යුගයේ මේ විරිදු පංතිය නිර්මාණය කරලා තිබෙනවා. කරන්ගල කන්ද කඩේ වත්ත තොටුපළ ගැන මේ විරිදු පන්තියේ සඳහන් වෙනවා. පැලවත්තේ අතීත විත්ති අළලා කෘතියක් ලිවීමට මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ තොරතුරු මට ලබා දීමේදී සහාය වූ පාඨශාලාචාර්ය පැලවත්තේ සෝමවීර හෙට්ටිආරච්චි මහතා ද මේ මොහොතේ සිහිපත් කළ යුතුව තිබෙනවා.   


​ෙම් ප්‍රදේශයෙන් බිහි වු දේශපාලනඥයන් අතර දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන රාළහාමි, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී නැසීගිය වීරසේන පිටිගල මහතා ද සිහිපත් කළ යුතු ගමේ දේශපාලනඥයන් අතර ඉන්නවා. ගමෙන් බිහි වූ පළමු නීතිඥයා වන්නේ කේ.ඩී. සිරිසේන මහතාය. නීතිඥ රවී ජයවර්ධන සහ වසන්ත පිටිගල යන මහත්වරුන් ද නීතිඥවරු බවට ගමෙන් පත් වෙලා තිබෙනවා.   


පැලවත්තේ වෙලේගේ වත්තෙන් බිහි වූ අමරවංශ හෙට්ටිආරච්චි මහතා ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් (සංවර්ධන) වශයෙන් සේවය කළ අතර අන්තර් ජාතික සමුළු කිහිපයකම සභාපතිත්වය දරා ඇති රාජ්‍ය නිලධාරියෙකි. පැලවත්ත ගමක් වශයෙන් ගත් කල පොදු කටයුතු වලදී සාමුහික බව සමගියෙන් සමාදානයෙන් ජීවත් වීම කෘෂි කාර්මික ජීවන රටාවට හුරු වූ ජනතාව තුළින් ගම්‍ය වෙන පොදු බොහෝමයක් මේ ප්‍රදේශයේ ජනතාව උරුම කර ගෙන ඇත.   


ගැමි සාරධර්ම රැක ගනිමින් ඉදිරියට යන දරුපිරිසක් සමාජයට දායාද කිරීම ජීවත් වෙන බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මගේ ඒකායන අරමුණ බව මවනානේ සෝමින්ද හාමුදුරුවන් වහන්සේ අවසන් වශයෙන් ප්‍රකාශ කළහ.   


පැලවත්ත ගමේ පුරාණය පිළිබඳව මීළඟට අදහස් දැක්වූයේ හිටපු ගම් සභාපති හා කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභා හිටපු මන්ත්‍රී හේමා ජයවර්ධන මහතාය.   


පැලවත්ත ගම් ප්‍රදේශය ඉතාම සාරවත් පොළවක් හිමි ප්‍රදේශයක්. වී ගොවිතැන අල බතල මෙන්ම වාණිජ වැවිලි භෝග වලට ඉතාම හොඳ දේශගුණික කලාපයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්.   


අතීතයේ මිනිරන් මෙන්ම මැණික් මේ පොළොවෙන් මතුවුණා. විශේෂයෙන් මිනිරන් කර්මාන්තය ඉස්සර හොඳින් මේ ප්‍රදේශයේ තිබුණා. කොස් කැටියේ බැද්දවිල ප්‍රදේශයේ මිනිරන් පතල් දෙකක් හා කදිරන්දොළ ද විශාල මිනිරන් පතලක් තිබුණා. 20 වැනි සියවසේ මුල් භාගයේදී මිනිරන් කර්මාන්තය හොඳින් තිබුණා. වැල්මීගොඩ බෝතලාව වැනි ප්‍රදේශවලත් මේ මිනිරන් කර්මාන්තය තිබුණා. කොළඹ ඉඳලා සී.ඩී. හන්ද්‍රික් නමැති ව්‍යාපාරිකයා මේ මිනිරන් කර්මාන්තය කරගෙන ගියා. ඔහු 1915 සිංහල මුස්ලිම් ගැටුමේදී ඉංග්‍රීසි පාලකයන් වෙඩි තබා මරා දැමූ හෙන්රි ප්‍රේද්‍රික් තරුණයාගේ පියායි.   


​ෙම් කර්මාන්තය සඳහා විශාල ශ්‍රමික පිරිසක් අවශ්‍ය වූ බැවින් ගමේ වැසියන්ට අමතරව පිට පළාත් වලින් ද මිනිරන් කැඩීමට මිනිස්සු ආවා. එසේ පැමිණි පුද්ගලයන් ඉතාම හොඳ දේශගුණයක් මෙන්ම සරුසාර පොළොව උරුම පැලවත්තේ නතර වුණේ ප්‍රදේශයේ කාන්තාවන් විවාහ කර ගැනීමෙනි.   


1930 පැලවත්ත මූකලාන වන ගහනයෙන් පිරුණු ප්‍රදේශයකි. මුලින්ම රජය මැදිහත් වී මේ ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර පිට පළාත් වල ඉඩම් නොමැති ජනතාව අතර බෙදා දීම ආරම්භ කළා. හොරණ ප්‍රදේශයෙන් පැමිණි වැසියන් හොරණ පේරුව වශයෙන් ද පාදුක්කෙන් පැමිණි පිරිස් පාදුක්ක පේරුව වශයෙන් ද කළුතර තොටුමුණේ පැමිණි අය තොටමුණ පේරුව වශයෙන් ද වලල්ලාවිටින් පැමිණිඅය කීණගස්දෙනිය නමින් ඒ ඒ පේරුවලට බෙදී ජනයා බුලත් වගාව එළවලු පළතුරු ආදී වගාවන් ආරම්භ කළා. 1935 දී නැවත වතාවක් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගම් වාසීන්ට ගොඩ ඉඩම් අක්කරය බැගින් දීම නිසා පැලවත්ත ගම තවත් ජනාකිර්ණ ප්‍රදේශයක් බවට පත් වීමට අවශ්‍ය ඉඩ කඩ හිමි වුණා. 1934දී පැලවත්ත මූකලාන ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ඒ කාලේ කෘෂි කර්ම කමිටුවේ සභාපතිවරයා වු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇතෙකු පිටින් පැලවත්ත ප්‍රදේශයේ පැමිණ තිබෙනවා. 1935 දී අදටත් මුළු පළාතේම ජනතාවගේ වෙළෙඳ පොළ පැලවත්ත බදාදා සතිපොළ ආරම්භ වෙලා තිබෙනවා. පැලවත්ත ජනපදයේ ජනයාගේ භවභෝග ටික විකුණා ගැනීමට පැලවත්තේ බදාදා සති පොළ හොඳ වෙළෙඳ මධ්‍යස්ථානයක් වුණා. බුලත්, ගම් මිරිස්, දේශීය එළවළු වර්ග මේ පොළට රැගෙන ඒමට අලුතින් ජනාවාස අැති කර ගත් මිනිසුන්ට ඉඩ සැලසුණා.   


පැලවත්ත පාලම හදන්න අනුමත කරගෙන පාලමේ වැඩ කළේ හිටපු අැමතිවරයෙකු වූ ලලිත් ඇතුළත් මුදලි මහතාගේ පියා වූ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම ආසනය නියෝජනය කළ ඩී.ඩී. ඇතුළත්මුදලි මහත්තයා. නමුත් පාලම විවෘත කරන විට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේ නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්න්ගර මහත්තයා. ගමේ දෙපිලකට බෙදිලා කන්නන්ගර මහත්මයාටයි පැරදුණ ඩී.ඩී. ඇතුළත්මුදලි මහත්තයාටයි දෙන්නටම පාලම විවෘත කිරීමට ආරාධනා කරලා තිබුණා. මම පාසල් සිසුවෙකු වශයෙන් උත්සවයේ පෙරහරේ ලී කෙළි සංදර්ශනයට හිටියා පැලවත්ත මහ විදුහලේ උත්සව සභාව සංවිධානය කරලා තිබුණා. ඇමති කන්නන්ගර මහත්තයාට පමණක් වාඩිවීමට පුටුවක් හා මේසයක් ඉස්කෝලේ තියලා තිබුණා. පස්සේ ඩී.ඩී. ඇතුළත්මුදලි මහතා උත්සව සභාවේ මේසේ උඩ වාඩි වුණා.   


මට පුංචි දරුවෙකු වශයෙන් ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තමයි ඒක. මම ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලන ආරම්භ කරලා පස්යොදුන් කෝරළයේ මහා පත්තුවේ ගම් සභාපතිවරයා බවට පත් වුණා. මේ කාලයේදී අනගාරික ධර්මපාලතුමාගේ මුණුපුරෙකු වු අධි නීතිඥ අනිල් මුණසිංහ මහතා සමග දේශපාලනය කරන්න මට අවස්ථාව හිමි වුණා. ඔහු ඉතාම කඩ වසම් තරුණ නායකයෙකු වශයෙන් මෙන්ම රැඩිකල් පුද්ගලයකු වශයෙන් ජනතාවගේ ආකර්ෂණය ඔහුට හිමි වුණා.   


නෙළුව මොරවක පාර හැදීම එතුමාගේ කාලයේ ආරම්භ කළ ව්‍යාපෘතියක්. ඒ කාලේ ලංකා සම සමාජ පක්ෂයේ දේශපානය කිරීම නිසා අලුතින් පංසලක් ද ආරම්භ කරන්න සිද්ධ වුණා. ඒ සම සමාජ දේශපාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් ආරම්භ වුණ පැලවත්ත ගොරකදුවේ නන්දනවන විහාරස්ථානයේ වර්තමාන දියුණුව දැක මම ගොඩාක් සතුටු වෙන කෙනෙක් තමයි. අනිල් මුණසිංහ මහතාගෙන් පසුව පැමිණි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා සමගද මම ඉතාම ළඟින් දේශපාලන කළ කෙනෙක් තමයි. කොල්වින් මහතාගේ ආදරණීය බිරිඳ මියගිය වෙලාවේ ගිහි කතාවක් කළ එකම පුද්ගලයා මම පමණයි. ඒ තරමට පුදුම හිතවත්කමක් අපි අතර තිබුණා. කොල්වින් මහතා මිය යන මොහොත දක්වා අපේ මිතුදම ඒ විදියට තිබුණා. පැලවත්තේ මා දන්න කාලයේ වාහනයක් තිබූ (කාර් එකක්) එකම පුද්ගලයා වුණේ. එච්.ඩී. තෝමස් අප්පුහාමි මුදලාලියි ඔහු ආරෝ්‍හපාරිනාහ දේහධාරීත්වයෙන් හෙබි නියම සිංහලයා තමයි.   


පැලවත්තේ දිගු ඉතිහාසයකට උරුම කම් කියන මම අතීතයේ ඒ රසබර තොරතුරු ස්මරණය කරමින් ඉතාම සැහැල්ලු සරල දිවිපෙතෙක් ගෙවන බව අවසන් වශයෙන් හේමා ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.   

 

 

 

 

 


සටහන හා ඡායාරූප   
මහින්ද ආරියවංශ

 

 


නිවැරදි කිරීමයි...


මෙම තීරුවේ 2017 දෙසැම්බර් 24 වැනිදා පළවූ ගමක කතාවෙන් ‘දෑහිතකාමින් බිහිකළ බළපිටිය’ යන ලිපියේ ‘දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී සිනා පපා ටිකිරි නගා’’ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායිකා වසන්තා සන්දනායක මහත්මියයි. විවියන් ද සිල්වා බොරලැස්ස යන ගායිකාවගේ නම ඒ වෙනුවෙන් සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි. ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක හා සරත් සන්දනායක වැනි දූ දරුවන් වෙත මෙයින් සිත් තැවුලක් සිදුවී නම් එයට කනගාටුව ප්‍රකාශ කරමි.