අතීතයේ මෙන්ම වර්තමාන​යේ ද දෙමව්පියන් තම පවුලට ගුණවත් නැණවත් දරුවන් ඉපදෙනු දැකීම ප්‍රිය කරති. වර්තමානයේ දී මෙන් නොව අතීතයේ දී එවැනි ගුණවත් නැණවත් දරුවන් තමන්ට ලබා ගැනීම සඳහා දෙමව්පියන් විවිධ වත් පිළිවෙත් පිළිපැදීමට මෙන්ම ඉටුකරලීමට කටයුතු කළහ. ඒ සඳහා ඉපැරැණි වෛද්‍ය ශාස්ත්‍රය විශ්වාස, ඇදහිලි, කෙම් පහන් ක්‍රම මෙන්ම ස්වභාව ධර්මයෙන් උගත් දෙය ද කාලයක් තිස්සේ උපයෝගී කරගෙන ඇති බව පෙනේ.   
 
යහපත්, ගුණවත්, නැණවත් දරුවකු ලැබීම තම පවුලටත් ගමටත්, රටටත්, ලෝකයටත්, ඉමහත් සෙතක් වන බවත් එවන් දරුවෙකු ලොවට දායාද කිරීම තම යුතුකම බවත් පැරැණි ජනතාව විශ්වාස කළහ. එම නිසාම විවිධ ක්‍රම සහ විධි ඒ සඳහා උපයෝගී කර ගත්හ. ඒ සඳහා එක්තරා ක්‍රියාවලියක් ඔවුන් අනුගමනය කළහ.  
මෙම ක්‍රියාවලියේ පළමු පියවර හඳුන්වනු ලැබුවේ ගර්භධානය ලෙසය. ගර්භධානය යනු මවු කුස තුළ පුරුෂ බීජ ස්ථාපිත කිරීමයි. ස්වාමි පුරුෂයා බිරිඳ සමීපයට යෑම ගර්භධානය සඳහා ආමන්ත්‍රණය කිරීම, ඇයගේ ගර්භයෙහි කලලය ස්ථාපනය කිරීම යන අවස්ථා ගර්භධානයට අයත් වෙති. එසේ කරන අවස්ථාවේ තමන්ට ගුණවත් නැණවත් දරුවෙකු ලබා දෙන ලෙස ඉල්ලමින් දෙවියන් යැදීමද සිදු කර ඇත.   
 
මෙම සිරිත් වෛදික යුගයේ සිට පැවැත විත් ඇති බව වෛදික කෘති වන අථාර්වවේද බෘහදාරණ්‍යක උපනිෂදයේ ද දැක්වේ. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ඇකිරියගල නන්ද හිමියෝ භාරතීය ධර්ම ශාස්ත්‍ර ඇසුරු කරගෙන ගර්භධානය එකල සිදුවී ඇති ආකාරය පිළිබඳව මෙසේ සඳහන් කරයි.   
 
“ඔසප් දින තුනෙන් පසු සිවුවන දා උදේ ජල ස්නානයෙන් පිරිසිදු වූ භාර්යාවට ස්වාමියා විසින් පැසවූ සහල් පිටි දියර දෙයි. එසේ කරන්නේ තමා බලාපොරොත්තුවන දරුවා කළු, සුදු, දුඹුරු හෝ නැණවත් දුවකු හෝ පුතෙකු විය යුතුනම් ඊට ගැළපෙන වෙනත් ආහාර සමගය. අනතුරුව ස්ටාලි පාඨයෙන් මන්ත්‍ර ආකාරයෙන් පවසා ඉතිරි බතින් ටිකක් තමා අනුභව කොට භාර්යාවටද දෙයි. අනතුරුව අත කට සෝදා ගත් ඔහු පිරුනු පැන් කෙණ්ඩියකින් තෙවිටක් පැන් ඉස ‘‘අපි එක්ව පිරිමි පුතෙකු ලබමු’’ නැතහොත් ‘‘අපි එක්ව දුවක ලබමු’’ යැයි පවසා සිතෙහි ධාරණය කරගෙන ඇය වැළඳ ගනී. මෙහිදී හිමියා සහ බිරිඳ වෙන වෙනම අනුගමනය කළ යුතු චාරිත්‍රද ඇත.”   
 
මීට අමතරව ඉපැරැණි ග්‍රන්ථයක් වන ‘‘මනුස්මෘතියේ’’ සඳහන් වන්නේ පෙර කී කරුණට වෙනස් ක්‍රමයකි. එහි ගෘහ්‍ය සූත්‍රවල සඳහන් වන්නේ පහත පරිදිය.   
 
‘‘කාන්තාව ඔසප් වීමත් සමගම එන ප්‍රථම රාත්‍රියේ සිට රාත්‍රී කාල 16 ක් තුළ ගර්භධානය සඳහා සුදුසු බවද එහෙත් කාන්තාව ස්නානය කිරීමෙන් පිරිසිදුවන පස්වැනි රාත්‍රියේ සිට සම්භෝගයේ යෙදීම සුදුසුය’’ යනුවෙනි.   
දරුවෙකු කාන්තාවකගේ කුස තුළ පිළිසිඳ ගැනීම සඳහා කරනු ලබන ගර්භධානය ඉතා වැදගත් වන්නේ එය උපදින දරුවාගේ භාග්‍ය සම්පන්න භාවයද ගුණවත් භාවයද බොහෝ දුරට තීරණය කරන හෙයිනි.   
උපදින දරුවා ගැහැනුද පිරිමිද යන්න තීරණය කිරීමද මෙම ගර්භධානය සැලසුම් සහගතව සිදු කිරීමෙන් එනම් ගර්භධානය සිදුකරන දින හා කාල වේලාව අනුව තීරණය කළ හැකි බවද පැරැන්නන් විශ්වාස කළහ.   
ඒ අනුව ගර්භධානය සිදුකරන කාන්තාවගේ නාසයෙහි දකුණු සිදුරෙහි නුග රසය හෙළීමෙන් පුරුෂ උපතක් සිදුවෙතැයි විශ්වාසයක් ඔවුන් අතර විය. වම්පස සිදුරෙහි යෙදීමෙන් ස්ත්‍රී උපතක් බලාපොරොත්තු විය.  
පැරණි කෙම් ක්‍රමවලින්ද මෙවැනි දෑ සිදුකර ගැනීමට පැරැන්නන් සමත් වී ඇත. කෙම් යනුවෙන් හැඳින්වෙන්නේ පූජා ක්‍රමයකටද සමාන යම්කිසි ගුප්ත බලයක් ඇති ක්‍රියාවකි. සිතේ ඒකාග්‍රතාව මත බොහෝ විට කථා නොකරමින් ඉටුකරන ක්‍රමවල බලය වැඩි බව ඔවුන් දැන සිටි අතර එම ක්‍රම කෙම් ක්‍රම නමින් අතීතයේ පටන් හැඳින්වූහ. ඒ අනුව පිරිමි දරුවෙකු පිළිසිඳවා ගැනීම සඳහා කළ යුතු කෙම් ක්‍රමයක් ලෙස ඔවුන් භාවිත කරනු ලැබුවේ නුග දල්ලක් පිටි අතින් කඩා, පොඩිකර, මිරිකා ඉස්ම ගෙන, බිරිඳගේ දකුණු නාස්පුඬුවට දැමීමෙන් පසුව එක්වීමයි. ගැහැනු දරුවෙකු බලාපොරොත්තු වන්නේ නම් පෙර ලෙසම සිදුකර එම යුෂ වම් නාස් පුඬුවට දැමිය යුතුයයි විශ්වාස කර එසේ කටයුතු කර ඇත.   
 
එය කෙසේ වුවද දරුවෙකු කුස තුළ පිළිසිඳ මාස කිහිපයකින් පසුව ඒ කලල රූපය ස්ත්‍රී ලිංගිකද පුරුෂ ලිංගිකද යන්න පිළිබඳව තෝරා ගැනීමේ හැකියාවක් පැරැණි ලක්දිව සමාජයේ ඇතැම් වැඩිහිටියන් තුළ පැවැතුණි. කලල රූපය කුසෙහි දකුණු පසට බරව පිහිටියේ නම් එහි පුරුෂ ලක්ෂණ ඇති බවටද වම්පසට බරවී නම් ස්ත්‍රී ලක්ෂණ ඇති බවටද ගැමියෝ විශ්වාස කළහ. එසේම ‘‘ඔරුව සේ බඩ උස්ව තිබේනම් නපුංසක ලක්ෂණ’’ ඇති බවටද මතයක් පැවැතිණ.   
 
කුස තුළ පිළිසිඳ ගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කෙරෙන්නේ ජීව විද්‍යාත්මකවය. එහෙත් ඉහත සඳහන් ක්‍රමවලින් එයට රුකුලක් ලැබෙතැයි ඔවුහු විශ්වාස කළහ.   
දරුවන් ලබා ගැනීම සඳහා ලංකාවේ පැවැති තවත් චාරිත්‍රයක් වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාරහාර වීමයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්‍ෂා කරන කළු දේවතා බංඩාර දෙවියන් පිළිබඳව ජනතාව තුළ පැවැතියේ දැඩි විශ්වාසයකි. පහත සඳහන් ජන කවියෙන්ද ගම්‍ය වන්නේ පිරිමි දරුවන් ලැබීම සඳහා ලක් ජනතාව බෝ සමිඳුන්ගේ පිහිට අපේක්‍ෂා කළ ආකාරයයි.   
 
