• මහාමාරිය - වසූරිය විෂබීජ  අදටත් මහබලවතුන් ළඟ  

 

 

පියවි ඇසට නොපෙනෙන ‘කොවිඩ් 19’ වයිරසය, මනුෂ්‍ය වර්ගයාගේ පොදු සතුරා වී හමාරය. මුළු ලොවම එක් වී මේ පොදු සතුරා පරාජය කළ යුතු වුවත්, එවැන්නක් සිදු​ෙවන්නේ නැත. ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව කිසිදු එන්නතක් ලබා නොගත් පිරිසක් සිටිද්දී, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සහ තවත් ප්‍රබල රටවල් කිහිපයක්, මේ වනවිටත් බූස්ටරයක් එසේත් නැති නම් ප්‍රවර්ධකයක් ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් ද ලබාදීම ආරම්භ කර තිබේ.   


‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල තවමත් ලොවට අබිරහසකි. රෝගය පැතිරීම ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවරිනි. චීන හමුදාවට අයත් වයිරස රසායනාගාරයක් වූහාන් නුවර තිබේ. ආසියාවේ විශාලතම ‘වයිරස බැංකුව’ ලෙස මෙම රසායනාගාරය හැඳින්වෙන අතර, කොරෝනා වයිරස පවුලට අයත්, වයිරස මෙහි ගබඩා කර ඇත්තේ පර්යේෂණ සඳහාය. එය රහසක් නොවෙයි. චීන රජයේ උපදෙස් අනුව, චීන හමුදා විද්‍යාඥයන් ජෛව රසායනික අවි නිර්මාණයට මෙම කොරෝනා වයිරස පමණක් නොව, වයිරස ගබඩාවේ ඇති වෙනත් වයිරස ද යොදාගන්නා බව පැවැසෙන නමුත්, චීන රජය හෝ හමුදාව හෝ ඒ බව තහවුරු කර නැත. එය ලොවට රහසකි.   


අද ලොවට වසංගතයක් වී ඇත්තේ, මෙසේ ජෛව රසායනික අවියක් ලෙස නිර්මාණය කළ කොරෝනා වයිරසයක්ය යන චෝදනාව චීනයට එල්ල වෙයි. එය හිතාමතා නොව, අත්වැරැදීමකින් වූහාන් රසායනාගාරයෙන් කාන්දු වෙන්න ඇතැයි ඇමෙරිකා සහ ඕස්ට්‍රේලියා බුද්ධි අංශ චීනයට චෝදනා නගා තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් චීනය පසුගිය දා ඇමෙරිකාවට පෙරළා චෝදනා කළේ, 2019 දෙසැම්බරයේ වූහාන් නුවරින් ආසාදිතයන් වාර්තා වීමට මාස කිහිපයකට පෙර, ඇමෙරිකාවේ මේරිලන්ඩ් හි හමුදා කඳවුරකින් අබිරහස් වයිරසයක් කාන්දු වූ බවත්, එම වයිරසය නිසා රෝගීවූවන්ගෙන් දකින්න ලැබුණේ කොරෝනා ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ බවත්, ඇමෙරිකාව ඇමෙරිකානු වැසියන්ගෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන් ද එය වසං කළ බවත්ය.   


විකෘති වෙමින්, දරුණු වෙමින්, ප්‍රතිශක්තිකරණ එන්නතවලට පවා අභියෝග කරමින්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අද මනුෂ්‍ය වර්ගයාට සිදු කරන බලපෑම අතිමහත්ය. ජීවිත බිලි ගන්නවා පමණක් නොව, ආර්ථික, දේශපාලනික සහ සමාජයීය වශයෙන් එල්ල ​ෙවන බලපෑම ද සුළුපටු නොවෙයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ආදී රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය ඉකුත් සතියේ වේගයෙන් අඩු වී ගියේ ද කොරෝනා වසංගතය හේතුවෙනි. 

 

 


‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ජීව අවියක් නම්, (එය එසේ නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලොව ප්‍රධාන පෙළේ විද්වතුන් අවස්ථා කිහිපයකදී සහතික වී ඇත.) එය අවිවාදයෙන් ඉතාමත් සාර්ථක අවියකි. චීනය එය නිර්මාණය කළේ, ඔවුන්ගේ බලය හමුවේ ලෝකය දණ ගැස්වීමට නම්, එය සැබැවින්ම සාර්ථක ජීව අවියකි. ඒත් එය එසේ නොවෙයි. අද චීනය ද යළිත් වරක් ‘කොවිඩ් 19’ තර්ජනයට මුහුණ පා සිටී. මේ ​ෙවනවිට චීනයේ පැතිර යන්නේ ‘ඩෙල්ටා‘ විකෘතියයි.   


යුද්ධයක දී භාවිත කළ හැකි ඉතාමත්ම අමානුෂික මෙන්ම භයානකම ආයුධයක් ලෙස ජෛව රසායනික අවි හඳුන්වන්නට පුළුවනි. ලොව බොහෝ විද්වතුන් සදාචාර විරෝධී ක්‍රමයක් ලෙස හැඳින්වුවත්, බලවත් ජාතීන් ඔවුන්ගේ සතුරන් අඩපණ කිරීමට මේ ක්‍රම යොදා ගනී. ජෛව රසායනික අවි ලෝකයට අලු‍ත් දෙයක් නොවේ. ජෛව රසායනික අවියක් භාවිත කිරීම යනු රෝගකාරක ජීවියකු හෝ ද්‍රව්‍යයක් හෝ, එසේත් නැත්නම් ධූලකයක් හිතාමතාම මිනිසුන්, සතුන් හෝ වගාවන් ඉලක්ක කරගෙන මුදාහැරීමයි. මේවා පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය විය හැකි හෝ එසේ නොහැකි යනුවෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය.   


ජෛව රසායනික අවියක් මුදාහැරීම සිදුවන්නේ ප්‍රධාන ක්‍රමවේද කිහිපයකිනි. වාතයට මුසු කිරීම, මිනිස් වාහකයන් යොදාගැනීම, සතුන් මඟින්, ආහාර මඟින් සහ ජලය හරහා යන්න මෙම ක්‍රමවේදයන්ය. ජෛව රසායනික අවි ලෙස බොහෝ සුලබව භාවිතයට ගැනෙන්නේ බැක්ටීරියා, වයිරස හෝ ධූලකය. ඇන්ත්‍රැක්ස් ඇති කරන බැසිලස් ඇන්ත්‍රැසිස් බැක්ටීරියාව, මහාමාරිය ඇති කරන යෙර්සීනියා පෙස්ටිස් බැක්ටීරියාව හා බොටුලිසම ඇති කරන බොටුලිනම් ධූලකය ඉතිහාසය පුරා වැඩිපුරම යොදාගෙන තිබෙන ජෛව රසායනික අවි නිර්මාණය කර තිබේ.   

 


ඊට අමතරව වගා ඉලක්ක කරගනිමින් ජෛව රසායනික අවි යොදාගැනීමේ දී, බැක්ටීරියා හා වයිරසවලට අමතරව දිලීර මෙන්ම ප්‍රොටොසෝවාවන් යොදා ගැනීම ද සිදුවෙයි. මීට අමතරව, මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය උදෙසා ජෛව රසායනික අවි යොදාගන්නා අවස්ථා ද තිබේ. එවැනි අවස්ථාවක් ​ෙවන්නේ හානිදායක කෘමීන්ට එරෙහිව තවත් ජීවියෙක් ව්‍යාප්ත කොට, එම හානිදායක කෘමි ප්‍රජාව පාලනය කිරීමට යෙදවීමය. කෙසේ නමුත්, ජෛව රසායනික අවි නිපදවීමේ ප්‍රධාන අරමුණ නම් යහපත් අරමුණක් නොවෙයි.   
යුද ගැටුම්වලදී ජෛව රසායනික අවි යොදාගැනීමේ ඉතිහාසය අදින් වසර 700ක් පමණ ඈතකට දිව යයි. ක්‍රි.ව. 1346 වසරේදී යුරෝපය අල්ලා ගැනීමේ සටන්වල නියුතුව සිටි මොංගෝලියා හමුදාව කැටපෝල යොදා ගනිමින් මහාමාරියෙන් මියගිය අයගේ මළසිරුරු ක්‍රිමියාවේ කැෆා නගරයට විසි කළ බවත්, ජල මූලාශ්‍රවලට විෂබීජ ඇතුළුවීමෙන් නගරවැසියන් රෝගී වූ බවත් ඉතිහාස වාර්තාවල දැක්වෙයි. අවසානයේ දී මහාමාරි වසංගතය මොංගෝලියානුවන්ට ද පාලනය කරගත නොහැකි වූ අතර, ඔවුන්ට ද වසංගතයෙන් බේරී පලා යෑමට සිදුවිණි. දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය මහාමාරි වාහක මැක්කන් මිලියන 15ක් චීනයට මුදාහැරියේ යැයි පැවැසෙයි. ඊට අමතරව, ඇමෙරිකාව සහ රුසියාව ද ජෛව රසායනික අවියක් ලෙස මහාමාරිය භාවිතයට ගෙන තිබේ.   
මහාමාරියට අමතරව, වසූරිය රෝගකාරකයත් ජෛව රසායනික අවියක් ලෙස ඉතිහාසයේ බොහෝ කොටම යොදාගෙන ඇත. 18 වැනි සියවසේ මැද භාගයේ දී බ්‍රිතාන්‍ය හමුදා සහ ඇමෙරිකානු ස්වදේශික කණ්ඩායම් අතර ගැටුම් හටගත් අවස්ථාවේදී, බ්‍රිතාන්‍ය ජාතිකයන්, උපක්‍රමශීලීව වසූරිය රෝගකාරක විෂබීජ තැවැරුණු ඇඳුම්, කබා සහ ලේන්සු ආදිය ස්වදේශිකයන්ට ලැබෙන්නට සලස්වා තිබේ. වසූරිය කොරෝනාට වඩා බිහිසුණු මාරක වයිරසයකි. එය ලොවෙන් තුරන් කර වසර 40ක් පමණ ගත වී ඇති නමුත් තවමත් වසූරිය සාම්පල ඇමෙරිකානු සහ රුසියානු වයිරස රසායනාගාර කිහිපයක තැන්පත් කර තිබේ. ඒ, අධ්‍යයනය සඳහා යැයි පැවැසුණත්, ඒවා ජෛව රසායනික අවි නිපදවීමට යෙදාගන්නා බව රහසක් නොවේ. 

 

 

ලු‍සිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි