IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුඩු කිරුළ ගන්න පෙරුම්පුරණ ‘හරක් කටා’

පාතාල දඩබ්ම

 

ඩුබායි රාජ්‍යයේ සිටින “මිදිගම චින්තක” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයකු වන “පොඩී” ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 19 වැනිදාය. මේ සිද්ධියත් සමග ‘මිදිගම චින්තක‘ නොහොත් ‘හරක් කටා’ ගේ චරිතය නැවතත් කරළියට විත් තිබේ.   


මින් ඉහතදී එනම්, ඉකුත් මැයි මස 30 වැනිදා දිනයේදීත් මොහු සම්බන්ධයෙන් පුන පුනා කියවෙන්නට වූයේ මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් ‘ෂන්ෂයින් සුද්දා’ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් හේතුවෙනි.   


අමිල ප්‍රසන්න හෙට්ටිහේවා (28) නොහොත් ‘සන්ෂයින් සුද්දා” යනු ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිට මෙරට පැමිණ සිය ව්‍යාපාරික කටයුතු සිදුකරමින් සිටින්නෙකි. පොලීසිය සඳහන් කරන ආකාරයට කිසිදු පෙර වැරැද්දක් වාර්තා නොවන මොහුට මේ වෙඩි තබන්නේ කවුරුන්ද? එය කුමන හේතුවක් නිසා විය හැකිද? ධිවර බෝට්ටු පහක පමණ හිමිකරුවකු වන මොහු ඒවා නඩත්තු කරමින් ව්‍යාපාර කටයුතු සිදුකරමින් සිටින අයෙකු බව සදහන් වෙයි. එහෙත් සුළු ප්‍රමාණයක හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත සිටින අයකු වන අතර එම නඩුව අධිකරණයේ විභාග වන නඩුවක් වන බවද පොලීසිය පවසයි. එසේම, ‘සන්ෂයින් සුද්දාගේ’ හෝටලය පාතාලයන්ට නවාතැන් දෙන ස්ථානයක් බව ද ගම්වාසීන් කියන තවත් කතාවකි.   
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකදුරේ මදූෂ්ගේ ළඟම හිතවතකු වන ‘සන්ෂයින් සුද්දා’ මදූෂ්ට අයිති බෝට්ටුවල පරිපාලනය කරන්නා බවටද ගම්වාසීන් අතර ප්‍රකට කතාවක් ව පවතී. එසේනම්, හදිසියේම සන්ෂයින් සුද්දාට මේ වෙඩි තිබ්බේ කවුද? ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඒ වන විටත් දැඩි විමසිල්ලෙන් සිටි එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ මේ “හරක් කටාගේ” වැඩක් බවට තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.   


බුද්ධි තොරතුරු සඳහන් කරන ආකාරයට මේ කියන ‘සන්ෂයින් සුද්දා’ත්, ‘හරක් කටා’ ත් මාකදුරේ මදූෂ්ගේ ගෝලයන් දෙදෙනෙකි. එසේ නම්, එකම පිල මේ අයුරින් මරා ගත්තේ ඇයි?   


මෙම වෙඩි ප්‍රහාරය මිදිගම චින්තක නොහොත් “හරක් කටා” විසින් සැලසුම් කර ඇත්තේ “අංගොඩ ලොක්කා” නමැති පාතාල ක්‍රියාකාරිකයාගේ වුවමනාවට බව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. 

 
‘අංගොඩ ලොක්කා’ සහ මාකදුරේ මදූෂ් ‘කිරි පැණි’ මෙන් එක් වී සිටියේය. මදූෂ්ගේ සුවච කීකරු ගෝලයෙකු වූ සන්ෂයින් සුද්දාත් හරක් කටාත් කංජිපානි ඉම්බ්‍රාන් ඇතුළු පිරිසත් මදූෂ්ගේ ඩුබායි උපන්දින පාටියේ දී වැඩේ වරද්දා ගත්හ. මදූෂ් මෙන්ම ඩුබායි පොලිසියේ හිරබත් කෑ සන්ෂයින් සුද්දා සහ කංජිපානි අනිත් පිරිසත් සමග එරටින් මෙරටට පිටුවල් කෙරිණි.   


අංගොඩ ලොක්කා සිටියේ ඉන්දියාවේය. එහෙත් ඔහු කෙළ හලමින් සිටියේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සියතට ගැනීමටය. ඒ වන විට ගෝඩ් ෆාදර් ලෙසින් හඳුන්වා ගනිමින් සිටි මදූෂ්ට ෂොට් එක දෙන්නේ කෙසේ දැයි සිහින මවමින් සිටි අංගොඩ ලොක්කාගේ උකුසු ඇසට ‘සන්ෂයින් සුද්දා’ හසුවිණි.   


‘වැලිගම ලයින් එක මදූෂ්ගෙන් ගලවාගන්න ඕන. එසේ නම් එහි අක්මුල් සෙවිය යුතුය. ළඟම එකා කඩා ගන්න බැරිනම් ටිකක් ඈතින් ඉන්න එකා කඩා ගන්න ඕන’ එවන් වූ සිතුවිල්ලකින් පසු අංගොඩ ලොක්කා සිය මෙහෙයුමට ළංකර ගන්නේ ‘හරක් කටා’වය.   


මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමේ සහ බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට එළියට ඇවිත් සිටියදී මේ කොන්ත්‍රාත්තුව භාර ගත්ත්තේය. ඔහු වැඩේ භාර දෙන්නේ අතුරුගිරියේ ජෙරා නමැත්තාටය. ජෙරම්, අංගොඩ ලොක්කාගේ වෙඩික්කරු බවද සඳහන් වෙයි.   


මේ සිද්ධියෙන් පසු “හරක් කටා” ගැන තොරතුරක් සොයාගන්නට නොලැබිණි. ඔහු ඩුබායි රාජ්‍යයට පලාගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබූ අවස්ථාවක නැවතත් මොහු ගැන තොරතුරු දිගහැරෙන්නට වූයේ ඉකුත් 19 වැනිදාය. මෙහි තවත් අරුම සිද්ධිය වූයේ මේ කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වූයේ මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවකුව සිටි “සොත්ති උපාලි” යන අයගේ දියණිය වන පැලවත්ත පාර, නුගේගොඩ පදිංචි ප්‍රසන්තිකා නිර්මලී ද සිටීමය.   
මෙම සිද්ධියේ දී ප්‍රධාන සැකකරු ලෙස දකුණු තලංගම, බත්තරමුල්ල පදිංචි කුරුප්පුගේ ධනුෂ්ක මදුෂංක මෙන්ඩිස් නොහොත් ‘පොඩී’ සහ ඔහුගේ සගයකු වන කඩුවෙල හේවාගම පදිංචි දිනේෂ් භානුක පෙරේරා යන අය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රසන්තිකා නිර්මලී ද සමගය.   


අල්මාරියක සඟවා තිබී අත්අඩංගුවට ගත් රුපියල් පන්කෝටි අනූ නව ලක්ෂයක මුදල් තොගය, මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී අත්අඩංගුවට ගත් විශාලම මුදල් තොගය බවට සැලකෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබිණි.   


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මසකට රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් මොවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලය ඉතා සූක්ෂම ආකාරයෙන් කඩා බිඳ දැමීමට පොලීසිය සමත් වූ බවත් ය.   


මේ කියන පොඩී යනු, ‘බත්තරමුල්ලේ බන්ටි’ යන අයගේ සහෝදරයා ය. මොවුන් දෙදෙනාම අංගොඩ ලොක්කාගේ සුවච කීකරු ගෝලයන් බවද පොලිසිය කියයි. බත්තරමුල්ලේ ‘බන්ටි’ යන අය කළුතර, එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කළ අංගොඩ ලොක්කා ඇතුළු පාතාල කණ්ඩායමේ සාමාජිකයකු බවට හඳුනාගෙන තිබිණි. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත මුදාහැර සිටින සැකකරුවකු බවද පැවසෙයි.   


දින 10ක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මෙම මුදල බැංකු ගත කරන තෙක් ඔවුන් නිවසේ අල්මාරියේ සඟවා තිබී පොලීසිය සොයාගෙන තිබිණි. මෙහිදී පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මේ සිද්ධිය පසුපස සිටිමින් එය මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “මිදිගම චින්තක” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා විසින් බවය.   


පාතාල ලෝකයේ කිරුළු දරන්නට පෙරුම් පුරමින් සිටි මාකදුරේ මදූෂ්, අංගොඩ ලොක්කා අද එලොව ගොසින් ය. මේ කියන “හරක් කටා” සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඔහු එහි රැඳී සිටිමින් මේ රටේ විනාශයට මුලපුරන්නේ නම් වගකිව යුතු බලධාරීන්ගේ දෑස් මොහු කෙරෙහි විවර විය යුතු නොවේද? මොහු පමණක් නොව විදේශයන් හි සිටිමින් මෙරට පාතාලයේ බල පරාක්‍රමය පතුරවන “අයියලා” ගැනද මේ බලධාරින්ගේ දැඩි අවධානය යෙදිය යුතු කාලයකි. කෙසේ වුවද ‘අවි ගත්තෝ නැසෙන්නේ අවියෙන්ම’ යන දහම කිසිවකුට හෝ වෙනස් කළ හැක්කක් නොවන බව පමණක් සියල්ලෝම දැනගත යුතු ම ය.   

 

 

නිරංගි අබේවික්‍රම

 



අදහස් (0)

කුඩු කිරුළ ගන්න පෙරුම්පුරණ ‘හරක් කටා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 711 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site