ගමේ සිටන් පේවි පේවි තිසා වැවට යන්ඩ යි   
තිසා වැවේ රන් නෙළුමේ බත් දාගෙන කන්ඩ යි   
එතැන සිටන් පේවි පේවි උඩ මළුවට යන්ඩ යි   
ජයසිරි මා බෝ සමිඳුනි පිරිමි පුතෙක් දෙන්ඩ යි   
 
මෙහි ඉහත සඳහන් කළ ආකාරයට ඇතැම් කාන්තාවෝ දරුඵල ලැබීම සඳහා දෙවියන් ද පිදූහ. මහා සමය සූත්‍රය අනුව සතරවරම් දෙවිවරු ලෙස සැලකුණේ ධ්‍රැතරාෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ සහ වෛශ්‍රවන දෙවිවරුන් වුවද ලක්දිව වඩාත්ම සතර දිශාවන්ට අධිපති දෙවියන් ලෙස වැඳුම් පිදුම් ලබනුයේ විෂ්ණු, කතරගම, ස්කන්ධ කුමාර, කැලණියේ විභීෂණ සහ සබරගමුවේ සමන් යන දෙවිවරුන්ය. තම තමන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව මෙම දෙවිවරුන්ට පුද පූජා ආදිය පැවැත්වූහ. දරුවන් නොලද කාන්තාවෝ දරු උපතක් සඳහාද මේ දෙවිවරුන් පිදූහ. පහත සඳහන් කවියෙන් කියනු ලබන්නේ සබරගමු පළාතේ දරුවන් නොලද කාන්තාවක් සමන් දෙවියන්ගෙන් දරුඵල පැතූ ආකාරයයි.   
 
වැසි නැති බොරදිය ගඟට කොයින් දෑ   
කොළ නැති ගස් යට සෙවණ කොයින් දෑ   
පුතෙකු නැතුව මට අඩිය කොයින් දෑ   
පුතෙකු දෙවන් මට සමන් සුරින් දෑ   
 
පැරැණි ලක්දිව ගැබිනි කාන්තාව සම්බන්ධයෙන් පැවැති වැදගත් චාරිත්‍ර විධියක් වූයේ ගබ්බපටීහාර හෙවත් ගැබ්පෙරහැර දීමයි. බුදු දහමෙහිද මෙම ගැබ්පෙරහැර ගැන සඳහන් වෙයි. එය ස්වාමි පුරුෂයාගේ යුතුකමක් ලෙස බුදු දහමෙහි සඳහන් වේ. නිරෝගී දරු උපතක් සඳහා අවශ්‍ය පෝෂණය, චිත්ත සහනය, ධෛර්යය, ආදරය සහ කරුණාව තම බිරිඳට ඉතා ඉහළින් ලබා දීම ස්වාමිපුරුෂයකුගේ යුතුකම වේ.   
පැරැණි සමාජයේ ගැබ්පෙරහැර සිදු කළ ආකාරය පිළිබඳව තොරතුරු පූජාවලිය ග්‍රන්ථය මැනවින් පැහැදිලි කර දෙයි. සිදුහත් කුමරු මව්කුස පිළිසිඳගත් අවස්ථාවේ මහාමායා දේවිය එම දරුගැබ රැකගත් ආකාරය මෙහි මැනවින් විස්තර කරනු ලබයි.   
 
“ඒ මැණියෝ පිරුණු තෙල් පාත්‍රයක් දරන්නා සේ ගැබට කිසි පීඩාවක් නොකොට ඉතා උෂ්ණ භෝජනය, ඉතා ශීත භෝජනය, තිත්ත භෝජනය, කටුක භෝජනය, යනාදියෙහි රස නොදැන දස මස මුළුල්ලෙහිම පුතණුවන්ට ගැහැටුම් වෙතැයි කුසපුරා බත් නොකා, මුහුණින් වැද නොහෙව වම් ඇලයෙන් නොසැතපී දක්‍ෂිණ භාගයෙන්ම සැතපී, දරුගැබ සැලී නැගෙතැයි සක්මන් මාත්‍රාවකුද නොකොට දස මස මුළුල්ලෙහි ඉතා අප්‍රමාදව ගබ පිරිමැසූහ.”   
 
