IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


​තේවතු එනසාල් වතු අතර සැඟවුණු ගොම්බානියා වැටිය

දුම්බර අඩවියේ අතහැර දැමූ ඉසව් සොයා ගිය ගමන

ගොම්බානියා කඳු වැටිය

 

නකල්ස් රක්ෂිත වනාන්තරය නොහොත් දුම්බර අඩවිය යනු මධ්‍යම කඳුකරයේ රටේ මධ්‍යයට ​ෙවන්නට පිහිටි වනාන්තර පද්ධතියකි. දිස්ත්‍රික් යුගලයකට උරුමකම් කියන මෙම ලෝක උරුම වන රක්ෂිතය තුළ එකිනෙකට වෙනස් පාරිසරික ලක්ෂණ දක්නට ලැබෙයි. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල ව්‍යාප්ත වූ වන පියස හෙක්ටයාර 21,000 ක පමණ වපසරියකින් යුක්ත වන අතර මීටර 1500 ට වඩා උසැති කඳු මුදුන් 20 ක් පමණ මෙහි දක්නට ලැබෙනවා. විවිධ කාල වකවානුවල ජිවිකාව නකල්ස් වනපෙත තුළ ගෙවූ ගැමියන් මේ ​ෙවන විට රක්ෂිතයෙන් බැහැර වී ප්‍රේරණ කලාප තුළ සිටින අතර තවමත් රක්ෂිතයේ ඇති අතීතාවර්ජන සොයා අපි නකල්ස් වෙත පිය මැන්නෙමු.   


ඊසාන දිග හා නිරිතදිග මෝසම් සුළඟට ලම්බකව පිහිටි නිසාවෙන් වර්ෂාව විවිධ කාල වල දෙපසටම ලැබේය. එනම් දිස්ත්‍රික්ක දෙකටය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් කොටස දිගන වන අඩවි සංරක්ෂණ කාර්යාලයෙන් හා මාතලේට අයත් කොටස ඉලුක්කුඹුර වන අඩවි සංරක්ෂණ කාර්යාලය මගින් පාලනය කෙරෙන අතර සමස්තයක් ලෙස රක්ෂිතයේ පරිපාලනය වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දරනු ලබයි. මිලිමීටර 2540 සිට 5080 දක්වා අතර වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන රක්ෂිතයේ මධ්‍යයන උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-26 අතර වේ. මේ විචල්‍යතාව නිසා රක්ෂිතයේ විවිධ වනාන්තර වර්ග ගණනාවක් දක්නට ලැබේ. එනම් තෙත් නිවර්තන පහත් අර්ධ සදාහරිත, නිවර්තන උප කදුකර තෙත් අර්ද සදාහරිත, නිවර්තන තෙත් කඳුකර සද‌ාහරිත සහ කඳුකර තෘණභූමි ලෙසයි. මෙම රක්ෂිතය තුළ වර්ණවත් තුරුලතා බොහෝමයක් පවතින අතර ගිරිශිඛර, මහා ප්‍රපාත සහ බෑවුම් වගේම පතන් තෘණභූමි රාශියක් දක්නට ලැබේ.   
නකල්ස් රක්ෂිතය තුළ වඩාත් කැපී පෙනෙන වනාන්තර වර්ගය නම් කඳුකර තෘණභුමි වේ. මන්ද හෝර්ටන්තැන්න හැරුණු විට දෙවැනියට විශාලතම පතන පවා පිහිටා ඇත්තේ නකල්ස් රක්ෂිතය තුළය. එය වෙලන්ගොල්ල පතන නම් වේ. මීට අමතරව සංචාරක ආකර්ෂණය හා අධ්‍යාපනික පර් යේෂණ කටයුතු සඳහා විවර කරන ලද පටපත පතන, අස්වැද්දුම පතන, ගිනි කෙලිය පතන, රැහැන කෙටුපතන, කොටගඟ පතන, ඉලුක් පතන, අප්පල පතන, දොඹගහ තැන්න පතන ආදි පතන් හා තෘණභුමි බොහෝමයක් නකල්ස් වන පෙතේ දක්නට ලැබෙයි.   


පතන් අල, දුම්බර පෙති අං කටුස්සා, දුම්බර ගල්පර මැඩියා ආදි එ්ක දේශිය ශාක හා සත්ව ප්‍රජාවක් වෙසෙන නකල්ස් වර්ෂ 2000 දි පමණ අධි රක්ෂිතයක් ලෙස නම් කරන ලද පසුව වර්ෂ 2010 ආසන්න දිනකදී රක්ෂිතයේ ජෛව විවිධත්වය හා ශාක විවිධත්වය නිසාම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කරන ලදී. නකල්ස් රක්ෂිතයේ විවිධ ඉසව් රාවණා පුරාවත සම්බන්ධවද තවත් ඉසව් රාජ යුද සම්පත් සම්බන්ධවද පැතිර යන අපේ සමස්තයක් ලෙස අතීතයේදි රක්ෂිතයේ බොහෝ ඉසව් ජනාවාස වී පැවතුණි.   
සුදු ජාතිකයන් ලංකාවෙන් යාමට ආසන්න සමයේදි නකල්ස් රක්ෂිතය තුළ එනසාල් වගාව බොහෝ ප්‍රචලිත වීමට පටන් ගැනුණි. එම නිසාම ඔවුන් ද්‍රවිඩ කම්කරුවන් යොද‌ාගෙන තේ වගාවට අමතරව එනසාල් වගාව දුම්බර වන පියස අභ්‍යන්තරයේ පවා සරුවට කරන්නට විය. එනසාල් යනු කුළුබඩු වශයෙන් බොහෝ වටිනා මිල අධික ද්‍රව්‍යයක් වුවද එනසාල් මගින් දුම්බර රක්ෂිතයේ ශාක හා තුරුලතා වලට කණකොකා හඬන්නට විය. මන්ද එනසාල් යනු වනාන්තරයේ යටි රෝපණය විනාශකරන ශාකයක් වීමය.   
එනම් එනසාල් වගා කිරීමේදි ස්වභාවිකව වන පෙතේ වැඩෙන කුඩා ශාක හා පැළෑටි වර්ග කිසිවක් වැඩෙන්නේ නැත. කොටින්ම කිවහොත් නව ශාක වැඩීම එනසාල් වගාව මගින් නැතිකර දමන්නක් විය. ඒ හේතුවෙන් එනසාල් වගා කරන ලද ප්‍රදේශවල මහා ගස් හැරුණු විට දක්නට ලැබුණේ එනසාල් වගාවම පමණි. මෙය විශාල ගස් මැරීගිය විට නැවත එවැනි ගස් රෝපණය නොවීමට පැහැදිලි හේතුවක් විය. එවිට යම් දිනක වනාන්තරයේ ඇති විශාල ගස් නැතිවී ගිය විටක ඉතිරි වන්නේ එනසාල් වගාව හෝ මුඩු ඉඩම් පමණක් වීම තර්ජනයක් විය.   


ඒ නිසාම වන පියසේ බොහෝ අභ්‍යන්තරයේ පවා පැවති එනසාල් වගාව හා ජනාවාස තහනම්කර එහි වූ ජනයා නකල්ස් රක්ෂිත මායිමේ පිහිටි ප්‍රේරණ කලාප තුළ පදිංචි කිරීමට විය. ඒ හේතුවෙන් වර්තමානය වන විට හුන්නස්ගිරියේ සිට ලුල්වත්ත, කරඹකැටිය, කුඹුක්ගොල්ල හරහා මී මුරේ යන මාර්ගය හා ඒ අවට ගම් කිහිපය හැරුණු විට වෙනත් කිසිම ගමක් හෝ මාර්ගයක් රක්ෂිතය තුළ දක්නට නොලැබේ. අතීතයේ රංගල, තංගප්පුව හරහා කොබට් කපොල්ල වෙත තිබූ මාර්ගය හෙට්ටිපොළ සිට ගලමුදුන වෙත සහ රත්නින්ද, ඇටන්වල සිට වල්පොලමුල්ලට තිබූ මාර්ග නශ්ටාවශේෂ වී ඇත. මේ සියල්ල මගින් රක්ෂිතයේ වන සුරක්ෂිතතාව බොහෝ පාලනය වූ නමුත් තවමත් වන මධ්‍යයේ විවිධ ඉසව් වල පිහිටි එනසාල් වාඩි සහ ගල් පඩිපෙල් හා අත්හැර දමන ලද ජනාවාසවල නටබුන් දක්නට ලැබේ.   

 

සුන්දර වතුයායේ මාර්ගය

 


තවද නකල්ස් වන පෙත යනු පොකුරු කඳු පන්ති සහ කුරු ශාක වලින් ගහණ ප්‍රදේශයකි. අලියා සහ කොටියා ප්‍රධාන වශයෙන් ජීවිතය ගෙවන මෙහි ගෝනා, ඕලු මුවා, වල් ඌරා, මීමින්නා, වල් බලලා, සඳුන් දිවියා, කොළ දිවියා, සර්පයන් හා කටුස්සන් වර්ගද ජිවත් වේ. රක්ෂිතයේ සුන්දරත්වය සේම වටිනාකම සොයා යන සෞන්දර්ය චාරිකාවේ අප මෙවර දුම්බර අඩවියෙ අත්හැර දැමූ ඉසව් සොයා වන වැදුනේ කඳු මුදුන් ගංගා හා දිය ඇළ අතරින් ඉදිරියටම ගොස් විපරම් කිරීමේ අටියෙනි.   


අප විසින් හඳුනාගත් කඳු වැටි 45 ක් පමණ ඇති දුම්බර වනපෙතේ උසම කඳු වන්නේ මේවාය. ගොම්බානිය (මීටර 1906), නකල්ස් (මීටර 1865), යකුන්ගේ ගල (මීටර 1840), අලුගල් කන්ද (මීටර 1809), අලියා වැටුණු ඇළ (මීටර 1667), කිරිගල්පොත්ත (මීටර 1648), දුම්බානාගල (මීටර 1643), තංගප්පුව කන්ද (මීටර 1620), තුන්හිස්ගල (මීටර 1617), සෙල්වා කන්ද (මීටර 1617), රිලගල/ ගෝන්න කන්ද (මීටර 1604), සුදුගල (මීටර 1578), දෝතලු ගල (මීටර 1574), වමාරපුගල (මීටර 1559) කිණිගිර ගල 2 (මීටර 1559) කොබෝනීලගල (මීටර 1556) ගැරඩිගල (මීටර 1545), කන්දසාමිගල (මීටර 1540), පතන්ගල (මීටර 1516) හා හුන්නස්ගිරිය (මීටර 1516) වේ. මීට අමතරව දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කඳු තරණ සඳහා භාවිතා කරන කඳු රාශියක් ඇති අතර ඉන් ලකේගල, යහන්ගල, කෙහෙල් පොත්දෝරුවේගල, උඩ වන්නිමාන, මානිගල, රිවස්ටන්, ලනුමානාගල, නවන්ගල, කරගස්තැන්න, බලගිරිය, මාරටුවේ ගල, කොමලෑවේ ගල සහ කෙලඹුගල සුවිශේෂි වේ.   
අප ප්‍රථමයෙන්ම පිය නැගුවේ නකල්ස් වනපෙතේ උසම කන්ද වන ගොම්බානියා ගිර වෙතය. මේ ගමනේදී අප වර්තමානයේ නකල්ස් ප්‍රේරණ කලාපය තුළ ඇති අවසන් ගම්මාන හරහා ගමන යාමට පටන් ගනු ලැබුවේ උදැසනමය. තවද වැසි රහිත කාලය අප විසින් තෝරා ගනු ලැබුවේ මෙම පොකුරු කඳු පන්තිය වර්ෂයේ බොහෝ කාලයක් මුළුල්ලේ මීදුමෙන් වැසී පවතින හෙයිනි. බොහෝ විට මෙම පොකුරු කඳු පන්තිය සවස 3 පමණ පසුවන විට තද මීදුම් කෝඩයකින් වැසෙන අතර ඇතැම් විට හිමිදිරි පාන්දර සිට මධ්‍යහනය දක්වාද එය පැවතිය හැකිය.   


මහනුවර කටුගස්තොට හරහා මඩවලට පැමිණ බඹරැල්ල පාර හරහා පන්විල පසුකොට හුළුගඟ ගම්මානයට පැමිණියේ සීතල මීදුම් කෝඩය අතරිනි. වර්ෂා ජලයෙන් හොඳ හැටි පොහොණ වු හුළුගඟ ඇල්ල ප්‍රධාන මාර්ගයෙ පහළින් ඝෝෂාකාරිව වැටෙන්නේ ඒ දෙස බලන කාගෙත් නෙත් සිත් වසඟ කරවමිනි. ඒ අසල වූ කුඩා මාර්ගයෙන් අලකොළ වතුයායට පිවිසීමට අප සූදානම් වූයේ අද දවසේ ගමනේ ඇරඹුම එම වතුයායේ කෙළවර වන හෙයිනි.   
අලංකාර විසල් තුරුලතා යට සැදුණ පටු මාර්ගයේ ඇති දුෂ්කරතාවය මගහැරීමට තරම් අවට පරිසරය සුන්දරත්වයෙන් අනූන විය. තේ වතු අතරින් තේ නෙළන කතුන් සේම සුදු පිරුවට හැඳ මිරිවැඩි පැළඳ පාසල් යන්නට පියනගන ළමෝ තේ පඳුරු අතරින් වැටී ඇති අඩි මාර්ග තුළ අප දුටුවේ කොක්කුන් රෑනක් පරිද්දෙනි. අප වතුයායේ කෙළවරට ගොස් එහි වු රත්නතැන්න දොළ අසල ගිමන්හල ලගින් නැවතුනේ සින්නෑ එනතුරුය.   

 

රත්නතැන්න ගිමන් හල

 


‘‘මහත්තය, ඉස්සර මේ පැතිවල හිටියේ එනසල් වාඩි කරපු මිනිස්සු. මෙතනින් එහාටත් ​ඉස්සර තේ වතු තිබුණා. එනසාල් වගාව හරියට මේ පැත්තේ තිබ්බා. ගොම්බානිය කන්දට යන අඩිපාර පුරාවට ඉස්සර මිනිස්සු වැඩකළා. එහි රක්ෂිතය අධිරක්ෂිතයක් කළාම ඒ පැත්තේ මිනිස්සුන්ව හුලුගඟ, බඹරැල්ල, ලෙබනන් වත්ත වගේ පැතිවල පදිංචි කෙරෙව්වා. එ්ත් තවමත් ඔහේ කැලේට වැදිලා එනසල් තියෙනවා. අපේ සමහර මිනිස්සු හොරෙන් ගිහින් එනසාල් කඩාගෙන එනවා. මොකද කිලෝවකට හොඳ ගානක් හම්බ වෙනවනේ. අනික මේ පැතිවල හෝටල් වැඩි වෙන්න පටන් ගත්තම සුද්දෝ එන්න එන්න වැඩි වුණා. දැන්නම් කැලේ අත්හැරලා තියෙන්නේ ‘සින්නාගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.   
අප ක්‍රමයෙන් ගොම්බානියා කන්දට යන මාර්ගයට පිවිසුණේ අවශේෂ වී තිබෙන අඩි මාර්ගය ඔස්සේය. හිරු රැස් ක්‍රමයෙන් තුරු වියන් මතට වැටී ගස් අතරින් එළිය දෙන්නට වූ අතර විශාල එළිමහන් ප්‍රදේශයක් පසුකරන්නට වූ අප ඈත තියාම ගොම්බානිය දැක ගත්තේ වාසනාවකට මෙනි. පසෙකින් යකුන්ගේ ගලත් ඈතින් හුන්නස්ගිරිය, කැලැ බොක්ක ආදි ප්‍රදේශත් දක්නට ලැබුණ අතර එළිමහන් මාර්ගය වනවැදී තිබුණි. ගූගල් සිතියම් උපයෝගී කරගෙන අප වනය තුළ සැරිසරන්නට වූයේ විටින් විට හමු වූ දිය කඩිති මතින් පනිමිනි.   


තනියට මග නොහරින කූඩැල්ලන් හෙමි හෙමීට කකුල්වල එල්ලෙන්නට වූ අතර ඝන වන පියසට අවතීර්ණ වූ අප අත්දැක්කේ කඳුකර තෙත් කලාපීය ලක්ෂණයි. නෙලු ශාක ව්‍යාප්තියක් තිබූ එම වනපෙතේ විශාල ගස් සියල්ලෙම පාහේ පාසි බැඳී තිබුණි. ඒවා අධික තෙත් සහිත බව නිසාම කාලාන්තරයක් මුළුල්ලේ වනයට අනුගත වූ ඒවා වූ අතර හිරුකිරණ තිබුණද වනයේ වූ තෙත්ගතියේ කිසිදු අඩුවක් අපට දක්නට නොලැබුණි.   


හෝරා දෙකක් පමණ පසුවන විට අප එනසාල් වගාවක් දුටු අතර පීදීගෙන තිබූ ගෙඩිවලින් සමහර ගස් ඵලබරව තිබුණි. එනසල් වගාව තිබූ ඉසව්වේ කිසිදු යටි රෝපණයක් නොතිබූ අතර ප්‍රදේශය ගුප්ත හා අඳුරු බවකින් යුක්තව තිබුණි. කෙසේ හෝ අප යකුන්ගේ හෙල කපොල්ල අතරින් ගොම්බානියා කඳු වැටියේ එක් කෙළවරකට පැමිණියෙමු. ගොම්බානියා කන්ද මුහුදු මට්ටමේ සිට මීටර 1906 ක් පමණ උස වන අතර එය නකල්ස් රක්ෂිතයේ උසම කන්දයි. තවද එය ලංකාවේ කඳු අතර උසින් 41 වැනි ස්ථානයේ පසු වන අතර මෙය කඳු වැටි කිහිපයකින් සමන්විත කන්දක් වේ.   


නකල්ස් රක්ෂිතය තුළ ඇති මීමුරේ, කරඹකැටිය, කුඹුක්ගොල්ල, දන්දෙනි කුඹුර, ගල මුදුන, උඩගල් දෙබොක්ක, තංගප්පුව වැනි ගම්මාන තවමත් අතිශය සාම්ප්‍රදායික ගම්මාන ලෙස පවතින අතර හේන් ගොවිතැන සහ වී ගොවිතැන සේම අක්කර කිහිපය බැගින් ඇති පුද්ගල තේ වගාවන් සිදු කරනු ලබයි. ඊට අමතරව පොත්තටවෙල ඇටන්වල, රඹුක් ඔළුව, නාරංගමුව, රණමුරේ, කළුගල, ලුල්වත්ත, දෙහිගොල්ල, බඹරැල්ල, ගෝමරය, කබරගල, ගැරඬිගල, උඩ ඉලුක, රත්නින්ද වැනි දුෂ්කර ගම්මානවල පවතින සුන්දරත්වය වචන කළ නොහැකි තරම්ය.   

 

යටි රෝපණයක් සහිත වන පියස

 


ගොම්බානිය කඳු වැටියේ කඳු වැටි අතරින් ගමන්කළ අප එහි මුදුනට ළඟාවූයේ ඊට අසල්වැසි වන යකුන්ගේ හෙල මහා ප්‍රපාතයේ උපත ලබා ගලන තෙල්ගමු ඔයද නරඹමිනි. සුදුගල, කිරිගල්පොත්ත අසල්වැසි වන ගොබ්බානිය විශාල ගල් පර්වතයකි. කඳු මුදුනේ කුඩා පතන් තිබුණද වැඩි හරියක වූයේ කුරු ශාක පමණි. නකල්හි බොහෝ කඳු මුදුන්වල අැත්තේ කුරු ගස් පමණි. මන්ද එවා නකල්ස් කලාපයේ නිරන්තරයෙන් පවතින දැඩි සුළගට ඔරොත්තු දෙන පරිදි සැකසී ඇති හෙයිනි. කුරු/ පිග් මී ගණයට වැටෙන එම ශාක ඉතා ශක්තිමත්ය. මිදුම බාන්නට සැරසෙන අහස් කුස අතරින් අප ඇටන්වල සහ නැතිවී ගිය ලංකාවේ කුඩාම ගම්මානය වන වල්පොලමුල්ල පිහිටි ඉසව්ව දැක ගත්තේ ලාහුමානාගල කඳු පන්තිය අතරිනි.   


යටි රෝපණ වගාව ගිල දමන එනසාල් වගාව හේතුවෙන් නැතිවී යාමට තිබූ සුන්දර වන පියස දැන් දලු ලා වැඩෙමින් පවතියි. ගැමියන් තමන්ට හිමි බිම්කඩේ නිදහසේ ජිවිකාව කරගෙන යයි. දුම්බර වන පියසේ සෞන්දර්යය දැකීමට කැලය තුළට යා යුතු අතර එහිදී අප හැකි සෑම විටම පරිසරයට හානියක් නොකිරීමට බලා ගත යුතුය. ගොම්බානියා කඳු මුදුනට ගියවිට අප අලකොලවත්ත ඇතුළු ගම්මාන ප්‍රදේශ දුටුවේ ඉතාමත් ළඟින් මෙනි. ඉන් පැහැදිලිවන්නේ අතීතයේ ජනාවාස මේ අහල පහළම තිබූ බවයි. කෙසේ හෝ මෙම ඉසව්වේ එතරම් නටබුන් වූ ගොඩනැගිලි අපට දක්නට නොලැබුණි. නමුත් සින්නා විසින් කියනලද අතීත කථාවන් හි යථාර්ථය අපි දුටුවෙමු.   


ලබන සතියේ - තංගප්පුවේ අලිය කන්දේ සැඟවුණු රහස් සොයා   
සැලකිය යුතුය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් නොමැතිව රක්ෂිතයට ඇතුළුවීම තහනම් වේ.   
සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු   



අදහස් (0)

​තේවතු එනසාල් වතු අතර සැඟවුණු ගොම්බානියා වැටිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site