




(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම ඇරෑවුල වෙල්යායේ විශාල කුඹුරු ප්‍රමාණයක රුක් මල් පිපී තිබෙන අයුරු දැකගත හැකිය.
වී අස්වැන්න නෙලීමට ආසන්න කාලවකවානුව එද්දී වී වගාවේ රුක් මල් පිපෙන බව අතීත පැරැන්නෝ සඳහන් කර තිබේ.
එයින් කියවෙන්නේ ඉතා සාර්ථක අස්වැන්නක් ලැබෙන විට වී වගාවේ රුක් මල් පීදෙන බවයි.
එහෙත් කණ්ඩලම ඇරෑවුල ගොවින් පවසන්නේ සාර්ථක අස්වැන්නක් ලැබී ඇති නමුත් එයින් විශාල වශයෙන් අස්වැන්නට හානි පමුණුවමින් මෙම රුක්මල් පීදීම සිදුව තිබෙන බව යි.
දිනෙන් දින තම ප්‍රදේශයේ තම වගා බිම් ප්‍රදේශවල විශාල වශයෙන් ගොයම් වගාවේ රුක්මල් පීදීම හේතුවෙන් ගොවීන්ගේ අස්වැන්න අඩු වී ගොවීන්ට හානිදායක තත්ත්වයක් මතුවෙන බව ඇරැවුල ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් ගොවි නියෝජිතයන් සිය වගාබිම් පෙන්වමින් කියා සිටියේ තම ගොවිබිම්වල මීට පෙර මෙයාකාරයෙන් රුක්මල් තිබෙනු දැක නොමැති බව යි. වී ඇටය බොල්වී කහ පැහැ ගැන්වී සහ කළු පැහැයට හුරුව විනාශ වී යන බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් විමසුව ද නිසි පිළිතුරක් නොමැති වීම නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොදු තොරතුරු දැනගැනීමේ දුරකථන අංකයෙන් ගොවින් විසින්ම විමසීමේදී දැනුම් දී ඇත්තේ රුක්මල් පීදීම සාමාන්‍යයෙන් අස්වැන්න වැඩි වෙද්දී සිදුවන ඉතා දුර්ලභ අවස්ථාවක් බවයි.
එහෙත් මෙවර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විශාල වශයෙන් වගාවන්වලට පැතිර යන බව සහ ඊට විසඳුමක් මෙතෙක් සොයාගෙන නැති බව ගොවීන්ට දැනුම්දුන් බව කියති.
කෙසේ වෙතත් රුක්මල් නම බොහෝ දෙනා අසා තිබුණත් රුක් මල් පිපුණු කුඹුරු යායවල් දැකගැනීමට ඇත්තේ ඉතාමත් දුර්ලභව බව සඳහන්ය. පැරණි ගොවීන් පතපොත මෙන්ම කවියට ගීතයට පවා නගා ඇත්තේ රුක්මල් පිපීම ගොවියාගේ වාසනාවකට සිදුවන දෙයක් බවයි. කෙසේවෙතත් මෙම රුක් මල් පිපීම දිලීර රෝගයක් බව කෘෂිකර්ම උපදේශකවරු පවසති. එහෙත් අස්වැන්නේ විශාල අඩුවක් සිදු නොවන බව ද කියති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd