රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර්” නිර්මාණයේ අමා ගේ චරිතයට පණ පොවන්නේ ටිකක් විතර දැඩි චරිත ලක්ෂණත් එක්ක. ඉතින් අපි හිතුවා මෙවර “සඳැල්ල” කතාබහ ට ඇයව සම්බන්ධ කරගන්න.
ප්‍ර තවම කට්ටිය කතා කරන්නේ පබා කියලද ?
ඔව්, තාමත් සැලකිය යුතු පිරිසක් කතා කරන්නේ පබා කියලා තමයි. අපි ප්‍රේක්ෂකයන්ට කිට්ටු වුණාට පස්සෙ එයාලා අපිව දකින වාරයක් ගානේ සතුටු වෙනවා. පබා කියලා මට කතා කරන හැමෝම ඒ ළෙන්ගතුකමත් එක්ක තමයි තාමත් මට කතා කරන්නේ. ඒ ගැන හිතද්දිත් ලොකු සතුටක් තියෙනවා.
ප්‍ර පබා කියන්නේ ඔබේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක්. ඊට පස්සේ ඒ වගේ ප්‍රේක්ෂක ආදරය ලැබූ චරිතයක් තියෙනව ද?
පබාට සංසන්දනය කරන්න පුළුවන් විදිහෙ තවත් නිර්මාණයක් ඇත්තටම මට ලැබුණේ නැහැ. මේ ක්ෂේත්‍රයේ ඉද්දි අපේ මහන්සිය, හැකියාවට අමතරව හොඳ නිර්මාණ ලැබෙන්න, අපිව තේරුම් ගන්න පුළුවන් අධ්‍යක්ෂකවරු ලැබෙන්න - වාසනාව කියන එකත් බලපානවා. පබා ඉවර වුණ ගමන්ම ඒ වගේම චරිත වලට මට ආරාධනා ලැබුණ. පබා කියන චරිතෙට මං හරි ආදරෙයි. හැබැයි රංගන ශිල්පිනියක් විදිහට එක තැන පල්වෙන්න මම කැමති නැහැ. ඒ චරිතයට පස්සෙ මම නපුරු චරිතයක් , අති දුෂ්ට චරිතයක් කළා. එතකොට ආරාධනා ලැබෙන්නේ ඒවගේ චරිතවලටමයි. ඕනෙම චරිතයක් වෙනස් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ චරිතයක් මට ලැබුණේ නැහැ.
ප්‍ර මේ දවස්වල මාස්ටර් සර් නිර්මාණයෙ අමා ගෙ චරිතය ගැන කතා කළොත්?
මාස්ටර් සර් නාට්‍යයේ ප්‍රබල චරිතයක් වෙන ප්‍රබුද්ධ සර් ගේ බිරිඳ ගෙ චරිතෙ තමයි අමා විදිහට මම රඟපාන්නේ. ඇය දැඩි තීරණ ගන්න, හැමෝවම තමන්ගෙ යටතේ තියාගන්න හිතන කෙනෙක්. හැබැයි නරක කෙනෙක් නෙවෙයි. තමන්ගේ සැමියා දක්ෂ ජනප්‍රිය ගුරුවරයෙක්. හැබැයි ඔහුගේ රැකියාව තියෙන්නේ බිරිඳ ගේ අතේ. එතනදි ඔවුන් දෙදෙනා අතර ඇති වෙන ගැටලු, “ටියුෂන් ව්‍යාපාරය” කරද්දි පිටින් එන ගැටලුත් එක්ක ගැටෙන විදිහ තමයි චරිතෙන් පේන්නේ. අමා කියන්නේ ගොඩක් දැඩි, ඒවගේම එඩිතර බොස් කෙනෙක්. මාත් හරි ආසාවෙන් තමයි ඒ චරිතෙ කරන්නේ.
ප්‍ර අහිංසක චරිතවලට වගේම මේ වෙනකොට ඉතා දුෂ්ට චරිතවලටත් උපේක්ෂා රංගනයෙන් දායක වෙනවා නේද?
