2001 වසරේ මුල් භාගයේදී මාලනී බුලත්සිංහල නම් විශිෂ්ට ගායිකාව, කලාකාරිනිය විජය පත්තර කන්තෝරුවට දෙවරක්ම ආවාය.   


මුල්වර ආවේ හදිසියේ සරල ගී වැඩ සටහනකට සූදානම්වීමට තිබුණු නිසා අප ළඟ ලියූ ගීත එහෙම තිබේදැයි අසන්නටය.   
‘‘ගීත දෙකක් හම්බවුණා. තවත් ගීත දෙකක් හොයා ගන්න ඕනෑ...’’ ඇය කීවාය.   
‘‘මේ කලබලේ...’’   


“ඔව් ඇමෙරිකාවෙ ප්‍රසංගයකට ලෑස්තිවෙන ගමන් ඒවට එහෙ මෙහෙ දුවන්න ඕනෑ... මේ වැඩේ කරන්නත් ඕනෑ... මම යන්න ඉස්සරවෙලා කියල යන්න එන්නම්කො...’’   
එවෙලේ හදිසියේ දෙන්නට ලියූ ගීතයක් අප ළඟ නොවීය.   
කඩිමුඩියේ ආවද ඇය අප සමඟ මඳ වේලාවක් කතා කරමින් සිටියාය. ඇය වෙනදාට වඩා සුන්දරව දිස් විය.   
ඒ කතාබහ අතරේදී ඇය කී එක වදන් පෙළක් මගේ සිත තුළ තවමත් නිංනාද වෙයි.   
‘‘දැන් මගේ පුතා තරුණයෙක්, දන්නවද?’’ ඒ කීවේ කසුන් කල්හාර ගැනය.   
ඒ වන විටද ආනන්දයේ ඉගෙනුම අවසන් කරන සමයට ළංව සිටි කසුන් සංගීත ප්‍රසංගයක්ද ඉදිරිපත් කර තිබුණේය. ඔහු ගායකයෙක් පමණක් නොව සංගීත නිර්මාණයෙන්ද එයට සම්බන්ධ වී සිටියේය.   
‘‘හරි අපි මොනව හරි කරමු’’ මම කීවෙමි.

   
ඇය පියකරු ලෙස සිනාසී සමුගත්තේ ඇමෙරිකාවේ යෑමට පෙර යළි එන බව කියමිනි.   
මාලනී බොහෝ විටෙක විජය කන්​තෝරුවට ආවිට ගීතයක් දෙකක් ඇද්දැයි විමසන්නේ පුරුද්දට මෙනි. එවන් එක් අවස්ථාවක මගේ අසුනට යාබද මේසයේ සිටි දෙල්තොට චන්ද්‍රපාල මහතා ළඟ ගීත කීපයක්ම තිබුණේය.   
චන්ද්‍රපාල මහතා බොහෝ විටෙක නිදහසේ සිටින වෙලාවට ගීතයක් දෙකක් ලියා ලාච්චුවේ දමාගෙන සිටියේය. එසේ ඔහු ලියා දුන් ගීත අතරින් මාලනීට ලියූ ‘‘මළ පොතේ අකුරු බෑ කී මිනිසා’’ බෙහෙවින් ජනප්‍රිය විය. එම ගීතය රැගෙන ගියේද ඊට වසර කීපයකට පෙර කඩිමුඩියේ සරල ගී වැඩටහනක් සඳහා ගීතයක් අවශ්‍ය බව කියමිනි.   
ඇතැම් ගායක ගායිකාවන් ගීතයක් ලියා දුන්නද ඊට ‘‘ඩිමාන්ඩ්’’ කරමින් නොගයා සිටින්නටම උත්සාහ කරන කාලයක ඇය ජීවත් වූයේ හදවතට එකඟවය.   
ඇය සංගීතය හොඳින් හැදෑරූ, අතිශය කටහඬක් හිමි ගායිකාවක වූවාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් අධ්‍යක්‍ෂවරිය වූවාය. එහෙත් ඇ​ගේ සරල බව මෙන්ම නිහතමානී බවද වෙනස් නොවීය.   
ඇය උපන්නේ බොරලැස්ගමුවේ දරුවන් හත්දෙනකුගෙන් යුත් පවුලකය. ඉන් එක් දරුවකු මිය යාම නිසා පවුලේ ඉතිරි වූයේ හයදෙනකු පමණය.   


‘‘ගෑනු දරුවන් හතරයි. පිරිමි දෙකයි.’’ එසේ පවසන්නේ මාලනීගේ නැගනිය වූ මාලනීගේ කටහඬම හිමි සන්ධ්‍යාය.   
‘‘අක්ක තුන්වැනියා’’ ඇය පවසයි. පවුලේ හැම දෙනෙකුටම ගීත ගායනා කිරීමට හැකිය. එය විශේෂයෙන් තාත්තාගෙන් උරුම වූවකි.   
මාලනීගේ පියා විල්සන් මහතා සේවය කළේ වරායේය. එහෙත් ඔහු ගායකයකු, වේදිකා නළුවකු විය. වේදිකාවේ ඔහු රඟපෑවේ කාන්තා චරිතය. එය ​බොහෝ විටෙක කාන්තාවන් රඟපෑමට තරමක් අදි මදි කළ කාලයකි. ගායනා කළේ බයිලා ගීතය. වාදනය කිරීමට වඩාත් ප්‍රිය කළේ ජපන් මැන්ඩලීනය. ඒ නිසා බොරලැස්ගමුවේ බොහෝ දෙනා මාලනීගේ පියා හැඳින් වූයේ බයිලා විල්සන් නමිනි.   
බයිලා විල්සන්ගේ නිවසේ ඇතැම් සැන්ඳෑ කාලවලදී සංගීත සාජ්ජ විය. සැවොම එකතු වී ගායනා කරමින් වාදනය කරමින් සතුටු වූයේ මුදල් සෙවීමට නොවේ.   
පවුලේ සැම දෙනාටම සංගීතය, ගායන හැකියාව තිබුණද ඉදිරියටම ගීයේ මාලනීය. එකල ඇය බී.ඇස්. මාලනීය.   


බොරලැස්ගමුවේ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා සුනේත්‍රා දේවී පිරිවෙනට ඇතුළු වූවාය.   
එතැනින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඇය ඉන්දියාවේ භාත්ඛණ්ඩ සරසවියට ඇතුළත් වූවාය.   
මාලනී වඩාත් දස්කම් පෑවේ සිතාරය හා තබ්ලාව වාදනය කරන්නටය. ඇගේ මධුර හඬ ගැන බොහෝ දෙනා කතා කළේ කුඩා කාලයේ සිටමය. ඇයගේ මිහිරි කටහඬ නිසා ඇයට කුඩා කල සිටම විවිධ උත්සවවලදී ජයමංගල ගාථා ආදිය ගායනා කරන්නට අවස්ථාව ලැබිණ.   
ඒ අතර ඇයට කරු අයියා (කරුණාරත්න අබේසේකර) හමුවිය. ළමා පිටියේ ගායිකාවක ලෙස ඇය දොරට වැඩියේ ඒ අයුරිනි.   


ඇගේ මුල්ම ළමා ගීතය මහාචාර්ය සනත් නන්දසිරි තනු නිර්මාණය කළ, අජන්තා රණසිංහ ලියූ ‘‘බට්ටිච්චෝ ඔයත් එක්ක’’ බව පැවසෙයි.   
බී.එස්. මාලනී යනුවෙන් හැඳින්වූ ඇය මාලනී බුලත්සිංහල වූයේ අජන්තා රණසිංහගේ අදහසක් අනුවය.   
මාලනීගේ සංගීත හැකියාව දැනගත් ඇමැති ලක්ෂ්මන් ජයකොඩි මහතා හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එස්.ඩී.එස්. ජයසේකර මහතා (චම්පා කල්හාරිගේ පියා) ඇයට ඉන්දියාවේ භාත්ඛණ්ඩේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලබාදීමට උදව් කළහ.   
ඇය වේදිකාවේ ගී ගයමින් රඟපෑවේ ‘‘සතවරම් රන් දරුවෝ’’ නාට්‍යයේය. ආනන්ද එස්. විජේසිරිගේ ‘‘නෙත් අඳ බිසව්’’ හා ‘‘දෙව්ලොව යන්නම්’’ යන නාට්‍ය දෙකේද ඇය ගායනා කළාය. නාට්‍යයක ගීත ගැයීම සඳහා එවකට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දක්ෂතම ගායිකාව එවන ලෙස කියූ විට යවා ඇත්තේ මාලනීය.   
එතැන් සිට මාලනී විශිෂ්ට ගායිකාවක ලෙස ඉදිරියට ගියාය. ගුවන් විදුලියේ සරල ගී පමණක් ​නොව ජන ගායනා ආදී විවිධ ගීත ගැයූ ඇය චිත්‍රපටයටත්, ටෙලි නාට්‍යවලටත් ඇගේ හඬ එකතු​ කළේ ජනප්‍රියත්වය මෙන්ම සම්මානයද ඇයට උරුම කරමිනි.   


ඇය 1985 දී ‘‘වත්සලා අක්කා’’ චිත්‍රපයට ගැයූ ගීතයට හොඳම ගායිකාව ලෙස සම්මාන ලැබුවාය.   
1990 දී ‘‘මධු සමය’’ චිත්‍රපටයේ ‘‘මාද ඔබම විය’’ ගීතයටත්, 92 දී ‘‘උමයන්ගනා’’ චිත්‍රපටයටත්, 1995 දී ‘‘වෙද හාමිනේ’’ නාට්‍යයටත්, 96 ‘‘දඬුබස්නාමානය’’ ටෙලි නාට්‍යයටත් ගායනය වෙනුවෙන් සම්මාන ලැබුවාය.   
ඒ මාලනී බුලත්සිංහල නමැති භාවමය හඬක් හිමි ගායිකාව ගැනය. මේ තොරතුරු බොහෝ විටෙක ලියා තිබෙන්නට අැත.   
මේ සියල්ල අතරේ ඇයගේ සිත මහත්සේ කම්පනයට පත් කළ සිදුවීම වූයේ ඇගේ දියණිය ‘‘නිර්මානි ඡායා’’ අකාලයේ ඩෙංගු රෝගයෙන් මෙලොවින් සමුගෙන යාමය.   
දිනෙක හදිසියේ හමුවූ මාලනී මට කීවේ “මහා භයානක උණක් පැතිරෙනවා. මොනව හරි පත්තරේට ලියන්න’’ කියාය. ඒ 1990 දී පමණය. ඒ වනවිට ඩෙංගු රෝගය එතරම් ප්‍රසිද්ධව නොතිබිණ. ඔවුන්ගේ වෛද්‍යවරයා වූයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහතාය.   


ඒ අතරතුර ‘‘තරුණයා’’ පුවත්පත ජාතික තරුණසේවා සභාව අනුග්‍රහයෙන් පැවැත්වූ ආධුනික ගීත ප්‍රසංගයකට අප ඇරයුම් කළ විට ඒ කලබල අතරතුර එයද පිළිගත්තේ ආරාධනය අහක දාන්නට බැරිකමටය. එයට මුදල් ගෙවීමක්ද නොවීය.   
මහා වැස්ස පටන් ගැනීමත් සමඟම එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ඩෙංගු උණද රට පුරා පැතිර යන්නට විය. ඇය තරුණ සේවා සභා ශාලාවේ පැවැත්වූ ‘‘තරුණයා’’ ප්‍රසංගයට පැමිණ කීවේ ‘‘දුවගෙ උණ අඩු නෑ. ඔයාව අහක දාන්න බැරි නිසා ආවා’ කියාය.   
එම සිදුවීමෙන් ටික දිනකට පසු නිර්මාණි දියණිය ඩෙංගු රෝගයෙන් මෙලොවින් සමුගත්තාය.   
‘‘අනේ මගේ කෙල්ල​ හොස්පිට්ල් එකට ගියේ කේක් කෑල්ලක් කකා කාරෙකේ සිට් එකේ හිටගෙන...’’ ඇය කීවේ බොරලැස්ගමුවේ නිවසට ගිය විටය.   
‘‘මේ හරියේ දිය සීරාව වැඩියි. ඒක නිසා මදුරුවෝ බෝවෙනවා’’ මම කීවෙමි.  
‘‘ඩෙංගු මදුරුවො කෑවෙ මගෙ දුව විතරද?’’ ඇය මගෙන් ඇසුවාය.   
ඇගේ සැමියා විශිෂ්ට සංගීතඥ එච්.එම්. ජයවර්ධනය. දියනියගේ මේ සිදුවීම ඔහුට දරාගත නොහැකි විය. ඔහු රාත්‍රි කාලයේ දියණිය මිහිදන් කළ ස්ථානයට ගොස් එහි නිදා සිටින්නට පුරුදු විය.   
ඔහු රාත්‍රිය ගත කළේ එහිය.   


මේ සියල්ල අමතක කර දැමීම සඳහා මාලනී බොරලැස්ගමුව අතහැර මාදින්නාගොඩ නව නිවසට පැමිණියාය. එහි සංගීත පන්තිද පටන් ගැනිණ.   
කාලය ගෙවුණද ඇගේ සිතින් දියනියගේ වියෝව වරින් වර වේදනා දෙන්නට විය. එහෙත් ඇය සංගීත කටයුතුවල දිගටම නිතර වූවාය.   
1992 දී මගේ මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය වූ ‘‘උඩවැඩියා මල්’ සඳහා උදව් කළේ දැන් ජනප්‍රිය නළුවකු වූ කුමුදු නිශාන්ත පෙරේරාය.   
එහි තේමා ගීත ගායනය සඳහා අප තෝරා ගත්තේ අමරසිරි පීරිස් හා මාලනී බුලත්සිංහලය. සංගීත අධ්‍යක්‍ෂණය සරත් වික්‍රමය.   
‘‘සීතල කඳු මුදුනේ’’ නම් මවිසින් ලියූ එම ගීතයේ අමරසිරිගේ කොටස කලින්ම පැමිණ ඔහු ගායනා කළේය. මාලනී පැමිණියේ මඳක් ප්‍රමාදවය. ගීතය සඳහා ඇගේ ගෙවීම පිළිබඳව කලින් කීපවරක් ඇසුවද ඇය පිළිතුරක් නොදුන්නාය.  


පටිගත කිරීම අවසන්ව ඇයගේ මුදල් පිළිබඳව මම යළිත් විමසුවෙමි.  
‘‘මට ඔයාගෙන් සල්ලි ගන්න බෑ. මට සල්ලි එපා’’ කියමින් ඇය ශබ්දාගාරයෙන් පිටවන්නට උත්සාහ කළාය.   
‘‘අඩුම ගානෙ ආපු පෙට්රල්වලටවත් කීයක් හරි ගන්න’’ කීවද ඇය ඉක්මන් ගමනින් පිටව ගියා හැරෙන්නට කිසිම බුරුලක් ​නොදුන්නාය.  
එය මට පමණක් කරන ඇගේ පුරුද්දක් නොවේ. නිමල් ගුණසේකරගේ මල්ලී වන ගාමිණි ගායනා කරන ලද කැසට් පටයේ මවිසින් ලියූ ගීතයට ඇය යුග ගීත ගායනය වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකළාය.  
ඒ වාදකයන්ගේ වැඩවලදී ඇය මුදල් අය නොකිරීමේ ප්‍රතිපත්තිය නිසාවෙනි.   
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වරක් ඔහුගේ සුපුරුදු වේගවත් ස්වරයෙන් පැවසූයේ ‘‘ගායක ගායිකාවො අපි හදපු සිංදු පිට රටවල්වලට ගිහිල්ලා හම්බකරගෙන එනවා. අඩුම ගණනෙ ඒවා හදපු මිනිසුන්ට එක බෝල් පොයින්ට් පෑනක්වත් ගෙනත් දෙනවද? මාලනී එහෙම නෙමෙයි. තමන්ට උදව් කරපු නිර්මාණ කරපු අයව අමතක නොකරන ගායිකාවක්’’ කියාය.   


දැන් ඉතින් මාලනීගේ සමුගැනීමේ කතාවට ආපසු හැරෙමු.   
2001 වසරේ දෙවැනිවර ඇය විජය පත්තර කන්තෝරුවට පැමිණියේ ඇමෙරිකාවේ ප්‍රසංගයකට යන බව කියන්නටය.  
ඒවන විට පළමුවර පැමිණ මාලනී කී පරිදි මම ඡායාරූප ශිල්පී රවීන්ද්‍ර දීප්තට නව යොවුන් වියේ පසුවූ කසුන් කල්හාරගේ ඡායාරූපයක් තරුණයා කවරයට ගන්නට යයි කීවෙමි.  
රවි ආපසු පැමිණ මට කීවේ ‘‘අනේ හරියට අමාරු වුණා පින්තූර ගන්න. එයා ඒකට කැමැති නෑ. බොහොම අමාරුවෙන් බයිසිකලයක් හොයාගෙන ඇවිත් එතැනින් ටිකක් දුරකට එක්කගෙන ගිහින් බයිසිකලෙත් එක්ක පින්තූර ටිකක් ගත්තා’’ ඔහු කීවේය.   
එහෙත් ඡායාරූප සුන්දර විය. තරුණයා කවරයේ ඡායාරූප පළ විය.   
වසර 20 කට පෙර වූ සිද්ධියේදී ඇතැම් දෑ මටද දැන් අමතකය. කසුන්ගේ එම ඡායාරූපය හා කෙටි විස්තරය මාලනී දැක්කාදැයි නොදැක්කාදැයි එනිසා මට කිව නොහැකිය.   
එහෙත් තරුණ පුතකු සිටින මවකගේ ආඩම්බරය නම් ඇගේ ඒ වචනවල තිබූ අයුරු මට තවමත් සිහිපත් වෙයි.   


‘‘ඔයා දන්නවද මගේ පුතා දැන් තරුණයෙක්.’’  
2001 වසරේදී අප දකින්නට අවසන් වරට විජය කන්තෝරුවට පැමිණි මාලනී ඇමෙරිකාවට ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණියේ ප්‍රාණය නිරුද්ධවය.   
කලා භවනෙන් පටන් ගත් මාලනීගේ අවමඟුල් පෙරහැර බෙහෙවින් දිගු විය. දයා රාජපක්‍ෂත්, මමත් අමවඟුල් පෙරහැරේ ටික දුරක් ගොස් බොරැල්ල කනත්තට යාම සඳහා වෑන් රථයට නැගුනෙමු.   
මගේ මුල්ම ටෙලිනාට්‍ය ගීතයට මුදල් එපා කියමින් ශබ්දාගාරයෙන් දිව ගිය මාලනීගේ දේහය පිටුපසින්, නව යොවුන් වියේ පසුවූ කසුන් බිමට යොමා ගත් හිසින් යුතුව ඇවිද ගිය දුක්මුසු විලාසය දැනුදු මගේ දෙනෙත් කඳුළින් පුරවන්නකි.   


1949 දෙසැම්බර් 12 වැනි දින උපන් මාලනී ඇමෙරිකාවේදී අසාත්මිකතාවක් නිසා හදිසියේ අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 51 කි. ඒ 2001 මාර්තු 28 වැනිදාය.   
සියඹලාණ්ඩුවේ සිට පැමිණ බටනළා වාදකයකු ලෙස එක්වී, ඉන්පසු සුප්‍රකට සම්මානනීය සංගීත අධ්‍යක්‍ෂවරයකු බවට පත්වූ මාලනීගේ සැමියා එච්.එම්. හමුවන්නට පසුකල මාදින්නාගොඩ නිවසට ගිය විට පාළු වූ නිවසේ මාලනී නැති අඩුව මට තදින් දැනෙන්නට විය.   
දැන් මාලනී මෙන්ම එච්.එම්. ජයවර්ධනයන්ද ජීවතුන් අතර නොමැත. සංගීතය වෙනුවෙන් ඔවුන් ඉතිරි කර ගිය එකම සම්පත පුත් කසුන් කල්හාරය.  

 

 

රොඩ්නි විදාන පතිරණ