අක්වැස්සට වැහිකෝණම
හිසේ රැඳිච්චී
හීන් හීතලේ හිරිකඩ
ඇඟම තෙමිච්චී
හුස්ම ගන්ඩ පවා මටම
අමතක වෙච්චී
ආලවන්ත වටමලුවක්
හදමු ද හිච්චී..........
හීවල් දැත්තේ තාලෙට
හිතම බැඳෙන්නේ
කෙත් ඇළ දිග ආලවන්ත
කමයි ඇදෙන්නේ
වක්කඩ ළඟ වතුර පාර
ඇවිත් රැඳෙන්නේ
හී කැටයක් වගේ මොකද
බලා හිඳින්නේ........
වර්තමානයේ බොහෝ සෙයින් අහන්නට නොලැබෙන එහෙත් අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින අපූර්ව ගීතයක් පිළිබඳව සොයාබැලීමක් කරන්න අපි හිතුවා.මේ ගීතය විශේෂ වෙන්නේ වැඩිය කනට නොඇසෙන පද මාලාවක් එක්ක හරි රහට ගායනා කරන හඬ පෞරුෂයක් වගේම මිහිරි තනුවක්, ගීතයටම අනුභූත වූ රූප රචනයක් ද මේ තුළ ගැබ්ව ඇති නිසා .ඉතිං මේ ගැන වැඩි විස්තර ‘හිච්චීට’ පණ දුන්නු ගීතයේ රචක ‘නිරෝෂ සංජීව අබේසිංහගෙන්’ අපි අහලා බැලුවා.
මම ඉපදුණේ හැදුණේ වැඩුනේ අධ්‍යාපනය ලැබුවේ වගේම මම තාමත් ජීවත් වෙන්නෙත් සුන්දර මිනිස්සු පිරුණු කෘෂීකර්මාන්තය ජීවනෝපාය කරගත් ග්‍රාමීය පරිසරයක.මම වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වගේම විද්‍යුත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරනවා.ඉතිං මා ජීවත්වෙන සහ මා හොබවන භූමිකාව තුළ හිච්චී කියලා කියන්නේ සැබැවින්ම දැක්ක සහ දකින යථාර්තයක්.
නිරෝෂ සංජීව |
තිලිණ සුදේශ් |
නාලක විජේරත්න |
ලෝකයේ නිර්මාණය වෙච්ච විශිෂ්ටතම මෙවලම තමයි භාෂාව කියලා කියන්නේ. සිංහල භාෂාව ඒ අතර තියෙන හරිම සෞන්දර්යාත්මක ආකර්ෂණීය භාෂාවක්. සිංහල භාෂාව ඇතුළෙත් උපසංස්කෘතීන්ට අයත් භාෂා භාවිතයන් ගොඩක් තියනවා. ගොවි සංස්කෘතියත් එක්ක බැඳිච්ච ගොවි සංස්කෘතියට අනන්‍ය භාෂාවක් තියෙනවා ඒක හරි අපූරුයි හරි ලස්සනයි ඒ භාෂාවේ වචන. හැබැයි ජන කවියකින්වත් හඳුනාගන්න බැරි ගොවි සංස්කෘතියට අයත් භාෂා භාවිතයන් ව්‍යවහාරය තුළ තියෙනවා. අන්න ඒ අපූරු භාෂාවේ තියෙන වචන අරන් ගැමි සුන්දරත්වය එක්ක ආදරයක් ගළපලා කරපු නිර්මාණයක් විදිහට තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ.
ඇත්තටම මම මේ ගීතය ලියන්නේ ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.අක්වැස්ස වහින තැන ඉඳලා, (අක්වැස්ස කියන්නේ මහා ඉඩෝරයකින් පස්සේ ඉස්සල්ලාම වහින වැස්ස) ඉඳලා කොළ පාගලා, බැත ටික ගෙදරට ගේනකම් කෘෂි සංස්කෘතියත් එක්ක බැඳුණු උප භාෂාවක් තියෙනවා. අන්න ඒ භාෂාවේ තියෙන වචන එකතු කරලා ගැමි තරුණයෙක් සහ තරුණියක් ගේ සිතෙහි තුළ ඉපැදුණු ආදරණීය බැඳියාවත් කැටිකරලා කරපු නිර්මාණයක්. ජන කවියකින්වත් අහුවෙන්නේ නැති වචන මේ ගීතයට අන්තර්ගත කරන්න මම සියුම් උත්සාහයක් ගත්තා.ඒකට හේතුව වෙන්නේ මේ නිර්මාණයේ ගැබ්වෙලා තියෙන වියැකෙමින් පවතින කෘෂිකර්මාන්තය හා බැඳුණු වටිනාකම් අනාගත පරම්පරාවට ලබා දෙන්න ගීතය මාධ්‍යයක් විදියට මම මෙතනදී භාවිත කළා.
ඔව් අනිවාර් යෙන්ම, තිළිණ සුදේශ් වන්නිනායක කියලා කියන්නේ මගෙන්ම අධ්‍යාපනය හැදෑරුව මගේ ප්‍රදේශයේම දක්ෂ දරුවෙක්.ඔහුගේ ගායන හැකියාව පිළිබඳව ඔහු මගෙන් අධ්‍යාපනය ලබන කාලයේ ඉඳලාම මම දැනගෙන හිටියා. ඔහුට හොඳ හඬ පෞරුෂයක් වගේම මේ ගැමි පරිසරය, කෘෂිකර්මාන්තය එක්ක බැඳුණු ජීවන රටාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා.ඒ නිසාම තිළිණගේ ගායනයත්, තනු නිර්මාණයත් එක්ක මේ ගීතයට ආලෝකයක් වටිනාකමක් ලැබුණා.ඒ වගේම මගේ හිත ඇඳිලා තිබ්බ හිච්චීගේ චිත්ත රූපය ඒ ආකාරයටම යථාර්තයක් කරන්න නාලක විජේරත්නගේ රූප රචනයත්, රූප රචනයට රංගනයෙන් දායක වූ හිරුණි වසුන්දරා ශිල්පිනිය ඇතුළු සියලු දෙනාත්,සමස්ත නිර්මාණ කාර්යයටම දායක වූ සියලු දෙනාටත් ස්තූතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.
හඬ දායකත්වයෙන් සහ තනු නිර්මාණයෙන් හිච්චී’ ව හැඩ කරපු තිළිණ සුදේශ් වන්නිනායක යොවුන් ගායන ශිල්පියාගෙනුත් හිච්චීව නිර්මාණය කරපු විදිය අහන්න අපි අමතක කළේ නැහැ.
ඇත්තටම කියන්න හරිම සතුටුයි තරුණ පිරිස් වගේ ම ආචාර්ය මහාචාර්යවරු පවා මට පෞද්ගලිකව කතා කරලා නිර්මාණය පිළිබඳව අගය කළා.මෙවැනි ගීතවලට ප්‍රිය කරන බොහෝ පිරිස් හරි ආදරයෙන් හිච්චී ගීතය වැලඳගෙන තියෙනවා කියලා ලැබෙන ප්‍රතිචාරවලින්‍් දැනෙනවා. ඒ වගේම මම පෞද්ගලිකව හිතනවා මේ ගීතයට ඇලුම් කරන බොහෝ පිරිස් මෙවැනි ග්‍රාමීය පරිසරයක ජීවත්වෙන නැත්නම් ඒ වැනි පරිසරයකට ඇලුම් කරන ස්වභාවිත ගීතයට ආදරය කරන ඒ නිර්මාණ රස විඳින රසික පිරිසක් බව.
අද ලංකාවේ ගීත කලාව ඇතුළේ බොහෝ විට ගීත නිර්මාණය වෙන්නේ වාණිජමය පරමාර්ථයන් අරමුණු කරගෙන.ඒ නිර්මාණයන් ගොඩක් වෙලාවට සරල අදහසක් සහිත ගීතයක් වෙන්න පුළුවන්,බොහෝ විට එවැනි ගීතවල යටිපෙළ අරුතක් හොයා ගන්නවත් නැති වෙන්න පුළුවන්.කොටින්ම කියනවා නම් පොල්ලෙන් ගැහුවා වගේ කියලා ඉවර කරන ගීත තමයි අද ඇහෙන ගීත විදියට අපිට අහන්න තියෙන්නේ.ඉතිං ඒ ගීතත් එක්ක බැලුවාම හිච්චී කියන්නේ වෙනස්ම ආරක නිර්මාණයක්, ලස්සන චවන ගැබ්වෙච්ච යටි පෙළ අරුතක් සහිත අපිට ආයාසයෙන් නැවත නැවත අහන්න පුළුවන් ගීතයක්.මම හිතනවා අනිත් ගීතත් එක්ක හිච්චී වෙනස් වෙන්නේ එතැනින් කියලා.කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ මෙවැනි හරවත් නිර්මාණයන් රස විඳින රසික පිරිසක් අද ගීත කලාව තුළ ඉන්නේ හරිම අඩුවෙන්.
