(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මත්තේගොඩ පොලිස් ස්ථානයේ තිබූ නයින් එම් එම් වර්ගයේ රාජකාරී ගිනි අවියක් අද (13) අස්ථාන ගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
උප සේවා රාජකාරී භාර ගැනීමට නියමිතව සිටි නිලධාරියා සේවා ලේඛනයට අනුකූලව ආරක්ෂිත පෙට්ටියේ ගිනි අවිය තිබේදැයි පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය නොමැති බව මුලින්ම අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියා කීය.
ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට දැන්වීමෙන් පසු අනෙකුත් නිලධාරීන් ද දැනුවත් කර පොලිස් ස්ථානය තුළ සහ භට නිවාසද දැඩි පරීක්ෂාවට ලක් කර සොයා බැලුවද සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (12) අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ අත්අඩංගුවට ගත් මත්තේගොඩ පොලිස් කොස්තාපල්වරයා සතුව රුපියල් 73,000 ක මුදලක් තිබී ඇති අතර එතරම් මුදල් ප්‍රමාණයක් සැකකරු සන්තකයට පත්වුයේ ගිනි අවිය අලෙවි කිරීමෙන් ද යන්න සැකයක් හටගෙන ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
COMMENTS