ඩබ්ලිව්.ඒ. අසේල
අද දින (17) ඇදිරි නීතිය නිසා ප්‍රවාහන පහසුකම් නොමැතිකමින් ටියුබයක නැගී වික්ටෝරියා ජලාශය තරණය කර ජල පොම්පාගාරයක මුර සේවයට ගිය විශ්‍රාමික හමුදා සෙබලෙකු ජලාශය මැදදී ටියුබය පුපුරා යාම නිසා දියේ ගිලී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර ගුරුදෙණිය ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක් වන දෙදරු පියෙකි.
ඔහු පල්ලෙකැලේ පිහිටි ජල පොම්පාගාරයක මුරකරුවෙකු ලෙස සේවය කර ඇති අතර පසුගිය දින කිහිපයේදී වාහන ටියුබයක නැග ජලාශය හරහා තම සේවා ස්ථානයට ගොස් ඇත. ඊයේ දින සවස (16) සේවයට ගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණිනි නිසා ඔහුගේ බිරිද ඒ පිළිබඳව අද උදෑසන (17) සේවා ස්ථානයෙන් විමසා ඇත.
එවිට ඔහු ඊයේ දින සේවය සඳහා වාර්තා නොකළ බව සේවා ස්ථානයෙන් දන්වා ඇත.
මේ පිළිබදව බිරිද විසින් තලාතුඔය පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව තලාතුඔය පොලීසියේ නිලධාරින් විසින් සිදුකල පරීක්ෂණ අනුව ඔහුගේ පාවහන් යුගල හා හුලං ගිය ටියුබය ගං ඉවුරේ තිබී හමුවී ඇත.
ඒ අනුව අද සවස මහනුවර පොලීස් ජීවිතාරක්ෂක අංශය මගින් ජලාශයේ කිමිදුම් කිරීමේදී මියගිය මොහුගේ සිරුර හමුවී ඇත.
මෘත ශරීරය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය මහනුවර මහ රෝහල වෙත බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ කැපකිරීම අගය කළ යුතුයි. නිවන් සුව ලැබේවා!
සෙබලාගේ සේවය ඇගයීමකට ලක් කල යුතුයි. රාජකාරිය අකුරටම ඉස්ට කරන පුද්ගලයෙක් .ඔහුට නිවන් සුව පතමි.
ටියුබ් එකක නැගල යනවනම් හොඳට පීනන්න පුළුවන් වෙන්න ඕනැ. ආරක්ෂක කබායක් නැත්නම් වතුරේ පාවෙන අඟල් 6 x අඩි 4 විතර ලී කොටයක් ඇදගෙන ගියානම් ඒකෙ එල්ලිලා පණ බේරගන්න තිබුණා.