(චන්දන ප්‍රනාන්දු)      
                                                    
ජංතුරාවෙල ප්‍රදේශයේ මාඔයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි කැපීමේ ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා  බෝට්ටු 7 ක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.                                                                                                 
මාඔයට හානිකර ආකාරයෙන් බලපත්‍ර නොමැතිව වැලි කැපීම් සිදුවන බවට ලැබුණ තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදි එහි සිටි පුද්ගලයන් පිරිසක් මාඔයෙන් එගොඩට පිහිනා පලාගිය බවත් පොලිසිය කීය.       

                                      
මෙම බෝට්ටු භාවිතා කර සෑම දිනකම අලුයම 2 සිට වැලි ගොඩ දැමීම් කර ඇති බවත් එක් බෝට්ටුවකින් වැලි කියුබ් 3 ක් පමණ දිනකට ගොඩට ගෙන එන බවට තොරතුරු හෙළි වූ බවත් පොලිසිය කීය.         

 
ජංතුරාවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් මෙන්ම පිටස්තර පුද්ගලයන්ද මෙම ජාවාරමට හවුල් වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බැවින් ඔවුන්ව සොයා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසීය.                                                                                              
බෝට්ටු කිහිපය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.