(බිඟුන් මේනක ගමගේ)

 
හම්බන්තොට ලුණු ලේවායේ පැවැති සේවක උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට කිසියම් පිරිසක් බැණ තර්ජනය කරනු ලැබීමේ සිදුවීම තරයේ හෙළා දකින්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
මාධ්‍යවේදී රාහුල් සමන්ත මහතා සී.අයි.බී (1) 392/228 යන අංක යටතේ හම්බන්තොට මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇතැයි ද එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් මෙසේ තමන්ට පහර දීමට තැත් කළ බවට ඔහු එහි සටහන් කර ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
පැමිණිල්ල සටහන් කළ අවස්ථාවේදී පොලිසිය සිදුවීම ගොඩින් බේරාගන්නැයි තමන්ට පැවැසී යැයි රාහුල් සමන්ත මහතා ප්‍රකාශ කළ බව ද එහි සඳහන් වේ.
 
එමනිසා මාධ්‍යවේදීන්ගේ වෘත්තිය කටයුතු නිදහසේ කරගෙන යෑමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් හැටියට මෙම සිදුවීම සලකන්නේ යැයි ද සියලු මාධ්‍යවේදීන්ට නිදහසේ හා බාධාවකින් තොරව සිය වෘත්තිය කටයුතු කරගෙන යෑමට සහයෝගය දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.