පැරැණි භාරතීය මෙන්ම පැරැණි ලක්දිව සමාජයේද කාන්තාවකගේ කුස තුළ දරුවෙකු පිළිසිඳගත් විට ගැබ ගැස්සෙන සේ ක්‍රියා නොකීරීම මවගේ ප්‍රධාන වගකීම විය. ඇයට හදකම්පා වන ආරංචි දැනුම් නොදීම, අධිකව වෙහෙස නොකිරීම, ආදිය පිළිබඳව ස්වාමි පුරුෂයා මෙන්ම මව්පිය වැඩිහිටියෝද වග බලා ගත්හ. ගැබිනියකගේ කුස තුළ සිටින දරුවාගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වන්නේ ඒ ගැබිනියගේ සතුට ප්‍රීතිය අනුව නිසා නිතරම ඇය සතුටින් තබා ගැනීමට, ඇයගේ සිතුම් පැතුම් සරල කරවීමට මව්පියෝ උනන්දු වූහ.   
දරු ගැබ ආරක්‍ෂා කිරීම පවුලේ මෙන්ම සමාජයේද සැලකිල්ලට භාජනය වූ වැදගත් කරුණක් විය. ගැබ ආරක්‍ෂා කිරීම සඳහා පිළිපැදිය යුතු කරුණු රාශියක් වෛද්‍යක සාරාර්ථ සංග්‍රහයේ ගර්භණී චිකිත්සාවේ සඳහන් වේ.   
ගැබිණි කාන්තාවකට පහර වැදීම, නරක් වූ අපථ්‍ය වු ආහාර පාන ගැනීම, බියවීම, හැසිරීම් ආදී හේතුන් නිසා ගැබේ සැලීමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂාකාරී වීම වැදගත් කොට සැලකිණ. එවැනි අවස්ථාවකදී පසතුරු දළු කොටා මිරිකා ඉස්ම ගෙන ගිතෙල් සමග පානය කිරීමෙන් ගැබ නැවතත් ස්ථිර බවට පත්වෙන බවත් එහි සඳහන් වේ. ගර්භණී අවස්ථාවේදී උණ රෝගය වළක්වා ගැනීම සඳහා පරීක්‍ෂාකාරීව සිටිය යුතු විය. එවැනි අවස්ථාවකදී කිරිගඟුලු ඉරමුසු, දියමිති, ඉරිවේරිය, වම්මුතු සහ ඉඟුරු යොදා උණු කරන ලද කෂාය පානය කිරීමෙන් ගැබිනි කාන්තාවගේ උණ නසාලන බවද බුද්ධධාස රජතුමා ඉහත සඳහන් ග්‍රන්ථයේ සඳහන් කර ඇත. මේ ආකාරයට ගැබ්ගෙන ප්‍රථම මාසයේ සිට දසවන මාසය දක්වා පිළිපැදිය යුතු කරුණු කෑමට බීමට සුදුසු ආහාර වර්ග, හැසිරිය යුතු ආකාරය ආදිය පිළිබඳව පැරැණි ලක්දිව සමාජයද රජයද සැලකිලිමත් වූ බව පෙනේ. ගර්භය පුෂ්ටිමත් කරවීම කෙරෙහිද ගැබිනි කතගේ මව්පියෝ විශේෂයෙන් උනන්දුවක් දැක්වූහ. වම්මුතු සුවඳ හොට, රසකිඳ, තොටිල, කොතඹුරු, වැල් කහඹිලියා පැපිලිය, සඳුන් කුඩු සහ බැවිල යන බෙහෙත් වර්ගවලින් කකාරන ලද කෂාය බීමට දීමෙන් ගැබ පුෂ්ටිමත් වී ඇත. එසේම ගැබිනියන්ගේ ජවර, කාස, ආම, අතීසාර, ශෝථ ප්‍රහණී යන රෝගවලටද ඉහත සඳහන් කරන ලද ඖෂධ භාවිත කර ඇත.   
ගර්භණී කාන්තාවක් නිවසේ සිටින විට පිළිපැදිය යුතු සිරිත් විරිත් කිහිපයක්ද පැරැණි ලක්දිව සමාජයේ පැවැතිණ. ඇයට දරුවා ලැබෙන තුරු අලුතින් ගෙයක් ඉදි කිරීමෙන් වැළකී සිටියේය. තමා වාසය කරන නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු නොකළේ ඒ මගින් කුඩා ප්‍රාණීන්ට හිරිහැරයක් විය හැකි නිසා ඉන් දරු ගැබට අයහපතක් වේයැයි සලකමිනි. දරු ප්‍රසූතියක් බලාපොරොත්තු වන කාන්තාවක් කිසිවිටක තම නිවසෙහි මැටි ගෑම, ගොම ගෑම, ආදිය ද නොකළ අතර එසේ කළේ කුහුඹුවන් වැනි කුඩා සතුන්ගේ වාසස්ථාන ඇය අතින් ආවරණය වීමට ඉඩ ඇති බැවිණි.   
 