ඔව්. මම මුලින්ම නපුරු චරිතෙකට කළේ “අහස් මාළිගා” කියන ටෙලි නාට්‍යයේ රයිනි කියලා දුප්පත් නර්ස් කෙනෙක්ගෙ චරිතයක්. තමන්ගේ සැමියත් එක්ක එකතු වෙලා පෝසත් රෝගියෙක්ව මරලා එයාගේ සැමියව දැලේ දාගෙන දේපළ අයිති කරගන්න හදන සිදුවීමක් තමයි නාට්‍යය පුරාවටම ගියේ.
මුලින්ම මට දුෂ්ට චරිතෙකට කතා කරන කොට ඒක මම හරි ආසාවෙන් භාර ගත්තා. හැබැයි මුල් කාලේ ඒක ඇත්තටම හරි අමාරු දෙයක්. මොකද රංගනයේ තාක්ෂණික කරුණු ගොඩක් තියෙනවා. ඉතින් එතනදි මට මුලින්ම සූදානමක් තිබුණේ නැහැ. නමුත් ඒවෙලාවෙ මට ලැබුණු නිවන්ත ප්‍රසාර කියන අධ්‍යක්ෂතුමා ගේ දක්ෂතාව නිසා මුල් දර්ශන තුන හතර වගේ වෙනකොට ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා. රංගනය කියන එක උපරිම විඳින කෙනෙක් විදිහට ඒ අභියෝගය හරි රහයි මට. ඉතින් මම ආසාවෙන් ඒ අත්දැකීම විඳින්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපිට සැබෑ ලෝකේ කොච්චර කේන්ති ගියත් ගහන්න බනින්න බැරි වෙලාවල් තියෙනවනේ. හැබැයි චරිතයක් හරහා ඒ හැඟීම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කියන දේ ලොකු සහනයක්. ඒක මම උපරිම විඳිනවා.
ප්‍ර පෙම්වතිය ගේ චරිතෙ ඉඳන් මවක ගේ චරිතය දක්වාම ඔබ අද රංගනයෙ යෙදෙනවා. ඒ වෙනස කොයි වගේද දැනෙන්නේ?
මුලින්ම කියන්න ඕනේ රංගන ශිල්පිනියක් විදිහට මට ඒක ගැටලුවක් නෙමෙයි. සමහර අය ඒක දකින්නේ - අපි වයසට ගිහින්, දැන් පීක් එකේ නෙවේ ඉන්නේ, තරුණ අයට අවස්ථාව දෙන්න ඕනෙ විදිහට. හැබැයි ඇත්තටම එතන තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. අපි චරිතාංග වෙන්න කැමතියි නම් විවිධ චරිත කිරීම අවශ්‍යයි. සමහර රංගන ශිල්පීන් ඉන්නවා එක රාමුවක් ඇතුළේ ඉන්න කැමති, සහය චරිත කරන්න අකැමැති. ඒකට අපිට මොකුත් කියන්න බැහැ. ඒ එයාලගේ කැමැත්ත. මම පෞද්ගලිකව හිතන්නේ අපිට සියලුම චරිත කරන්න හැකියාව තියෙන්න ඕනේ. මවකගේ චරිතයක් භාර ගත්තත් නිර්මාණය තුළ මගේ වටිනාකම අධ්‍යක්ෂක ඇතුළු කාර්‍ය මණ්ඩලය තේරුම් ගන්නවා නම් මට ඕනෙ එච්චරයි.
සමහර වෙලාවට නම් පොඩි දුකක් තියෙනවා, මොකද අපි අම්මා කෙනෙක්ගේ වගේ චරිතයක් කළාට පස්සේ දිගටම අපිට ආරාධනා ලැබෙන්නේ ඒ වගේ චරිතවලටම නිසා. මේ දවස්වල මට නාට්‍යයකට කතා කරපු ගමන් මම මුලින්ම අහන්නේ මම කාගේ අම්ම ද? කියලා. එතකොට කියනවා ප්‍රධාන චරිතෙ අම්මා කියලා. ඊළඟට මං අහන්නේ මොකක්ද මේ චරිතෙන් මට කරන්න තියෙන්නේ කියලා. මොකද මට එහෙම සිදුවීමක් වුණා. යාළුකමකට නාට්‍යකට හා කියලා ගිහින් ඒ චරිතෙදි මට පුතා කියනවා ඇර වෙන කරන්න කිසි දෙයක් නැහැ. ඒ අධ්‍යක්ෂතුමා ගෙන් මම සෙට් එක මැදදි ඇහුවා ඒ චරිතය රඟපාන්න ඕනෙ කෙනෙක් ගන්න පුළුවන්නෙ ඇයි මාව ගත්තෙ කියලා. ඉතින් එතකොට එයා මගෙ ජනප්‍රියත්වය වෙනුවෙන් තමයි ඒ චරිතෙට මාව අරන් තියෙන්නේ. ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඒ වගේ චරිතෙකදි අපේ දරුවො විදිහට ගන්න තරුණ ළමයා දක්ෂයි නම් සතුටුයි, මොකද කාට හරි මගක් පෑදෙනවා, ඒකට අපි හයියක් වුණා කියලා හිත හදා ගන්න පුළුවන්. හැබැයි ඒ ළමයා දක්ෂත් නැත්තම් ඒ වෙලාවට ඇයි අපව පාවිච්චි කරන්නෙ කියන දුක තියෙනවා. ඒ වගේ ගැටලු ඇරෙන්න මේ චරිත වෙනස මට ගැටලුවක් නෙවෙයි.
ප්‍ර උපේක්ෂා දැන් වේදිකා නාට්‍ය තුළිනුත් දැක ගන්න පුළුවන්.
ඔව්, “රොම්බ තෑන්ක්ස්” වේදිකා නාට්‍යය . සජීව මල්මාලආරච්චි ගේ නිර්මාණයක්. කලින් වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබිලා තිබුණට දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටපු නිසා පුහුණු වීම්වලට යන්න වෙලාවක් තිබුණේ නැහැ. රොම්බ තෑන්ක්ස් නාට්‍යයට ආරාධනා ලැබෙද්දි ඒක කාලෙකට කලින් පටන් ගත්ත නාට්‍යයක්. කාස්ට් එකේ යම් වෙනස්කම් වීමත් එක්ක තමයි අලුතෙන් නැවත පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොට අපි තැන් කීපයකම නාට්‍යය කළා. ඒක හොඳ රසවත් අත්දැකීමක්. සජීවී ලෙස ප්‍රේක්ෂකයන් ගේ ප්‍රතිචාර ලැබෙද්දි ආස හිතෙනවා.
ප්‍ර මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල පුබුදු චතුරංග ගේ "කුණා" කියන චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. ඩබින් තව ඉතුරුයි. ලංකාවේ අලුත් දෙමළ අධ්‍යක්ෂකවරයෙක්ගෙ "Case No 447" කියලා නිර්මාණයක රූගත කිරීම් කරන්න තියෙනවා. ඊට අමතරව රොම්බ තෑන්ක්ස් වේදිකා නාට්‍යය සහ මාස්ටර් සර් ටෙලිනාට්‍යය යනවා.
ප්‍ර රංගනය පැත්තෙන් තියෙන ඉදිරි බලාපොරොත්තුව?
මම ලොකූ බලාපොරොත්තු එක්ක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි එකම ආසාව මැරෙන තාක්කල් රංගනයේ නියැළෙන්න. ඒ වගේම පොඩි ආසාවක් තියෙනවා මම මැදිහත් වෙලා පොඩි නිර්මාණයක් කරන්න. එහි පිටපත ලේඛකයෙක් ලවා මේ දිනවල ලියමින් පවතිනවා චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. රංගන ශිල්පීන් විදිහට අපිට වගකීමක් තියෙනවා අපේ නම රැකගෙන ඉදිරියට යන්න. හොඳ නිර්මාණ කරන්න හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
උපේක්ෂාට නර්තන හැකියාවත් තියෙනවා. ඒ පැත්තෙන් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
නැහැ. මම පුංචි කාලේ ඉඳන්ම නර්තනයේ තමයි යෙදුණේ. මගේ අම්මා මාව අවුරුදු තුනේ දි ඉස්සෙල්ලම නැටුම් පන්තියකට දාලා තියෙන්නෙ. ඒකාලේ ඉඳන්ම විවිධ ශෛලියේ නර්තනයන් මම ඉගෙන ගෙන තියෙනවා .හැබැයි වර්තමානයේ රංගනයේ තියෙන කාර්‍ය බහුලත්වයත් එක්ක නර්තනය මට අතෑරෙනවා. මම ගොඩක් වෙලාවට අලුත් අවුරුද්දටයි, නත්තලටයි තමයි නැටුම් මොනව හරි කරන්නේ. නර්තනය හරියට කරනවා නම් එහෙම කරන්න බැහැ. ඒ නිසා මම නර්තනය කරන්නෙ නැහැ.
ප්‍ර උපේක්ෂාගේ ආදරණීය දුව ගැනත් මතක් කරමු.
වයස අවුරුදු අටක දුවක් ඉන්නවා. එයාගෙ නම දනුජි. මට තියෙන ලොකුම වගකීම. මම බලාපොරොත්තු නොවුණු වෙලාවක අම්මා කෙනෙක් වුණත් - ඒක මම හරි සතුටින් භාර ගත්තා. පළවෙනි වතාවට අම්මා කෙනෙක්ගෙ අත්දැකීම් ලබද්දි මුල් අවුරුදු තුන අමාරු වුණා. මොකද පොඩි පොඩි උදව් ලැබුණත්, මට තනියෙන් තමයි මුල් අවුරුදු දෙකේ එයාව බලා ගන්න වුණේ. හැබැයි දැන් මට ඉන්නේ හැම දේම බෙදාගන්න පුළුවන් දුවෙක්ට වඩා යාළුවෙක් කිව්වොත් හරි. මම සැර වෙලාවට සැරයි. නමුත් ඒහා සමානව මම එයාට ලොකු ආදරයක් දෙනවා. ඒක එයාට දැනෙනවා කියලත් මම දන්නවා.
ප්‍ර මවකගේ වගකීම් එක්ක කලාව ඇතුළේ දාගත්ත සීමාත් ඇති?
ඔව්, මම නැවත රඟපාන්න පටන් ගත්තෙ දුවට මාස හයේ දී. ඊට කලින් විවිධ හේතු නිසා මම රඟපාන්නේ නැහැ කියන තැන හිටියා. හැබැයි මූල්‍යමය අතින් ශක්තිමත් වෙන්න, ස්වාධීන වෙන්න ඕනෙ නිසා මම ආයෙ රඟපාන්න ගත්තා. එදා ඉඳන් අද වෙනකල් මම දුවව මාත් එක්ක සෙට් එකට එක්කන් යනවා. ඒක අමාරු වැඩක්. ඒ වගේම සමහර නිර්මාණ මට ප්‍රතික්ෂේප කරන්න වෙනවා ඇතැම් දර්ශන නිසා. ලිප්ස් කිස් කිරීමක් වගේ එකක් රංගන ශිල්පිනියක් විදිහට තිරය ඉදිරියේ රඟපෑම වැරදි නැහැ. නමුත් මට දුවත් එක්ක පොළට, ඉස්කෝලෙට වගේ සමාජෙට යන්න වෙනවා. එතකොට මට ඒකට මුහුණ දෙන්න බැහැ. මොකද සුළුතරයක් ඉන්නවා චරිත ඝාතනය කිරීමට උත්සාහ කරන. ඒ නිසා මගේ දුවත් එක්ක මම ගත කරන සාමාන්‍ය ජීවිතේ ගත කරන්න අමාරු වෙන දේවල් මම රඟපාන්නේ නැහැ. ඒවගේම දුවගෙ අධ්‍යාපන කටයුතුවලට බලපෑම් වෙන නිසා කොළඹින් පිට ලොකු නිර්මාණ භාර ගන්නෙ නැහැ වගේ සීමා දාගෙන ඉන්නවා.
කෞශල්‍යා ලක්ෂානි
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි