මුල, මැද, අග අපූරුවට ගළපා, සාටෝපකරණය කොට කතාන්දර විලසින් ඉදිරිපත් කළ ටෙලි නාට්‍යවලට හුරු වී සිටි ප්‍රේක්ෂකයන් අන්දමන්ද කරනු ලැබුවේ දුන්හිඳ අද්දර ටෙලි නාට්‍යය විසිනි. දුන්හිඳ දිය ඇල්ල අවට පරිසරය අපූරුවට පිළිබිඹු වුවත් නාට්‍යයේ සිටියේ නිතර දෙවේලේ දැක පුරුදු සුන්දර නිළියන් හෝ කඩවසම් නළුවන් නොවේ. දරිද්‍රතාව නිසා පීඩාවට පත් වී සිටින ජනතාවගේ හරස්කඩක් පිළිබිඹු කරන ආකාරයේ නළුනිළි කැලක් දුන්හිඳ අද්දර තුළින් රූපවාහිනී තිරයට ආවේය.
එහි මුල්ම කථාංගය ආරම්භ වූයේ දුර බලන කණ්ණාඩියකින් අවට පරිසරය නිරීක්ෂණය කරන සංචාරකයෙකුගේ දර්ශනයකිනි. අවසාන වූයේත් එම දර්ශනයෙන්මය. ඉනික්බිතිව හැම කථාංගයකම ඒ ආකාරයෙන්ම ඔහු දකින්නට ලැබිණි. එම සංචාරකයාගේත්, කතාවේත් සම්බන්ධය පිළිබඳව ප්‍රේක්ෂකයෝ බොහෝ අනාවැකි කීහ. නාට්‍යය ඉදිරියට යද්දී බුලත් විට වෙළෙන්දෙක්, දර කපන්නෙක්, මදුරු තෙල් ඉසින මිනිසෙක්, කසිප්පු මිල දී ගන්නට යන මිනිසෙක් ආදී වශයෙන් චරිත දහයකින් පමණ ඔහු දකින්නට ලැබිණි. එහෙත් ප්‍රේක්ෂකයන්ට සිය අනාවැකි හා අද්භූත සංචාරකයා සමපාත කර ගන්නට නොහැකි වූයේය.
“ඇත්තටම දුන්හිඳ අද්දර කියන්නෙ ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යය කියලා කිව්වොත් ඉතාම නිවැරදියි.. ආරම්භයේ ඉඳලම අපේ ටෙලි නාට්‍යවලින් කළේ කතාන්දරයක් ඉදිරිපත් කිරීම.. දුන්හිඳ අද්දර තුළ ප්‍රේක්ෂකයන් අතරමං වුණා.. බැලූ බැල්මට සරලයි වගේ පෙනුණත් ඔවුන්ට ගමනාන්තයක් ගැන අනුමාන කරන්නවත් බැරි තරම් සංකීර්ණත්වයක් මේ තුළ තිබුණා.. ඒත් ඔවුන් පුදුමාකාර විදියට ටෙලි නාට්‍යයත් එක්ක බැඳුණා.. ඇත්තටම මම රඟ පෑව චරිත තුළින් නිරූපණය වුණේ අනෙක් චරිතවල යටි හිතේ උපදින සිතුවිලි ධාරාව.. ටෙලි නාට්‍යයකින් එහෙම දෙයක් පිළිබිඹු කළේ පළවෙනි වතාවට.. කොටින්ම කියනවා නම් ඒක පර් යේෂණාත්මක වෑයමක්.. ඒත් හිතුවෙ නැති විදියට ඒ වෑයම සාර්ථක වුණා..”
එසේ පැවසුවේ ඒ චරිතවලට පණ පෙවූ සේන නානායක්කාරය.
1992 දී රූපවාහිනියෙන් විකාශය වූ දුන්හිඳ අද්දර අශෝක හඳගමගේ නිර්මාණයකි. නිෂ්පාදනය කරන ලද්දේ බන්දුල වීරක්කොඩි විසිනි. ජයශ්‍රී චන්ද්‍රජිත්, අනෝමා ජනාදරී, මැල්කම් මචාඩෝ, කෞශල්‍යා ප්‍රනාන්දු, එච්. ඒ පෙරේරා, රුක්මල් නිරෝෂ් මෙහි නළුනිළියන් අතර සිටියහ. මෙහි දර්ශන තල වැඩි ප්‍රමාණයක් තිබුණේ බදුල්ලේ දුන්හිඳ ඇල්ල අවටය.
“කැලණිය විශ්ව විද්‍යාලෙදි තමයි හඳයයි මමයි හමු වුණේ.. ජයන්ත චන්ද්‍රසිරි, සුදත් මහදිවුල්වැව වගේ දක්ෂ අධ්‍යක්ෂවරු මට කැලණියේදී හමු වුණා.. ඒත් වැඩිපුරම ළං වුණේ හඳයට.. මැල්කම් මචාඩෝ, අනෝමා ජනාදරී, මම ඇතුළු පිරිසක් කණ්ඩායමක් විදියට හිටියෙ.. ඒ කාලෙත් හඳයා තරුණ නිර්මාණකරුවෙක්.. ඔහුගේ වේදිකා නාට්‍ය කීපෙකම මම රඟ පාලා තියෙනවා..”
සේන නානායක්කාර ඔහු දුන්හිඳ අද්දර ටෙලි නාට්‍යයට එකතු වූ ආකාරයේ පසුබිම් කතාව එසේ විස්තර කළේය.
උපාධි ලබා ගත්තාට පසුව සේන නානායක්කාර එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය. හඳගමට මහ බැංකුවේ රැකියාවක් ලැබිණි. බැංකුව විසින් බදුල්ල පළාතේ කරන ලද සමීක්ෂණයක් සඳහා හඳගමටත් යන්නට සිදු වූයේය. ඒ වෙනුවෙන් ගම්වල ඇවිදින විටදී මිනිසුන් දරිද්‍රතාව නිසා පීඩා විඳින ආකාරය, ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ බොහෝ අත්දැකීම් ඔහුට ලැබිණි. ඔහුගේ සිතේ දුන්හිඳ අද්දර කතා තේමාව පිළිසිඳුණේ ඒ අත්දැකීම් ජාතක කරගෙනය.
“හඳයා බොහොම පිළිවෙළට වැඩ කරන කෙනෙක්.. ඔහු මුළු කතා පිටපතම ලියලා අවසානයේදී තමයි නළුනිළියෝ එක්ක ඒ ගැන සාකච්ඡා කරන්නෙ.. මගේ චරිතය පිටපතෙන් කියවනකොට මට පොඩි විචිකිච්ඡාවක් ඇති වුණා මේ වගේ චරිතයකට මොන විදියෙ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි ද කියලා.. මේක මාව අල්ලලා පොෙළාවේ ගැහුවා වගේ චරිතයක්.. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නත් වෙයි ද දන්නෙ නෑ කියලා මම හඳයටත් කිව්වා.. ඒත් අන්තිමේ වැඩිම ජනතාකර්ෂණයක් ඇති වුණේ ඒ චරිතයට..”
සේන නානායක්කාර පැවසුවේය.
ඇතැම් දර්ශන රූගත කිරීම සඳහා කැලෑව තුළ බොහෝ දුර ගමන් කරන්නට දුන්හිඳ අද්දර නාට්‍ය කණ්ඩායමට සිදු විය. කැමරා ආම්පන්න ආදිය ඔසවාගෙන යාම ඉතා දුෂ්කර වුවත් ඔවුන් කිසිවෙකු මැසිවිලි නැඟුවේ නැත.
“කැලැව මැද්දෙ තිබුණ ගම්වල හිටියෙ අපි කවදාවත් අනුමාන කරන්නෙවත් නැති තරමට දරිද්‍රතාවෙන් පෙළුණ මිනිස්සු.. ඇත්තටම ඔවුන්ගෙ සැබෑ ජීවිත අන්දරයම තමයි ටෙලි නාට්‍යයෙන් නිරූපණය වුණේ.. ඒ මිනිස්සුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් තිබුණේ නෑ.. බඩඉරිඟු ගහක් දෙකක්, එළවළු ටිකක් වගේ දේවල් වගා කර ගත්තා විතරයි.. ඇත්තටම කියනවා නම් බඩඉරිඟු කරල් කිහිපයක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පාවලා දෙන කාන්තාවෝ ඒ ගම්වල හිටියා කිව්වොත් කවුරුවත් විශ්වාස කරන එකකුත් නෑ.. ඒ සමයේ පැවතුණ රජයත් විශ්වාස කළේ නෑ මෙච්චර දුක් විඳින මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා.. පාර්ලිමේන්තුවෙත් මේ ගැන කතාබහක් ඇති වෙලා සමහරු කිව්වා නාට්‍යය තහනම් කරන්න ඕන කියලා.. කොහොම වුණත් දුන්හිඳ අද්දර කියන්නෙ හැන්සාර්ඩ්ගත වුණ ටෙලි නාට්‍යයක්.. ඒ විතරක් නෙමෙයි, බී. බී. සී එකේ අධ්‍යාපන වැඩ සටහනකට ටෙලි නාට්‍යයක් තෝරා ගන්න කණ්ඩායමක් රූපවාහිනියට ආවා.. ටෙලි නාට්‍ය ගණනාවකින් ඔවුන් තෝරාගෙන තිබ්බෙ දුන්හිඳ අද්දර.. ඒකත් නාට්‍යයට ලැබුණ ලොකු සම්මානයක් විදියට අපිට දැනුණේ..”
සේන නානායක්කාර පැවසුවේ එහි සාර්ථකත්වය පිළිබඳව උපන් තෘප්තිමත් බවකින් ද යුතුවය.
“අපිට බදුල්ල නගරයේ සුවපහසු නවාතැන් පොළක් තිබ්බත් අපි නැවතුණේ ගමේ පැල්පත්වල.. ඒ පැල්පත්වල හිමිකාරයන්ටත් ඒක ලොකු සතුටක් වුණා.. අපිට අවුරුදු ආවා වගේ දැනෙනවා කියලා ඔවුන් කිව්වෙ අපි කෑමබීමවලින් ඔවුන්ටත් සංග්‍රහ කරපු හින්දා.. අපි මාසයක් විතර කැලෑවෙම ගත කරලා ආපහු එනකොට කොණ්ඩා රැවුල් වැවිලා අපිත් දුන්හිඳ වැසියන්ම වෙලා හිටියා.. ඇත්තටම ඒක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අපේ ජීවිතවලත් වෙනසක් ඇති කරපු, අපිට හුඟක් දේවල් උගන්නපු ටෙලි නාට්‍යයක්..”
අද්භූත සංචාරකයා ලෙස රඟ පෑ සේන නානායක්කාර විටෙක බුලත් විට වෙළෙන්දෙකු ලෙසින් පෙනී සිටින දර්ශනයක් එහි තිබිණි. එය ද දෛවෝපගත සිද්ධියක් ලෙස ඔහු දකින්නේය.
“මම ටෙලි නාට්‍යයෙ රඟ පෑව මුල්ම චරිතය තමයි බුලත් විට වෙළෙන්දා.. ඇත්තටම ඒක හරිම දෛවෝපගත දෙයක්.. මගේ අතීතය හරි කටුකයි.. මගේ පවුලේ නව දෙනෙක්.. මගෙ අම්මයි තාත්තයි කළේ කුලී වැඩ.. මට අවුරුදු හය විතර කාලෙ අම්මයි මායි අනුරාධපුර පූජා නගරේ පාර අයිනේ පෙට්ටියක තියාගෙන බුලත් විට විකුණනවා.. මට පුවක් කපන්න, බුලත් විට හදන්න ඒ කාලෙත් හොඳට පුළුවන්.. හැබැයි මට ඒක මතකයේ තිබ්බෙ නෑ.. ටෙලි නාට්‍යය විකාශය වුණාම මම අම්මගෙන් ඇහුවා මගෙ රඟපෑම් හොඳයි නේද කියලා එතකොට අම්මා මගේ ඔළුව අත ගාලා කිව්වා උඹට ඉතින් බුලත් විට විකුණන්න අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑනෙ කියලා.. ඇත්තටම දුක් විඳලා ලබන පන්නරය ජීවිතේ කවදාම හරි දවසක සාධනීය බලපෑමක් ඇති කරනවා..”
ඔහු කීවේ බැරෑරුම් හඬකිනි.
සේන නානායක්කාර මහාචාර්යවරයෙකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකි. තනතුරු හරහා කාර්යබහුල වීම නිසා රඟ පෑමෙන් සෑහෙන තරම් ඈත් වීමට ඔහුට සිදු වී තිබේ. එහෙත් ප්‍රේක්ෂක ප්‍රතිචාර උපරිමයෙන් ලැබෙන ආකාරයේ හොඳ චරිතයක් නිරූපණය කරන්නට ඇති බලාපොරොත්තුව නම් සිතින් ඈත් වන්නේ නැත.
චන්දි කොඩිකාර
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුන්හිද අද්දරට ගිය අද්භූත සංචාරකයා - සේන නානායක්කාර