මේ පද මාලාව කියවපු මුල්ම වෙලාවේ මටත් නුහුරු වචන ගොඩක් තිබ්බා.ඇත්තටම වැහි කෝණම කියලා මම මුලින් හිතුවේ මුලින් වැටෙන වැස්සට කියන තවත් නමක් කියලා...හිසේ රැදෙච්චී කියලා කිව්වාම හිතුවේ ඔළුවට වැටිච්ච වතුර බිංදු කියලා.ඇත්තම තේරුම ඒක නෙවෙයි.වැහි කෝණම කියලා කියන්නේ වැස්සෙන් ඔළුව ආරක්ෂා කරගන්න එදා ගොවියන් විසින් හදා ගත්ත හිස් අවරණයක් මෙවලමක් වගේ දෙයක්.ඉතිං මමත් මේ වගේ වචනවල තේරුම දැනගත්තේ නිරෝෂ සර් එක්ක මේ ගීතයේ වචන ගැන කතා කළාට පස්සේ.ගීතය ඉතාම රසවත් වෙන්න වගේම තනුව නිර්මාණයේදීත් ගොවි සංස්කෘතියට අයත් ලස්සන වචන පෙළගැස්ම විශේෂ හේතුවක් වුණා.පද මාලාව මුලින්ම ගායනා කරන වෙලාවේ හදවතට මාරම ආදරණීය හැඟීමක් ඇතිවුණා ඒකට විශේෂම හේතුව වුණේ සර් සහ මම නුවර කලාවිය ඇතුළේ ජීවත්වෙන මිනිස්සු වීම.මේ ගීතයේ වචන අඩුවැඩි වශයෙන් කොතැනකදී හරි අපි අහලා තිබ්බා.අපේ අම්මා තාත්තා ඒ වගේම සීයා ආච්චීගේ කාලයට අතීතයට මාව ආයෙත් මේ ගීතයත් එක්ක අරං ගියා.
තව අවුරුදු ගාණක් ගියත් මේ රසවින්දනය එක ලෙසම මේ ගීතයත් එක්ක එහි අධ්‍යාපන හර පද්ධතිය සමඟ අනිවාර්යයෙන්ම රැඳෙනවා කියලා මම විශ්වාස කරනවා.අනාගත පරම්පරාවට අතීත සංස්කෘතිය ඒ හා බැඳුණු වටිනාකම් උරුම කරලා දෙන්න නිරෝෂ සංජීව සර් දරපු සුන්දර සහ ආදරණීය උත්සහයට දායක වෙන්න සර්ගෙන් ඉගෙන ගත්තු ශිෂ්‍යයෙක් විදියට මටත් එකතු වෙන්න අවස්ථාව ලබා දුන්නට සර්ට විශේෂ ස්තූතියක් වගේම ගීතයේ රූප රචනයට මාව සම්බන්ධ කරගත්ත නාලක විජේරත්න අයියාවත් ආදරයෙන් මතක් කරනවා.
මනෝජ් හර්ෂික
හතර අතින් ඇසෙනුයේ අවුරුදු අසිරිය කැන්දාගෙන එන එබඳු ගීතය. මේ කියන්නේ බක් මහේ මංගල්ලේ හෙට අනිද්දම ගමට එන විත්තියයි. කලකට ඉස්සර බක් මාසය එළඹෙන බව ගම්වල
පරිසරය පුරාම අවුරුදු අසිරිය විසිර පැතිර තිබේ. කොහාගේ ඉමිහිරි නාදය, රබන්සුරල් රතිඤ්ඤා හඬ දසතින්ම ඇසෙන්නේය. හැම ගෙදරකින්ම හමා එන්නේ කැවිලිවල ඉමිහිරි සු
සිංහල අවුරුදු කාලෙට ගමේ අසිරිය මතකයට රැගෙන එන ගී පදවැල් අපේ සවනත වැදෙනවා. මේ කාලයට විතරක් සීමා නොවී ගම ගැනත් එහි භාවමය සුන්දරත්වය ගැනත් කොවුල් හඬින් ගී
ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධනගේ පුතුණුවන් ගයාන් ගුණවර්ධන මේ වෙනකොට රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය ජනප්‍රියත්වය ඉහ
“අවුරුදු සමය ගැන කතා කළොත් මගේ කුඩා කාලයේදී අම්මා එක්ක එකතු වෙලා කිරි ඉතිරූ හැටි සහ අනෙකුත් චාරිත්‍ර කළ හැටි මට හොඳට මතකයි. නෑගම් ගිය හැටි, හිස තෙල් ගෑමේ
මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘නිමාවක් නැති ආදරේ’ ඒ තුළ රංගනයේ යෙදෙන ‘මේඝ’ චරිතය මේ නිර්මාණය තුළ කැප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආලවන්ත වටමලුවක් හදමු ද හිච්චී