එසේම දරු ගැබක් ඇතිවූ විට ගැබිනියට විවිධ ආශා ඇති වේ. එය හඳුන්වන ලද්දේ දොළ දුක වශයෙනි. දොළ දුකක් ඉපදී දරුවා කෙරෙහි සෙනෙහසක් ඇතිවූ මාතාව ‘‘සුභද්‍රා’’ නමින් හඳුන්වන ලදී. ගර්භණී කාන්තාවකගේ දොළ දුක කෙසේ හෝ සංසිඳුවීමට කටයුතු කිරීම පැරැණි ලක් සමාජයේ අනිවාර්ය කාර්යයක් ලෙස පිළිගැණින.   
 
දොළ දුකින් පෙළුණු ගැබිනියට රස මියුරු ආහාර ගෙන දෙමින් දොළ සංසිඳුවීම නිසා ඇගේ ශරීරය මසින් පිරී පියයුරු කිරි බරින් පිරුණු ආකාරය ‘‘ගණදෙවි හෑල්ල’’ කතුවරයා දුටුවේ පහත සඳහන් ලෙසිනි. 
 
ගැබ කුමරු හට ග තා   
දිනෙන් දින මෝර තා   
දොළ උපත හටග තා   
රස මියුරු ගෙන දෙ තා   
එදොළ සන්සිඳුව තා
එසත් මස පිරිග තා
දෙතන පුඬු කළුවෙ තා   
කිරි බරින් සිට ග තා   
 
ගර්භණී කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඥාතීන් පමණක් නොව අසල්වැසි හිතවත් සියලු දෙනාම ඇයගේ අවශ්‍යතාවයන් සපුරා ලූහ. මහා සංඝයාට දන්දීම පිළිබඳව දොළ දුකක් ගැබිනියට ඇති වුවහොත් ඇයට උපදින දරුවා යහපත් ආගමික දිවියකට නැඹුරුවන කෙනෙකු විය හැකි බවට ආකල්පයක් සමාජයේ පැවතිණි. දොළදුක සංසිඳවීම ඉතා වැදගත් කාර්යයක් ලෙස පැරැන්නන් සැලකුවේ එසේ නොකළහොත් එම ශෝකයෙන් ඇය මියයාමට පවා ඉඩ ඇති බවට සැලකූ හෙයිනි. එසේම එසේ කැමැති ආහාර නොලදහොත් දරු ගැබට හානියක් වේ යැයිද ඔවුන් විශ්වාස කළහ. 
 
දරුවා මවු කුසයෙහි පිළිසිඳගත් දිනයේ සිටම සිය පවුලේ සහ සමාජයේ විශේෂ සැලකිල්ලට භාජනය වූ ගැබිනි කාන්තාව දරුවා බිහිකිරීම සඳහා ඇයගේ මවුපියන්ගේ නිවසට ඉතා පරෙස්සමෙන් රැගෙන යාම ස්වාමි පුරුෂයාගේ සහ එම ඥාති පිරිසගේ වගකීම ලෙස පැරැන්නෝ සැලකුහ.   
 
වින්නඹු මාතාවන්ගේද සහය ඇතිව දරුවන් බිහිකිරීම වැඩි වශයෙන්ම සිදුවූයේ නිවෙස්වලදීය. දරු ප්‍රසූතියේදී වින්නඹු මාතාවන්ගේ සහය, සේවය අත්‍යවශ්‍යවීම නිසා ඇතැම් වකවානුවල දී වින්නඹු මවුවරුන්ට රාජ ප්‍රසාද පවා ලැබී ඇත. දරු ප්‍රසූතිය කරවූ  වින්නඹු මාතාවනට දුටුගැමුණු රජු එලෙස රාජ ප්‍රසාද පිරි නැමූ බව ථූපවංශයේ සඳහන් වේ.   
 
අතීත සමාජයේ සැම දෙනාගේම අදහස වූයේ තම පවුලට ගුණවත් නැණවත් වැඩදායී දරුවෙකු ලබා ගැනීමය. ඒ සඳහා ඔවුහු බොහෝ කැපකිරීම් සිදු කළහ.   

 

 

 

කොත්මලේ  
රංජිත් සිසිර කුමාර සූරිය ආරච්චි