IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආසියානු ක්‍රිකට් කිරුළ දිනූ අපේ ක්‍රීඩා තරු


 

චමරි අතපත්තු

ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව ‘චමරි’ අදහස් ප්‍රකාශ කර සිටියේ මෙලෙසිනි.

  • චමරි මෙම  ජයග්‍රහණය ඔබ දකින්නෙ මොන විදිහට ද? ඔබට දැනෙන හැඟීම් මොන වගේ ද?

ලොකු සතුටක් එක්ක කණ්ඩායම ගැන මට ලොකු ආඩම්බරයක් දැනෙන්නෙ. මේ ජයග්‍රහණය අපි කණ්ඩායම විතරක් ලැබූ ජයක් නොවෙයි. ඒ ජය ලබන්න පුහුණුකරුවන් සහ කාන්තා  ක්‍රිකට් කණ්ඩායම බාරව සිටින  සියලුම දෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම කණ්ඩායමක් හැටියට අපි එකමුතුව සහ දක්ෂතා ඇතිව ක්‍රීඩා කළේ. පසුගිය වසර 15 පුරා බොහෝ කැපවීම් කළා. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය නම් කරන්න පුළුවනි.

  •  මෙහිදී දක්ෂතා දැක්වූ හර්ෂිතා, කවීෂා සහ විශ්මි ගැන ඔබ කොහොමද හිතන්නෙ?

මගේ සමුගැනීමෙන් පසුව අපිට වඩා සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි තරුණ ක්‍රීඩිකාවන් ලෙස මෙන්ම දක්ෂ ක්‍රීඩිකාවන් ලෙස එයාලා ඉදිරියෙන්ම සිටිනවා. ඒ වගේම අනෙකුත් තරුණ ක්‍රීඩිකාවන් සියලු දෙනා ඉතා දක්ෂයි. ඒ අය හොඳම දේ කරාවි. මේ දක්ෂතා ඇති පිරිස එක්ක ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කිරීම අපේ අරමුණයි.

  •  ඔබගේ දැවී යාමෙන් පසු ජයගග්‍රහණය ගිලිහේවී කියා ඔබ කනස්සල්ලට පත් වුණා ද?

මගේ දැවී යාමෙන් පසුව මගේ අනෙකුත් ක්‍රීඩිකාවන් මේ වැඩේ ජයග්‍රහණය දක්වා ගෙන යාවි කියන හැඟීම මට තිබුණා. මම දැවී ගියා කියලා කනගාටු වුණේ නැහැ. කොහොමටත් අපි අසුබවාදී විදිහට හිතන්නෙ නැහැ. එදාට කළ යුතු හොඳම දේ ගැන හිතලා තරගයෙන් තරගයට හොඳින් ක්‍රීඩා කිරීම අපේ අරමුණයි.


උදේශිකා ප්‍රබෝධනී 

කළුවාදේවගේ උදේශිකා ප්‍රබෝධනී  යනු වත්මන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව සහ ආරම්භක පන්දු යවන්නියද වෙයි.  චමරිටත් පෙර සිට කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය හසල අත් දැකීම් ඇති ක්‍රීඩිකාවකි.  මෙම කණ්ඩායමේ සිටින වයසින් වැඩි ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. 

එහෙත් වයස යනු නිකම්ම- නිකම් ඉලක්කමක් පමණකැයි යන්න ඇය ප්‍රායෝගිකව සනාථ කර ඇත්තේ යොවුන් ක්‍රීඩිකාවන් අභිභවා යන තරමින් දක්ෂතා දක්වන නිසාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නිය ලෙස කාලයක් තිස්සේ කටයුතු කිරීමම මගින් ඇය කෙතරම් දක්ෂ ද යන්න ක්‍රීයාවෙන්ම ඔප්පු කර තිබේ. ගෙවී ගිය කාලයේදී ජයග්‍රහණ වෙනුවෙන් ඇය ලබා දුන් දායකත්වය ඉතා අගනේය. එය පැසසිය යුතුම කරුණකි. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ස්වකීය ක්‍රීඩා සේවය මෙන්ම වෘත්තීය සේවය ලබා දෙන උදේශිකා බෙහෙවින් සරල-නිහතමානී කාන්තාවකි. ඉහළ යන තරමට නිරහංකාර වූ ඇයට ඕනෑ නම් සුපිරි ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් ඇය වඩා ප්‍රිය කරන්නේ සරල ජීවිතයක් ගත කිරීමට යැයි අපට විශ්වාස කළ හැකිය. ගත මෙන්ම හිත හයිය මේ ක්‍රීඩිකාව සැබැවින්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ සම්පතකි.


හර්ෂිතා සමරවික්‍රම

ශූරතාව  දිනු ආසියානු  කුසලාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය හැඩකාරිය ඇයයි. වමතින් පිත්ත හසුරුවන සුන්දර හර්ෂිතා අවසන් මහා තරගයේ හොඳම  ක්‍රීඩිකාව ලෙස සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඇයගේ සාර්ථක ඉනිම (නොදැවී ලකුණු 69) ගැන අදහස් ප්‍රකාශ කර සිටියේ මෙලෙසිනි.

මගේ පවුලේ අයත් මේ තරගය නරඹන්න පැමිණ සිටියා. හැබැයි මගේ අම්මා නැහැ. ඇය ජීවතුන් අතර නැහැ. ඒත් මට දැනෙන්නෙ අම්මා කොහේ හරි ඉඳන් මා දිහා බලාන ඉන්නවා වගේ හැඟීමක්. අම්මාගේ ආශීර්වාදය මට නිතර ලැබෙනවා. විශ්වයේ කොහේ හරි ඉඳන් ඇය මට ආශීර්වාද කරනව ඇති. අම්මේ මේ ඉනිම ඔයා වෙනුවෙන්. 

ඒ වගේම මේ තරම් විශාල ප්‍රේක්ෂක ජනතාවක් ඉදිරියේ අපි ක්‍රීඩා කරලා නැහැ. අපිව දිරිගන්වන්න ආව හැමෝටම ස්තුතියි.චමරි අක්කා මේ දිනවල ඉතා හොඳින් පන්දුවට පහර දෙනවා. එයා අවුට් වුණාම පීඩනයක්  නොගෙන සාමාන්‍ය තරගයක විදියට ක්‍රීඩා කරන්නයි මට ඕනෑ කළේ. චමරි අක්කා අවුට් වුණාම ඊළඟට බැට් කරන්න ආවේ කවීෂා. එයාගෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්. චමරි අක්කා නවත්තපු තැනින් මම පටන් අරගෙන ක්‍රීඩා  කරන්න අදිටන් කර ගත්තා. ජයග්‍රහණය දක්වා ගියේ ඒ විදිහටයි.


හසිනි මධුෂිකා පෙරේරා

කොට්ටාව ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ පසුව උසස් පෙළ දක්වා හසිනි අධ්‍යාපනය ලබා ඇත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙනි. 

හසිනිගේ පියා ජීවතුන් අතර නැත. මව සහ මල්ලිලා දෙදෙන ඇයගේ පවුලේ සාමාජිකයින්ය. කළමනාකරණ අංශයෙන් උපාධිය සඳහා උසස් අධ්‍යාපනය ලබමින් සිටින ඇයගේ අපේක්ෂාව එම අංශයේ රැකියාවක නිරත වීමය. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇය නාවික හමුදාවෙන් ලැබෙන සහයෝගය සහ ශක්තිය ගරුත්වයෙන් සිහි ගැන් වීමට අමතක නොකරන්නීය.  මොහාන් වික්‍රමසිංහ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට එළැඹ ඇති ඇය ගේ ප්‍රථම පුහුණුකරු වන්නේ පාලිත ගුණසේකරයන්ය. ආදරය ගැන ඇය ගෙන් ඇසුවොත් ඇය දැනට ආදරේ ක්‍රිකට් සහ අධ්‍යාපනයට යැයි කියාවී.  හසිනි බොහොම ප්‍රියමනාප ආදරණීය චරිතයකි.

