IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අලි මිනිස් ගැටුමට මාස දෙකකින් විසදුම් ඕනෑයි කෝප් කමිටුවෙන් නිර්දේශ

මේවන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසදීම සදහා ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකසා මාස දෙකක් තුළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අලිමිනිස් ගැටුමට අදාල විසදුම් සෙවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ, ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේවන විට ජනාධිපතිවරයාට පිළිගන්වා තිබේ. ඊට අමතරව විද්වත් කමිටුවක් විසින් 2006 වසරේදි අලි මිනිස් ගැටුම විසදීමට අදාලව සැකසූ  ජාතික ප්‍රතිපත්තිය ද  සමාලෝචනය කොට  මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස්කරන ලෙස කෝපා කමිටුව දැනුම්දුන්නේය.

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් පසුගිය දෙසැම්බර් 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය. එබැවින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, නිරෝෂන් පෙරේරා බී.වයි.ජී රත්නසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ජනාධිපතිවරයාට පිළිගැන්වූ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක්  මෙහි සමස්ත වගකීම ලබාදිය නොහැකි බවත් ඒ සදහා ජනතාවගේම මූලිකත්වයෙන් ‍අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය වැනි ආයතනවල දායකත්වයෙන් විදුලිවැට ඉදිකිරීම සහ නඩත්තු කිරීම සිදුකළ යුතු බවත් මෙහිදී අනාවරණය විය. තවද ප්‍රජාමූලික ග්‍රාමිය විදුලි වැට සහ වගා කරන කාලයට පමණක් ක්‍රියාත්මක විදුලි වැට විකල්ප යෝජනා ලෙස මෙම නිර්දේශවල අන්තර්ගතව ඇත.

දැනට ක්‍රියාත්මක කරන අලි පැන්නීම වැනි සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග වසර 50කට ආසන්න කාලයක් තුළ  අසාර්ථක වී ඇති බව අලිමිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන  ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේය.  ඒඅනුව ප්‍රජා දායකත්වය සහ අදාල ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබාගෙන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අලිවැට සහිත ප්‍රදේශ මේවන විට පවතින බවත් එවැනි සාර්ථක ක්‍රමවේද අනෙකුත් ප්‍රදේශවලටද ගැළපෙන පරිදි යොදා ගැනීමෙන් මෙම ගැටලුව අවමකරගත හැකි බවත් කමිටුව නිරීක්ෂණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ අලිවැට ඉදීකිරීම , එල්ලෙන වැට ඉදිකිරීම , අලි අගල් කැපීම , අලින් පලවා හැරීමට දායක වන මීමැසි පාලනය යනාදී වැඩසටහන් මේවන විට ක්‍රියාත්මක කරන බවයි. වනජීවි දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක සංඛ්‍යාව  1500කට ආසන්න වන බවත් ඉන් අලිවැට සම්බන්ධව කටයුතු කිරීම‍ට ඇත්තේ ඉතා සීමිත සේවක සංඛ්‍යාවක් බැවින්  බිම්මට්ටමේදී කටයුතු කිරීමේදී ගැටලු රැසක් මතුවන බවද මෙහිදී අනාවරණය විය.

තවද ඇතැම් ප්‍රදේශවල ගම්වැසියන් අලිවැට තමන්ගේ භූමියේ සීමාවක් සේ සලකා එය ඉදිකිරීම ප්‍රතික්ෂේප කරනබවද ඇතැම් ප්‍රදේශවල අලිවැ‍ටෙහි බැටරිය සොරකම් කිරීම් වැනි පුවත්ද වාර්තා වන බව මෙහිදී සාකච්ඡා විය.

කෙසේවෙතත් කමිටුව මෙහිදී අවධාරණය කළේ ගම්වැසියන් දැනුවත්කිරීම තුළින් ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ‍මෙම අලිවැට ඇතුළු කාරණා සදහා ලබාගත යුතු බවයි.දැනට අක්‍රීයව පවතින ගජමිතුරෝ වැනි ප්‍රජා සංවිධාන නැවත වහාම පණ ගැන්වීමට කටයුතු කරන ලෙසද කමිටුව දැනුම් දුන්නේය.තවද අදාල සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,ග්‍රාම නිලධාරීන් ඇතුළු පාර්ශවකරුවන්ගේ දායකත්වය මේ සදහා ලබාගතයුතු බවත් ගම්වැසියන් සමග වඩාත් සමීපව කටයුතු කිරීමේ වැදගත්කමද කමිටුව පෙන්වා දුන්නේය.

මේවන විට අලි මිනිස් ගැටුම විසදීමට අදාල යෝජනා ප්‍රතිපත්ති ලේඛනවල තිබුණද ඒවා බිම්මට්මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම විශාල ගැටලුවක් බවත් කමිටුව පෙන්වා දුන්නේය.

මීට පෙර අලි මිනිස් ගැටුමට අදාල නිර්දේශ ලෙස පැවති අලි රක්ෂිත සහ අලි කොරිඩෝ  ඉදිකිරීම නිසි පරිදී සිදු නොවීම, අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විෂය නිර්දේශයට මෙම ගැටලුවට අදාළ කරුණු මේවන තෙක් ඇතුළත් නොවීම, විදුලි වැට නිසි ප්‍රමිතියෙන් තොරව  ඉදිකිරීම වැනි විගණන විමසුම් පිළිබදව ද කමිටුවේ අවධානය යොමුවූ අතර ඒ පිළිබද කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.

වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්,රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්,වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.



අදහස් (0)

අලි මිනිස් ගැටුමට මාස දෙකකින් විසදුම් ඕනෑයි කෝප් කමිටුවෙන් නිර්දේශ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 657 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site