IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දිමංක ’’අහිංසකාවී ’’ සමගින්

ඇත්තටම කාලයක් තිස්සෙ මගෙ ලොකු හීනයක් තිබුණා ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න.  ඉතින් ඒ හීනය පාට කිරීමක් තමයි  මේ සිදුවෙලා තියෙන්නේ. ඉතින් මේ හීනය පාට කරන්න බොහෝ දෙනෙක් මෙහි පසුපස ඉන්නවා. මේ මගේ ආසාවක් විතරක් නෙමෙයි. මගේ සමීපතමයන් කිහිප දෙනෙකුටත් ආසාවක් තිබුණා මේ වගේ වැඩක් කරනවට.

ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් සනිටුහන් කරමින් රසික හදවත් තුළ ලැගුම්ගත් ගායන තරුවක් තමයි දිමංක වෙල්ලාලගේ.         

ඔහු අලු‍ත්ම වැඩ කටයුත්තකට අත ගසා තිබෙනවා. ඒ ඒක පුද්ගල ප්‍රසංගයක් කිරීමට තීරණය කරමින්. මේ කතාබහ ඒ වෙනුවෙන්.                              

  • දිමංක මොකද්ද මේ අලු‍ත් වැඩ කටයුත්ත? 

ඇත්තටම මම මගේම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න තීරණය කළා. එය මම නම් කරලා තියෙන්නේ දිමංක වෙල්ලාලගේ LIVE IN CONCERT  අහිංසකාවී නමින් අගෝස්තු මස 2 වනදා සවස 6ට රත්නපුර නවනගර පුස්තකාල ශ්‍රවණාගාරයේදී තමයි මෙම ප්‍රසංගය පැවැත්වෙන්නෙ. ඉතින් ආරාධනා කරනවා මට ආදරේ කරන අයට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න. වෙනස්ම රසවින්දනයක් ලබාගන්න හැකිවෙයි එදාට.                     

  •  ඇයි මෙවැනි ප්‍රසංගයක් සැලසුම් කරන්න හිතුවෙ? 

ඇත්තටම කාලයක් තිස්සෙ මගෙ ලොකු හීනයක් තිබුණා ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න.  ඉතින් ඒ හීනය පාට කිරීමක් තමයි  මේ සිදුවෙලා තියෙන්නේ. ඉතින් මේ හීනය පාට කරන්න බොහෝ දෙනෙක් මෙහි පසුපස ඉන්නවා. මේ මගේ ආසාවක් විතරක් නෙමෙයි. මගේ සමීපතමයන් කිහිප දෙනෙකුටත් ආසාවක් තිබුණා මේ වගේ වැඩක් කරනවට.  ඉතින් අපි කිහිප දෙනෙක්ගෙම වෑයමක ප්‍රතිඵලයක් තමයි මේ.            

  •  මුල්ම ප්‍රසංගය රත්නපුරයට ගෙනියන්න විශේෂ හේතුවක් තියෙනවද?

ඇත්තටම කියනවනම් මම ගායන ශිල්පියෙක් විදියට ලංකාවෙ ප්‍රසංගවලට නොගිය ප්‍රදේශයක් නැති තරම්. ඒ අතරින් මට හොදම ඉල්ලු‍මක් තියෙන ප්‍රදේශයක් තමයි රත්නපුර කියන්නෙ. විශේෂයෙන් අවුරුදු මාසෙට ප්‍රසංග 20,25ක් වගේ සෙට් වෙනවා. එහි විශාල රසික පිරිසක් ඉන්නවා. ඔවුන් හරිම ආදරණීයයි. ඒ නිසා මම තීරණය කළා රත්නපුරෙන් මේ ගමන පටන් ගත්තොත් හොදයි කියලා.                                

  •  මේ ප්‍රසංගය රට වටේ ගෙනියන්නත් බලාපොරොත්තුවක් තියෙනවද? 

අනිවාර්යයෙන් ඔව්. මට කොහොමත් ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි මේ ප්‍රසංගය කොළඹින් පටන් ගන්න කියලා. නමුත් මට ඕන වුණේ මේක ගමෙන් නගරෙට ගේන්න. පළමු පියවර පුංචියට තියන්න ඕන. එතකොට තමයි දිගු ගමනක් යන්න ලැබෙන්නෙ. ඉතින් මේ ප්‍රසංගය සාර්ථක කරගන්න ඕන මුලින්ම. මොකද අපි ගමනක් යන්න මුල් පියවර තබන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මොකද මේ ප්‍රසංගය පවත්වන ස්ථානයේ රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ ආසන 750 ක් තියෙනවා. අපිට තියෙන ලොකුම අභියෝගය තමයි එදාට ආසන 750 පුරවන එක. ඒ වෙනුවෙන් අපි ගොඩාක් මහන්සි වෙනවා.මේ වෙද්දී  ටිකට්පත් සැලකිය යුතු සංඛ්‍යාවක් අළෙවි වෙලාත් තියෙනවා Online සහ ටිකට්පත් අළෙවිසැල්වලින්. ඉතින් මට ලොකු විශ්වාසයක් තියනවා ප්‍රසංගය ඉතා සාර්ථක වෙයි කියලා.

  •  එදාට ඔබේ ගීත පමණද ගයන්නෙ? 

ඔව්.මගේම ගීත නිර්මාණ 20 ක් තෝරගෙන තියෙනවා. මම නිතරම එළිමහන් වේදිකාවේ ගායනා කරන ගීතවලට වඩා වෙනස් විදියෙ ගීත තමයි තෝරගෙන තියෙන්නෙ. ඒ තුළ මම ටෙලිනාට්‍ය වලට ගායනා කළ ගීතත් අඩංගු වෙනවා. විවිධත්වයෙන් යුත් ගීත තමයි තියෙන්නෙ.

  •  දිමංකට කාලයක් පොඩි චෝදනාවකුත් තිබුණා නේද අඩන ගීතම ගායනා කරනවා කියලා?

කොහොමත් කෙනෙක් තැනකට එද්දි ඒ තුළ යහපත් සහ අයහපත් ප්‍රතිචාර විදින්න වෙනවානෙ. ඉතින් මටත් ඒ දෙකම තිබුණා. ඒත් අයහපත් ප්‍රතිචාර වලට මම සැළුනෙ නැහැ. නමුත් අද වෙද්දී හැමදේම වෙනස්වෙලා වැඩිපුර ලැබෙන්නෙ හොදම ප්‍රතිචාර තමයි. මගේ ගීතවලට වෙනස්ම විදියෙ රසික පිරිසක් එකතුවෙලා ඉන්නවා.

  •  එදාට ප්‍රේක්ෂකාගාරය පිනවන්න ප්‍රාසාංගික දේවල් එකතු කරලා තියෙනවද? 

විශේෂිත වූ අංග එකතු කරලා නැහැ. මොකද එදාට එන පිරිස මාව නරඹන්නනෙ එන්නෙ. ඔවුන් ටිකට්පතක් අරන් මාව බලන්න එන්නෙ. ඉතින් මට හිතෙනවා ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ මගේ කටහඩින් මගේ ගීත කියලා. ඒ නිසා මගේම ගීතවලින් තමයි ඔවුන් පිනවන්නෙ.                   

  •  දිමංක ගායන ක්ෂේත්‍රයේ මේ ආපු ගමන්මග සාරාංශ ගත කළොත් ?

මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 11 ක් වෙනවා. මගේ පළමු ගීතය තමයි නිදුකින් ඉනුමැන කියන්නෙ. එදා ඒ ගීතයට ලැබුණු ආදරය ප්‍රතිචාර තවමත් අඩුවක් නෑ. එදාට වඩා අද රසික පිරිසක් මගේ වටා එකතුවෙලා ඉන්නවා. ප්‍රසංග වේදිකාවලට ගොඩවෙද්දිත් පාර තොටේ වුණත් යද්දී එද්දී ඒ ලැබෙන  ප්‍රතිචාර  හරිම ආදරණීයයි.               

  • ආයෙත් ප්‍රසංගය ගැන කතා කළොත් අහිංසකාවි නම මේ ප්‍රසංගයට යොදන්න හේතුව?

අහිංසකාවි කියන්නෙ මගෙ ගීතවලින් ඉතාම  ජනප්‍රිය වුණු ගීතයක්. ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුලු‍වන්. ඒකත් එක්ක මගෙ ජීවිතේට ලොකු ආලෝකයක් ලැබුණා. ඒ නිසා අහිංසකාවි කියන නම තෝරගන්න හිතුණෙ. ඒ වගේම අපේ හෝඩියේ පළමු අක්ෂරයනෙ ‘අ’ කියන්නෙ. ඒ නිසා මේ ගමන ‘අ’ යන්නෙන්ම පටන් ගන්න හිතුවා.

  •  මේ වෙනුවෙන් විශේෂයෙන් ස්තූති කරන්න පිරිසක් ඇති? 

මේ වැඩකටයුත්ත කරන්න මට සංකල්පය දුන්නෙ මගේ මිත්‍ර හිතවත් නිවේදන ශිල්පී තිසංක ගමගේ. ඔහුව ආදරෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම මේ ප්‍රසංගයේ සියලු‍ බර කරට අරන් මට විශාල සහයෝගයක් ලබාදෙන්නෙ මා මිත්‍ර රොෂාන් පෙරේරා. ඒත් එක්කම ලිලාන් රත්නායක සහ අශේන් සමරසිංහ ඇතුළුව තව අනුග්‍රාහක භවතුන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒ සියලු‍මදෙනා තමයි මේ ප්‍රසංගයට ශක්තියක් වුණේ.


ධනූ විජේරත්න



අදහස් (0)

දිමංක ’’අහිංසකාවී ’’ සමගින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site