 


කවීෂා දිල්හාරි

ආසියානු ක්‍රිකට් කුසලාන අවසන් තරගයේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ ඇයයි. ඇය එල්ල කල හයේ පහර සමග ඒ ජය සනිටුහන් වුණි. ඇය කවීෂා දිල්හාරිය. නොදැවී ලකුණු 30ක් රැස් කිරීමට ඇය සමත් වුණි.

මේ ප්‍රවේගකාරී- හැඩකාර ක්‍රීඩිකාවට ආදරයට අමතන්නේ කවී යන නාමයෙනි. ඇයගේ ගම ගාල්ල රත්ගමය. මුලින්ම සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඇය ඉන්පසු ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ ගාල්ල දේවපතිරාජ විද්‍යාලයෙනි. ක්‍රිඩාවක් ලෙස ඇය මුලින්ම කර ඇත්තේ නෙට් බෝල් හෙවත් දැල් පන්දු ක්‍රීඩාවය. පාසලේ ක්‍රීඩා අංශය බාර මහේෂ් සඳරුවන් ගුරුතුමා නිසා ඇය ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ බව සඳහන් කළ හැකිය. පවුලේ ඇයට සිටින්නේ අම්මා, තාත්තා, අය්යා සහ අක්කා කෙනෙකි. මේ ගමන ඒමට ඇය හට ගුරුවරයන් වූ සියලු දෙනා හට නිරන්තරයෙන් ගරුත්වය දක්වන නිහතමානී ක්‍රීඩිකාවකි.

 


 විශ්මි ගුණරත්න

එය ඇත්තටම සුන්දර රාත්‍රියක්, හැමෝම සතුටට ගී ගයමින් නටමින් ඒ මොහොත සැමරුවා.

කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන විශ්මි එදා ජයග්‍රහණයෙන් පසු ඒ මොහොත ගැන කියා තිබුණේ එලෙසිනි. අවසන් මහා තරගය ජය ගැනීමේ අපේක්ෂාව සියලු ක්‍රීඩිකාවන්ගේ ඒකායන අරමුණ වූ නිසා උපරිමය කිරීමට සියලු දෙනා කැපවූයේ යැයි ඇය කියා තිබිණ. එදා අවසන් තරගයේදී අවාසනාවන්ත ලෙස දැවී ගියද අනෙක් ක්‍රීඩිකාවන් සතු දක්ෂතා උපරිමයෙන් ඇති නිසා ඒකාන්ත වශයෙන්ම ජය ලබන වග දැන සිටි නිසා විශ්මි හතරේ සීමාෙවන් එපිට සිට පිතිකරනයේ යෙදී සිටි චමරි සහ හර්ෂිතා දිරි ගන්වන අයුරු දැක ගත හැකි විය. විශ්මි යනු ක්‍රීඩාවට පමණක් නොව ඉගෙනුමට උපන් හපනියකි. සාමාන්‍ය පෙළ ඒ සමාර්ථ 9 ක් ගත් ඇය ගේ අරමුණ උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වීමය.


ඉනෝෂි ප්‍රියදර්ශනී

වත්මන් T-20 ජාත්‍යන්තර  ක්‍රිකට් පිටියේ පන්දු යැවීමේ අංශයේ 4 වැනි ස්ථානය ලබා සිටින්නේ ලංකාවේ ඉනෝෂි ප්‍රියදර්ශනී ප්‍රනාන්දුය.

එහෙත් පුද්ගලිකව වාර්තා තබනවාට වඩා ඇයගේ අරමුණ වන්නේ රට පෙරට තබා ක්‍රීඩා කිරීමය. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් ඇය හට කතා කරන්නේ ඉනෝ යන ආදරණීය නාමයෙනි. ඉනෝ යනු නිතරම සිනහාවෙන් සිටින ප්‍රියමනාප ක්‍රීඩිකාවකි. මොරටුව ඉඳිබැද්ද ඇයගේ උපන් ගමය. අම්මා-තාත්තා සහ අය්යා, මල්ලී සහ නැඟණිය ඇයගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ය. පාසැල් සමයේදී ඇය පාසලේ සිටි දක්ෂ මලල ක්‍රීඩිකාවක වූවාය. මීටර 400 ශූරිය ඇයම වූවාය. ඊට අමතරව මීටර 200, 800 සඳහා ක්‍රීඩා කර තිබේ. එලෙසින් පාසලේදී සෑම ක්‍රීඩාවක්ම පාහේ කළ ඉනෝ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ මොරටු ක්‍රීඩා සමාජයෙනි. පසුව කොළඹ CCC සහ මේරියන්ස් සමාජයටත්, ලංකා වුමන්ස් සමාජය වෙනුවෙනුත් ක්‍රීඩා කළ ඉනෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයට එක්වීමත් සමග මේ දක්වා ක්‍රීඩා කරමින් සේවය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙනි. ඉනෝ යනු බොහොම ආදරණීය මෙන්ම ඇය වටා සිටින හැමෝටම ආදරය කරන චරිතයකි. පෙම්වතියක වූවද ක්‍රිකට් ක්‍රීඩාවට බාධා නොවන අයුරින් කටයුතු කිරීම ඇයගේ අරමුණ ලෙස සඳහන් කළ හැකිය.


අනුෂ්කා සංජීවනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින කඩුලු රකින්නිය වන්නේ ඇයයි.  මැද පෙළ කොඳු නාරටිය වන්නේ ඇය යැයි කිව හැකිය. තරගයක් ගොඩ දැමිය හැකි චරිතයකි. හික්කඩුව අනුෂ්කා ගේ ගම් පළාතය. 

සුන්දර ගමක ජීවත් වන සුන්දර පවුලක් යැයි ඇය පවසා තිබිණ. ඒ පවුලේ අම්මා අද ජීවතුන් අතර නොවේ. තාත්තා, සහ ඇයට මවක මෙන් වු අක්කා සහ අය්යලා දෙන්නා ඇයගේ පවුලේ සාමාජිකයෝ වෙති. ජයන්ති නියාමන විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි.  

පාසල් අධ්‍යාපනයෙන් පසුව පොලිස් සේවයේ රැකියාවකට අයැදුම් කළද, ඒ අවස්ථාව මග හැරුණු නිසා ඇයගේ පාසලේ සිටි එස් ආර් නානායක්කාර ගුරුතුමාගේ මග පෙන්වීම මත ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ  අනුෂ්කා ක්‍රීකට් පටන් ගෙන ඇත්තේ සීනිගම ගුණ-ජය-සතුට පදනම යටතේ එහි ක්‍රිකට් කණ්ඩායම නිෙයා්ජනය කරමිනි. අංජුල මෙන්ඩිස් ගුරු පියාණන් අද ජීවතුන් අතර නැතත් එතුමා ගරුත්වයෙන් සිහිපත් කරන බව ඇය සඳහන් කරයි. ආදරය ගැන කතා කිරීමේ දී එය එකිනෙකාට සාපේක්ෂ දෙයක් වග ඇයගේ හැඟීමය. මේ දක්වා පෙම්වතියක් නොවූවද ආදරය සුන්දර දෙයක් යැයි ඇයගේ අදහසය. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ඇය සේවය ලබා දෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ එහි කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙනි. අනුෂ්කා යනු සැබෑ ජීවිතයේදී සෑම දෙනෙකුටම පාහේ උදවු කරන නිරහංකාර අතිශය සරල ක්‍රීඩිකාවකි.


නිලක්ෂි ද සිල්වා

තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන නිලක්ෂි යනු කාන්තා කණ්ඩායමට නැතුවම බැරි තවත් ක්‍රීඩිකාවකි. 

පානදුර ඇයගේ ගම වේ. පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය ඉගෙනීමට වඩා දක්ෂ වූවේ මලල ක්‍රීඩාවටය. පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නොතිබි නිසා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට බැඳී ක්‍රීකට් ක්‍රීඩාවට අවතීර්ණ වි ඇත. අම්මා තාත්තා සහ අය්යලා දෙදෙනා  නිලක්ෂිගෙ පවුලේ සාමාජිකයෝ වෙති. තාත්තා නර්තන අංශයේ ගුරුවරයෙකි. නිලක්ෂි නර්තනයට ද දක්ෂය. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන ඇයගේ අරමුණ ජයග්‍රහණ වෙනුවෙන් හැකි උපරිමය කිරීමය.

 


සුගන්ධිකා කුමාරි

දඟ පන්දු යවන ක්‍රීඩිකා සුගන්ධිකාගේ සම්පූර්ණ නම සුගන්ධීකා මානෙල් කුමාරි වූවද කණ්ඩායමේ අය ඇය අමතන්නේ ආනා යන අන්වර්ත නාමයෙනි. ඊට හේතුව ඇයගේ ගම ආනමඩුව වීම නිසාය. 

ආනමඩුව කන්නන්ගර ආදර්ශ කනිෂ්ට විද්‍යාලයෙන් සහ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුගන්ධිකා, ක්‍රිකට් ක්‍රීඩාවට ඒමට පෙර දක්ෂ මලල ක්‍රිඩිකාවක වූවාය. හෙල්ල විසී කිරීමේ අංශයේ සමස්ත ලංකා ජය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කිරීමේ අවස්තාව ලැබූ ඇය අන්තර් රෙජිමේන්තු තරග වලින් පසුව මලල ක්‍රීඩාව අත්හැර ක්‍රිකට් ක්‍රීඩාවට එළැඹ ඇත.   ආනා හෙවත් සුගන්ධිකාගේ පවුලේ අම්මා මියගොසිනි. තාත්තා ගොවිතැන් කටයුතු  කරයි. අක්කලා හතර දෙනා සහ අය්යලා හතර දෙනෙකු ඇය සතුය. එදා ජයග්‍රහනයෙන් පසුව ඇය පවසා තිබුණේ මෙලෙසිනි.

මේ තරගය දවසේ උදෑසන සිට මම නම් ලැහැස්ති වෙලා සිටියෙ ජය සැමරීමටයි. ඒ විදිහ මම මනසේ මවාගෙන හිටියෙ. අපට දිනන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. කෙහොමටත් සෑම කුසලාන දිනූ මොහොතකදීම මුලින්ම කුසලානය ඔසවාගෙන කෑ ගසමින් ජය සමරන්න මුල පුරන්නෙ මම. අපේ කණ්ඩායම හරිම එකමුතුයි. මේ ජයග්‍රහණයට හේතුවත් ඒ එකමුතුකමයි.


සචිනි නිසංසලා ලක්ෂිත

රත්ගම දී උපත ලැබූ සචිනි දේවපතිරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි. මව පියා සහ මල්ලිලා දෙන්නා ඇයගේ පවුලේ සාමාජිකයින්ය. සචී යන ආදරණීය නාමයෙන් අමතන ඇය නතරව සිටින්නේ කොළඹය. 

කාන්තා කණ්ඩායම නියෝජනය කරන කවීෂා දිල්හාරී, කාව්‍යා කාවින්දි, ශෂිනි ගිම්හානී, ඉමේෂා දුලානි කොළඹ නේවාසිකාගාරයක නතරවී සිටී. එලෙසින් නතරව සිටින ඇයට ඉතා රහට කෑම උයන්නට හැකි යැයි සඳහන් කළ හැකිය. විවේකයේදී පොත් කියවීම ඇයගේ ප්‍රීයතම විනෝදාංශය වෙයි. පුංචි පුස්තකාලයක් ද ඇය සතුය. 

පොත් කියවා රස විඳින අතරේ ජීවිතය දැනුමෙන් පුරවා ගැනීම මෙන්ම අත්දැකීම් ලැබීම ඇයගේ අපේක්ෂාවය. ආදරය ගැන කතා කිරීමේදි ඇය පවසන්නේ දැනට හදවතින්ම ආදරේ ක්‍රිකට් ක්‍රීඩාවට යනුවෙනි. එකම පාසලේ එකට ක්‍රිකට් ක්‍රීඩා කළ යෙහෙළියන් සමග එකට ක්‍රීකට් ක්‍රීඩා කිරීමට ලැබීම ඇය සලකන්නේ භාග්‍යයක් ලෙසය

 

අතිරේක ක්‍රීඩිකාවන්


සඳුන් ගමගේ


 



අදහස් (0)

ආසියානු ක්‍රිකට් කිරුළ දිනූ අපේ ක්‍රීඩා තරු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31159 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site