IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘යුද්ධය නිමා කළ ජනපතිට නවකවදය නතර කිරිම ලොකු දෙයක් නොවේ’

(විනීතා එම් ගමගේ)

තිස් වසරක් තිස්සේ ඇදෙමින් පැවැති මිනීමරු යුද්ධයක් නතර කරගන්නට හැකියාව තිබු ගෝඨාභය රාජපක්ෂ මහතාට නවකවදය නතර කිරීම එතරම් ලොකු දෙයක් නොවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

නවක වදය සම්පූර්ණයෙන්ම තුරන් කර නිදහස් අධ්‍යාපනය ලබන්නට දරුවන්ට අවස්ථාව දිය යුතු යැයි කී අමාත්‍යවරයා නවකවදය නිසා වසරක දී ශිෂ්‍යයින් 2000ක් විශ්ව විද්‍යාල හැර ගොස් ඇතැයි ද සඳහන් කළේය.

නවකවදය නවත්වා ගන්නට ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාව නවක වදයේ වින්දිතයන් සඳහා සහන සැලසීමට විශ‍්‍රාමික විනිසුරුවයකුගේ ප‍්‍රධානත්වයෙන් සත් පුද්ගල විමර්ශන කමිටුවක් පත් කර ඇති බවත් එවැනි සිද්දීන්ට ගොදුරු වූ මෙන්ම නවකවදය පිළිබඳ තොරතුරු දන්නා  ඕනෑම අයකුට මේ සම්බන්ධව අදහස් පළ කළ හැකි බවත් එම තොරතුරු වල රහස්‍ය භාවය හෙළි නොකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ සම්බන්ධව ජාතික පුවත්පත්වල අද (10) දැන්වීමක් පළ කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවේ දී විවෘත විශ්ව විද්‍යාලය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉකුත් දෙසතියේ නළියන පොපියන යම් වැඩ පිළිවෙලක් ඇතැයි පෙනී ගිය බැවින් තමන් පෙරවරුවේ එහි ගිය බව පැවැසීය.

සම්ප‍්‍රදායික විශ්ව විද්‍යාල පද්ධතියෙන් බැහැරව ඇති කළ විවෘත විශ්ව විද්‍යාලය  ඕනෑම අයකුට උපාධියක් දක්වා යන්නට මගක් වන බව ද මේ වනවිටත් 30,000 කට ආසන්න පිරිසක් එහි උපාධි පාඨමාලා හදාරන බව ද  අමාත්‍යවරයා සඳහන් කළේය.

එහි කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන දෙකක් අවශ්‍ය යැයි ද එහි අයකරන ගාස්තුවලින් මෙම මුදල සොයා ගැනීමට නොහැකි යැයි ද පෙන්වා දුන් ගුණවර්ධන මහතා 2019 වසරේ දී වැටුප් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 600 ක් අඩුවෙන් බව ද පැවැසීය. 

එහි ගිය බැවින් එම ප‍්‍රශ්නය හෙළි කරගත් බවත් එම ප‍්‍රශ්නවලට වහා විසඳුම් සොයන බවත් ඔහු කියා සිටියේය. විදේශවලට ඇදී යන විදේශ විනිමය මෙරට ඉතිරි කරගන්නට මෙම විශ්ව විද්‍යාල උපකාරි වන්නේ යැයි ද මෙම විශ්ව විද්‍යාල අකර්මණ්‍ය කිරීමෙන් විදේශ විශ්ව විද්‍යාලවලට යන්නට පාර කැපෙන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම සඳහා අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය මේ මස 20 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව කී අමාත්‍යවරයා එම අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය මේ මස 14 වැනිදා ලෙස මීට පෙර ප‍්‍රකාශයට පත් කර තිබු නමුත් එය 20 වැනිදා දක්වා දිර්ඝ කළ බව ද පැවසීය.

මේ සඳහා අයදුම්පත් www.presidentoffice.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට, පදිංචි ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයාගෙන් සහ සාමදාන විනිශ්චයකාරවරයකුගෙන් සහතික කර තැපැල් දෙපාර්තමේන්තුවේ අධිවේගී තැපෑලේ කුරියර් සේවාව ඔස්සේ  ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අයදුම්පත් එවිය යුතු යැයි ද මේ පිළිබඳ වැඩි විස්තර 011 2433261 අංකයෙන් ලබාගත හැකි යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය හෝ උපාධියට සමාන පිළිගැනීමක් ඇති ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර වසරකට වඩා කාලයක් ගතවී ඇති අයට  පමණක් මෙම රජයේ රැකියා අවස්ථාව හිමිවන බවත් ඔවුන්ට වසරක් යන තුරු නායකත්ව පුහුණුව හා රැකියා පුහුණුව ලබා දෙන බවත් කී ගුණවර්ධන මහතා එම කාලය තුළ ඔවුන්ට හිමිවන්නේ රුපියල් 20,000 ක දීමනාවක් පමණක් යැයි ද කියා සිටියේය.

වසරකින් පසු ඔවුන් රැකියාවෙහි ස්ථිර කරන බවත් එසේ ස්ථිර කළ ස්ථානයේ වසර පහක් සේවය කරන බවට ගිවිසුමකට එළැඹිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට රැකියා විරහිත උපාධිධාරින් 55,000 ක් 60,000 ක් අතර ප‍්‍රමාණයක් සිටිතැයි ගණන් බලා ඇතැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දු ප‍්‍රකාරව කටයුතු කර ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.



අදහස් (0)

‘යුද්ධය නිමා කළ ජනපතිට නවකවදය නතර කිරිම ලොකු දෙයක් නොවේ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site