IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මේ ලෝකයේ මට ලැබුණු වටිනාම සම්පත මේ දෙන්නා - බුවිනි චාපා


‘දැන් මට පොඩ්ඩෝ දෙන්නයි. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම ජීවිතය වෙනස් වෙලා. මට ඉන්නෙ නිවුන් දරුවො දෙන්නෙක්. දුවයි - පුතයි. ඒක හරිම සුන්දර අත්දැකීමක්. දැන් ඒ දෙන්නගෙ වයස අවුරුදු එකහමාරක් වෙනවා’.

බුවිනි චාපා රංගන ශිල්පිනිය ඇයගෙ ජීවිතයේ අද දවස ගැන කියන්නෙ ඒ විදිහටයි. තරුණ මවක විදිහට ඇය සිතන පතන හැටි සහ කටයුතු කරන විදිහ ගැන ‘‘අම්මයි - දුවයි’’ විශේෂාංගයට පවසාවි.

  •  බුවිනි කොහොමද දැන් ජීවිතය ?

සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් පොඩ්ඩෝ දෙන්නයි, ඒ පොඩ්ඩෝ දෙන්නා එක්ක දවසම වගේ සම්පූර්ණයෙන්ම කාර්යබහුලයි. ඒත් එක්කම මම ආයෙත් මගේ වැඩ පටන් ගත්තා. ඉතින් රූගත කිරීම් එක්ක සහ ගෙදර වැඩ කටයුතුත් කරගෙන සතුටින් ඉන්නවා.

  • බුවි අන්තිමට රඟපෑවෙ?

විවාහයට පෙර විකාශය වූ ශාන්ත සොයිසාගෙ ‘පිනි’ නාට්‍යය. 2019දී කලාවෙන් විවේකයක් ගත්තා. දැන් ආයෙත් ටික ටික රංගන කටයුතු කරගෙන යනවා.

  • අද වන විට පදිංචිය?

මාලබේ.

  • කොහොමද විවාහ ජීවිතය?

විවාහවෙලා අවුරුදු 5ක් විතර වෙනවා. මම විවාහයට පෙර ගත කළ විදිය ගත්තොත්, ඒ ගතකළ විදිය වගේ නෙවෙයි, විවාහ ජීවිතය. ඒ නිසා ඒ ජීවිතයට හුරුවෙන්න මට ටිකක් කල් ගියා. සැමියා සහ පවුලේ හැමෝගෙම සහයෝගය සහ උදවු එක්ක දැන් මම ඒ විවාහ ජීවිතයට හුරුවෙලා ඉන්නෙ. ඒ ගැන මට හරි සතුටුයි.

  • ආයෙත් කලාවට එන්න හිතුවෙ?

වසර පහකට පස්සෙනෙ එන්නෙ. ඉතින් දැන් මම විවේක ගෙන හිටියා ඇති කියලා හිතුවා. කලාවෙ නියැලී සිටි අය විදියට එයින් අයින් වෙලා ඉන්න අමාරුයි. මොකද කලාව කියන්නෙ ජොබ් එකක් විතරක්ම නෙවෙයි. ඒක අපේ ජීවිතය වගේ. අපි එය කරන්නෙ ආදරයෙන්. ගෞරවයෙන්. කලාවෙන් ඈත්ව සිටිනකොට දැනෙන්නෙ ජීවිතය හිස් වගේ හැඟීමක්.

  • ආයෙත් කොතැනින්ද රඟපෑම් පටන් ගන්නෙ? මේ දිනවල රඟපාන්නෙ?

‘‘කවිතා’’ ටෙලිනාටයයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. මම එහි චරිතයක් රඟපානවා.

  • බුවිනි සැබෑ ජීවිතයේ ඔබගෙ චරිතය ගැන කතා කරමු. ‘බුවිනි’ අම්මා මොන වගේ අම්මා කෙනෙක්ද?

බුවිනි අම්මා කියන්නෙ දරුවො ගැන වැඩිපුර හිතන, අම්මා කෙනෙක්. මා දිහා බලන කෙනෙක් හිතන්න පුළුවන් අම්මෝ ඕක පිස්සුවක් කියලා. කොහොම වුණත් ඇත්තටම මම එහෙම අම්මා කෙනෙක්. බබාලා ගැන ඕනෑවට වඩා හිතන අම්මා කෙනෙක්. ඒ විදියට හිතන්න ගිහින් ප්‍රශ්න ඇති වූ අවස්ථා නැතිවම නෙවෙයි. ඒත් මම ඉතිං සෑම දෙයක් ගැනම ඕනෑවට වඩා හිතන අම්මා කෙනෙක්.

  • ‘‘බුවි’’ අම්මට ඉන්නෙ ‘‘දූලාම’’ දෙන්නෙක්ද?

දුවයි - පුතයි.

  • නිවුන් දරු දෙදෙනෙකුගේ මවක් වීම ගැන හැඟෙන්නෙ කොහොමද?

ඒක මට විශ්වයෙන් ලැබුණු තෑග්ගක්. හිතේ කොණකවත් එ් වගේ අදහසක් තිබුණෙ නැහැ. අනෙක මගේ සහ සැමියාගේ පවුලෙ කාටවත් නිවුන් දරුවො ලැබුණු ඉතිහාසයක් තිබුණෙ නැහැ. කාලයක් බබාලා ලැබෙනකල් මම බලාගෙන හිටියෙ. ඉතින් කාලයක් ගිහින් ලැබුණු තෑග්ග තමයි මේ නිවුන් දරු සම්පත. දුවයි - පුතයි වීම තවත් වාසනාවක්. මෙතෙක් මගේ ජීවිතයට ලැබුණු වටිනාම වස්තුව මේ දෙන්නා.

  • කොහොමද මේ නිවුන් පැටව් දෙන්නා බලා කියා ගැනීම?

ඒක වෙනමම පාඨමාලාවක් වගේ දෙයක්. එක බබෙකු සිටින ගෙදරක වැඩ වැඩියිනෙ. එතකොට බබාලා දෙන්නෙක් බලාගැනීම කියන්නෙ වෙනමම මෙහෙයුමක්. හැබැයි ඒක තනියම කරන්න බැහැ. තනියම කරනවාය කිව්වොත් ඒක ලොකු බොරුවක්. අනිවාර්යයෙන්ම ලොකු සපෝට් එකක් අවශ්‍යයි. මට ඒ සපෝට් එක සැමියාගෙන් සහ පවුලෙන් ලැබුණු නිසා සෑම දෙයක්ම හොඳින් සිදුවෙනවා.

 

  • දුවගෙ නම?

ශ්වේනා ෆෙයාර්ලි.

  • පුතා?

ශ්වෝන් අග්‍රත්.

  • දෙන්නගෙන් වැඩිමල්?

අක්කා විනාඩියකින් වැඩිමල්.

  • ‘‘අම්මා’’ කියන කෙනා මොන වගේ විය යුතුය කියලද ‘බුවිනි’’ හිතන්නෙ?

ඒක එකිනෙකාට අනුව වෙනස්. එකිනෙකා හිතන විදිය සහ කටයුතු කරන විදිය එක්ක වෙනස්. මවක් වුණාය කියල මගේ ජීවිතයට තහංචි දාගෙන නැහැ. හැබැයි මගේ අවධානය නිතරම තියෙන්නෙ ඒ දෙන්නාගෙ ආරක්ෂාව ගැන. හැබැයි නීති - රීති දාලා එයාලව හදන්නෙ නැහැ. අපි හැදුනෙ නිදහසේ. ඒ විදියට අපේ දරුවන්ටත් නිදහසේ හැදෙන්න ඉඩදීලා තියෙන්නෙ. එයාලා අනාගතයේදී එයාලා කැමති අංශයක් තෝරා ගනීවි. ඒ තෝරාගන්නා දේට උදව් කිරීම අපේ වගකීමක්. කිසිමදාක එයාලට බලපෑම් නම් කරන්නෙ නැහැ.
දරුවො ගැන හිතද්දි සමහර අය එක් දරුවකුට හෝ දෙන්නෙකුගෙන් සෑහීමකට පත් වෙනවා.

  • බුවිනිට ඒ වගේ සීමා තියෙනවද?

මට දුවක සහ පුතෙකු ඉන්නවනෙ. ඒ නිසා දැනට හිතාගෙන ඉන්නෙ මේ ඇති කියලයි. අනාගතේ ඒ ගැන කියන්න බැහැ.

  • අද කාලයේ ඔබගෙ වයසේ පසුවන අම්මලා ගැන හිතන්නෙ කොහොමද?

මොන ස්වරූපයේ මොන ස්වභාවයේ වුණත් ‘‘අම්මා’’ කියන්නෙ ඉතින් ‘‘අම්මාට’’ තමයි. සෑම ගැහැණු ළමයෙකුටම මම කියන්නෙ නිසි කළ ආවාම, විවාහ වෙලා ‘‘අම්මා’’ කෙනෙක් වෙන්න කියලයි. මේ ලෝකයේ තියෙන ලොකුම ආශ්චර්යය තමයි කාන්තාවක මවක වීම. අම්මලා නොවී ඉන්න නම් එපා. මවක වීම කියන්නෙ ලස්සනම හැඟීමක්. ආර්ථිකය, ජොබ් එක, ෆිගර් එක ගැන හිතන්න එපා. ජීවිතයට මව් පදවිය කියන දේ නැතිකර ගන්න එපා. ජීවිතයේ කිසිම දෙයකට ‘‘බබාලා’’ කියන්නෙ බාධාවක් නෙවෙයි.

  • බුවිනි දරුවො නළවන්නෙ කොහොමද?

කවි, ගීත, කතා කියලා දෙනවා. එයාලා කුසට ආ දවසේ ඉඳලම මම සිංදු කිව්වා. ආදරේ දෝරේ ගලා දෝතට දූ ආවා. ඒ ගීතය නිතර මිමිනු ගීතයක්. අදටත් මම ගීතයක් ගයද්දි මොන වැඩේ තිබුණත් ඒ දෙන්නා ඇවිත් ඒ හුරුවට ගීතය අහනවා. එයාලා හරි ආසයි ඒකට.

  • මල්ලි කැමතිද අක්කාව වඩා ගන්නවට?අක්කා කැමතිද මල්ලිව වඩා ගන්නවට? කොහොමද දෙන්නා නළවා ගන්නෙ.

චූටිම කාලයේදී එයාලට ඒ ගැන තේරුණේ නැහැ. ඒත් දැන් තේරෙනවා. එක්කෙනෙක් වඩා ගත්තොත් අනෙක් කෙනා ඇඟේ එල්ලෙනවා. නිදා ගන්නකොට කෑම කනකොට අදටත් මම සිංදු කියලා දෙනවා.

  • දරු සෙනෙහස විස්තර කරන්නෙ කොහොම ද?

ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ තරමටම ඒ සෙනෙහස වෙනස්. ඒක හරි පුදුමයක්. අද මට මගේ අම්මා ගැන ඇති වන හැඟීම ගැන මට වචන ගළපන්න බැරි තරම්. මගේ බබාලා ලැබුණාම මාස තුනක් ගත වන තෙක් මගේ අම්මා ළඟින්ම හිටියෙ. බබාලා නෑව්වෙ, බලා ගත්තෙ, කිරි පොවන්න පවා උදවු කළේ අම්මා. මවක් වූ පසු සැමියා සහ අම්මාගෙන් ලැබුණු සහයෝගය ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරමට ඉහළයි. මගේ අම්මා ඒ වෙලාවෙ හිටපු එක තමයි මට ලොකුම ශක්තිය වුණේ.

  • අද බුවිනිට ජීවිතය දැනෙන විදිය?

මගේ ජීවිතයේ ඇත්තටම මට පසුතැවීමක් නැහැ. ජීවිතයෙ මම සතුටින්. මගේ ජීවිතය ගැන තෘප්තිමත්. මම හිතන විදියට මම හොඳ දුවක්. හොඳ බිරිඳක්, හොඳ සහකාරියක්, හොඳ ලේළියක්. ඒ නිසා හදවතින්ම සතුටින් සිටින කෙනෙක්. ජීවිතයේ සෑම දෙයක්ම මට තියෙනවා. ඒ තියෙන දේවල්වලට මම ගරු කරනවා. ලැබුණු දේට ගරු කරන කෙනෙක් මම.

  • එදා ඔබට ලැබුණු ආදරේ අද පවතින්නෙ කොහොම ද?

අද වෙනකොට තියෙන්නෙ ආදරය එක්ක ගොඩනැඟුණු මහා විශ්වාසයක්. ඒ විශ්වාසය එක්ක මට සහ මගේ වැඩ වගේම බබාලගෙ වැඩ කරගෙන යන්න ලොකු ශක්තියක් වෙලා. එදාට වඩා අපේ ආදරය අද වඩා ශක්තිමත් කියලා මට හැඟෙන්නෙ.

  • දරුවො දෙන්නා එක්ක බුවි නිතර සමාජ මාධ්‍යයේ ඉන්න හැටි පෙනෙනවා?

මට වැඩිය ඒ දෙන්නගෙ දඟකාරකම් තමයි මිනිස්සු දකින්නෙ. මගේ යූටියුබ් චැනල් එකට ඒවා දාන්නෙ. කවදාහරි ලොකු වුණාම එයාලට ඒවා සොඳුරු සිහිවටන වෙන නිසයි. එයාලා ලොකු වුණාම එයාලා හැදුණු විදිය ගැන හිතලා සතුටු වේවි.


සඳුන් ගමගේ


 



අදහස් (0)

මේ ලෝකයේ මට ලැබුණු වටිනාම සම්පත මේ දෙන්නා - බුවිනි චාපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site