IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ලෝමාලිකා

පොතක මතක 24

 

 

'යුවතියන් දෙදෙනා සාමාන්‍යයෙන් හැඳින්වුණේ බැන්ෆර්ඩ් සහ මාච් යන ඔවුන්ගේ වාසගම්වලින්ය. දෙදෙනා එකතු වී මේ ගොවිපොළ රැගෙන තිබුණේ එහි සියලු වැඩක් ම තම තමන්ම කරගන්නා අටියෙනි. ඔවුන් සිතාගෙන සිටියේ කුකුළන් ඇති කරන්නටත් කුකුළන් හා බිත්තර වෙළෙඳාමෙන් ජීවනෝපාය සාදාගන්නටත්, මදි පාඩුවක් වුවහොත් එය පිරිමසා ගැනීම සඳහා එළදෙනක තබා ගන්නට හා තවත් වැසි පැටවුන් එකෙකු දෙන්නකු හදන්නටත් ය. අවාසනාවකට මෙන් ඔවුන් සිතා සිටි සියල්ල මැනවින් සිදුවූයේ නැත.

බැන්ෆර්ඩ් කෙසඟ කුඩා සිරුරැති මෘදු මොළොක් ගති ඇති උපැස් පලන්  යුවතියකි. මාච්ට එතරම් මුදල් හදල් නොතිබුණු හෙයින් ප්‍රධාන ආයෝජිකාව වූයේ බැන්ෆර්ඩ් ය. ඉස්ලිංටන් හි කඩකාරයකු වූ බැන්ෆඩ්ගේ පියා තම දියණියන්ට මේ ගොවිපොළ ආරම්භ කරන්නට අත දුන්නේ ය. ඔහු එසේ කළේ ඇය ලෙඩා දුකා බව සලකාත් තමා තුළ ඈට තිබූ ආදරය නිසාත් ඇය විවාහයක් කරගන්නට යන බවක් පෙනෙන්නට නොතිබුණු  බැවිනුත්ය. මාච් නම් මනා සෞඛ්‍යයෙන් යුතුය එය ඉස්ලිංටන්හි සන්ධ්‍යා පන්තිවලට ගොස් වඩු වැඩ හා වැද්දුම් පිරිද්දුම් ඉගෙන ගෙන තිබුණාය. මේ ස්ථානයේ පිරිමියා ලෙස කටයුතු කරනු ඇත්තේ ඇයයි. තවද ආරම්භයේ දී බැන්ෆඩ්ගේ මහලු සීයා ඔවුන් සමග වාසය කළේ ය. ඔහු කලින් ගොවිකමේ යෙදී සිට ඇත එහෙත් අවාසනාවක හැටි! බේලි ගොවිපොළේ අවුරුද්දක් වාසය කිරීමෙන් පසු මහලු මනුස්සයා මිය ගියේය. එවිට යුවතියෝ දෙදෙනා තනි වූහ.

දෙදෙනාගෙන් එක්කෙනෙක් වත් එතරම් තරුණ නොවූවාය. ඔවුහු තිස් වියට කිට්ටු කර සිටියහ. එහෙත් ඔවුහු නිසැකවම තලතුනාද නොවූහ. ඔවුන් තම ව්‍යවසාය ආරම්භ කළේ ඉතා ධෛර්ය සම්පන්නවය.'

ඒ ලෝමාලිකා නම් පරිවර්තිත නවකතාවේ ආරම්භක ඡේද යි. 

ලෝමාලිකා යනු ඉංගිරිසි ලේඛක ඩී.එච්.ලෝරන්ස් (1885 -1930) විසින් 1922 දී රචිත The Fox  නම් කෙටි නවකතාවේ සිංහල පර්වර්තනයයි. ලෝමාලිකා යන සිංහල වදනෙන් හැඟවෙන්නේ නරියා ය.

ඩී.එච්. ලොරන්ස් යනු නවකතා, කෙටිකතා, නාට්‍ය, සාහිත්‍ය විචාර, දේශාටන චාරිකා සහ නොයෙකුත් මාතෘකා ඔස්සේ ලියැවුණු ලිපි යනාදිය විශාල සංඛ්‍යාවක් රචනා කළ ප‍්‍රකට සාහිත්‍යධරයකු මෙන්ම  සිත්තරකු වශයෙන් ද සමත්කම් පෑවෙකි.

වර්තමානයේ සම්භාවනාවට පාත‍්‍ර වුව ද ලෝරන්ස් ඔහුගේ සමයේ හැඳින්වුණේ දක්ෂිණාංශික ද්‍රෝහියකු වශයෙනි. මේ නිසා එසමයේ ඔහුගේ කෘතිවල සාහිත්‍යමය වටිනාකම් සාකච්ඡාවට බඳුන් නොවූ තරම් ය. ඔහුගේ 'Lady Chatterly's Lover' නම් නවකතාව මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ය. පහත් ගණයේ අශ්ශීල එකක් හෙයින් එය තහනම් කළ යුතු ය’යි ඉල්ලා අමෙරිකානු අධිකරණයක් ඉදිරියේ නඩුවක් පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව අධිකරණය විසින් චෝදනාවලින් එය නිදහස් කරන ලදී. දැන් නම් ඔහුගේ Sons and Lovers (1913) සහ The Rainbow (1915) නූතනවාදී නවකතා අතර ප‍්‍රමුඛස්ථානයක ලා ගැනේ.

ලෝමාලිකා කතාව සැකෙවින් මෙසේ ය:  

බේලි නම් කුඩා ගොවිපොළ පවත්වා ගෙන යනු ලබන්නේ භද්‍ර යව්වනය ඉක්මැවූ සිය මුල් නමින් නොව වාසගමින් දන්නා මාච් සහ බැන්ෆර්ඩ් නම් යුවතියන් දෙදෙනෙකු විසිනි. පිරිමි ඇඳුමින් යුතුව නිතර සිටින ළාමක සිතැති මාච් කයින් නිරෝගී ය. බැන්ෆර්ඩ් අළාමක ය. එහෙත් අබල ගතින් යුතු ය. ගොවිපොළට අවශ්‍ය මූල ධනය සපයා ඇත්තේ බැන්ෆර්ඩ්ගේ පියා ය. එහි වැඩවලින් පහෙන් හතරක් පමණ කරන්නී මාච් ය. එහෙත් මොවුන් දෙදෙනාට ම ගොවිපොළ පාලනය ගැන කිසිදු අවබෝධයක් නැත.

ගොවිපොළේ කිකිළියන් කන්නට නරියෙක් එයි. මාච් තුවක්කුවත් රැගෙන කෙතරම් උත්සාහ කළ ද ඌ මරා දමනු නොසමත් ය. ඇය සිතන පරිදි නරියා සහ තමා එකිනෙකා හඳුනති. දිනක් තුවක්කුවත් රැගෙන නරියා එනතුරු බලා සිටින මාච්ගේ දෙපා අසලම නරියා සිටියි.

‘ඇය දවස් කිහිපයක් යන තුරු ම මේ සිද්ධිය බැන්ෆඩ්ට සඳහන් කළේ නැත. එක් හැන්දෑවක හිටි ගමන් ම ඇය මෙසේ කීවා ය.:

"සෙනසුරාදා නරිය මගේ කකුල් දෙක ළඟට ම ආව නේ!" 

"කොහේ දි ද?" උපැස් පිටුපසින් දෑස් විවර කරමින් බැන්ෆර්ඩ් ඇසුවා ය.

"මම පොකුණ ගාව ම උඩහ හිටගෙන ඉන්න කොට."

"ඔයා වෙඩි තිබ්බ ද?" බැන්ෆර්ඩ් හඬ නැගුවා ය.

"නෑ මම වෙඩි තිබ්බෙ නෑ"

"ඇයි වෙඩි තිබ්බෙ නැත්තෙ?"

"මං දන්නේ නෑ. මගේ හිතේ මම  ඕනවට වැඩිය පුදුම වුණා."’

දවසක සවස තරුණයෙක් හදිසියේ එහි සම්ප‍්‍රාප්ත වෙයි. දොළොසැවිරිදි වියේ දී තමා  සීයා සමග මෙහි ගත කළ බව කියන ඔහු වෘද්ධයා කොහිද’යි ඔවුන්ගෙන් විමසයි. මේ කියන්නේ ඉඩම තමන්ට විකිණු පුද්ගලයා ගැන බව වටහා ගන්නා බැන්ෆර්ඩ් ඔහු කලකට පෙර මිය ගිය බව කියයි. බැන්ෆර්ඩ්ට පෙනෙන්නේ ඔහු තමාගේ බාල සහෝදරයකු ලෙස ය. මාච්ට සිතෙන්නේ ඔහු නරියා බවයි.

රාත්‍රියේ ඔහු ගොවිපොළ නිවස්නයේ අතිරේක කාමරයේ ලැගුම් ගන්නේ තරුණියන්ගේ එකඟත්වය ඇතිව ය. එදින මාච් සිහිනෙන් නරියා දකියි. උගේ වලිගය ඇගේ මුහුණේ ඇතිල්ලෙන අතර ඉන් තොල් පිලිස්සෙයි.

 හෙන්රි නම් මේ නව යොවුන් තරුණයා මාච්ට ඇලුම් කරයි. දින දෙක තුනක් ඔවුන් ඇසුරේ ගත කරන අතරතුරේ දී ඔහු ඒ බව මාච්ට කියයි. එයට විරුද්ධ වන්නට ඇයට නොහැකි ය. එහෙත් ඇය ඍජුවම බහක් නොදෙන්නී ය. මේවා සිදු වන්නේ බැන්ෆර්ඩ් නොදැනුවත්ව නමුත් පසුව ඇයට එය අවබෝධ වෙයි. එවිට හෙන්රි ඒ ගැන ඇයත් සමග කියයි. මෙයින් ඇය කෝපයට පත්වන අතර මාච්ට හා හෙන්රිට වෙන් වෙන් ව දෝෂාරෝපණය කරයි. තමා සමග විවාහ වී කැනඩාවට යන්නට එන ලෙස හෙන්රි මාච්ට බල කර කියයි. හෙන්රි ඉදිරිපිට  එයට එකඟ වන මාච් බැන්ෆර්ඩ්  අබිමුව දෙගිඩියාවෙන් සිටියි.

තමා බැන්ෆර්ඩ්ට ආදරය කරන නිසා ඇය දමා යා නොහැකි බව වරෙක මාච් හෙන්රි හා පවසයි. මාච් හා බැන්ෆර්ඞ් නිදන්නේ එක යහනේ ය. එහෙත් ඔවුන් අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක් ද යන්න සිතා ගැනීම පාඨකයාට භාර ය.  මේ පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වුණු සමයයි. එ සමයේ පිරිමින් යුද බිමට ගොස් සිටි හෙයින් යුවතියන් අතර එබඳු ආදර සබඳතා තිබූ බව විචාරක මතයයි.

හෙන්රි වෙඩි තබා නරියා මරා හම ගසයි. පසු දවසෙක මාච් දකින සිහිනයක දී මිය යන බැන්ෆර්ඩ්  වළලනු ලබන්නේ ඒ නරි සමේ දවටලා ය. ඇගේ මුහුණ කොටස වසනු ලබන්නේ නරි වලිගයෙනි. 

හෙන්රිට මාච් ගෙන යන්නට ඇති එකම බාධාව බැන්ෆර්ඩ් ය. ඇය හෙන්රි අරබයා මාච්ට දොස් නගනු ඔහුට ඇසී තිබේ. ඒ නිසා ඔහු ඇය සමග පසුවන්නේ අමනාපයෙනි. කෙසේවෙතත් ඇයට හානියක් කිරීමේ අභිප‍්‍රායයක් ඔහුට නැත. එහෙත් අහම්බෙන් දවසක හෙන්රි කපන ගසකට යට වී බැන්ෆර්ඩ් මිය යයි. ඇගේ මරණය ගැන හෙන්රි රහසින් සතුටු වෙයි. දැන් මාච් අයිති කැර ගන්නට ඔහුට බාධාවක් නොමැත. ඔවුහු විවාහ වෙති. පසුව ඔවුන් කැනඩාව බලා යනවා ඇත. එහෙත් මාච් සිටින්නී ප්‍රීතියෙන් නොවේ.

' මොකක්දෝ අඩුවක් ඇත. ඇගේ ආත්මය නව ජීවනයෙන් පිපී සැලෙනු වෙනුවට තුවාල වූ කලෙක පරිද්දෙන් මැලවී වැටෙණු ද ලේ ගලනු ද දිස් වෙයි. ඔහුගේ අතෙහි රැඳුණු අතින් යුතු ඇය මුහුද දෙස බලාගෙන බොහෝ වෙලා වාඩි වී සිටින්නී ය. ඇගේ කළුවන් හිස් දෑසෙහි එක්තරා ආකාරයක තුවාලයක් විය. තවද ඇගේ මුහුණ මදක් සුදුමැලි ව දිස් වෙයි. ඔහු ඇයට කතා කළහොත් ඇය ඔහු දෙසට හැරෙන්නේ අමුතු මලානික සිනාවකින් යුතුව ය. එය පැරණි පෙම් කිරීම් ආකාරය තුළ මියගොස් ඇති නව ආකාරයට සපුරා දැක ගත නොහැකි ලියකගේ අමුතු වෙවුලුම් සහගත යන්තම් හිනාවයි. තමා කිසියම් අංශයක තදින් නිරත වී ගැනීම සඳහා මොකක් හෝ කළ යුතු යැයි ඇයට හැඟිණ. එහෙත් කරන්නට කිසිම දෙයක් නොවීය. තමාට තදින් නිරත වී ගැනීමට කිසිම අංශයක් ද නැත. ඔහුගේ අලුත් ප්‍රේමය තමා මත පැටවූ කල් හි එහි ගිලී විසීම ද ඇයට සපුරා පිළිගත නොහැකි ය. තමා ප්‍රේමයෙන් වාසය කරන්නේ නම් කිසියම් අයුරකින් ප්‍රේමයෙන් ම තමා වෙහෙසපත් විය යුතුය.ප්‍රේම කිරීමෙන් තමාම වෙහෙසපත් කර ගැනීමේ අප යුගයේ තෙහෙට්ටුකාරී වුවමනාව ඇයට දැනුණේ ය.  එහෙත් ඇත්ත වශයෙන් ම තමාට ප්‍රේමයෙහි ලා තවදුරටත් වෙහෙස පත්වීමට අවශ්‍ය නොමැති බව ඇයට හැඟිණ. ඔහු කෙරෙහි වෙහෙස පත් ප්‍රේමය ඔහු බාර නොගනු ඇත. එවැන්නක් දකින විට  තම ප්‍රේමය ඔහු කෙරෙහි වෙහෙසවත් කර දැමීමට ඔහුට ඉඩ දෙන්නේ නැත. නැත. තමාට නිෂ්ක්‍රීය වීමට, අනුදැන කැමති වීමට, ප්‍රේමය මතුපිට යන්තමින් ගිලී වසන්නට සිදුව ඇත තමා බෝට්ටුවෙන් ගොඩ බසින විට දුටු සදාකාලිකව දිය යට කෝමලව සසල වන, තම සියලු මුදු ලලිත තන්තුක හා දිය දහර මතට දයාලූ ලෙස විදාහළ නිල් සිසිල් සෙවනලු වතළ මුහුදු ගැබ තුළ දී  අත්‍යන්ත සංවේදී හා සම්ප්‍රතිග්‍රාහක ජීවිතාන්තය තෙක් කිසි කවරදාකවත් ජලයට උඩින් නැගී නම් නොබලන, ඒ මුහුදු පැළෑටි මෙන් විසිය යුතුය. කිසිදාකත් නැත. ඒ පැළෑටි මැරී යන තෙක් ම කිසිදාකත් ජලයෙන් උඩ නොබලයි. මැරී ගිය විට පමණක් ශව ශරීර වී ජලය මතුපිට ගසාගෙන යයි. එහෙත් ජීවත්ව සිටිනා තාක් කල්ම ඒවා සෑම කල්හි දිය යට ය. සෑම කල්හි තරංග පන්තිය යටය. තරංග පන්තිය යට ඒවාට ශක්තිමත් යකඩවලටත් වඩා බලතල මුල් තිබිය හැකිය ජලගැල්ම තුළ මුදු ලෙස පාවීමේදී ඒවා දෘඪග්‍රාහී මෙන් ම භයානක ද විය හැකිය. දිය දී ඇති ඒවා පුළුව මත තිබෙන බලවත් ඕක් ගස්වලටත් උත්තරා බලත‍ර ද අවිනාශනීය ද විය හැකි ය. ඒත් ඒ නිතරම දිය යට දී ය. තමාද ගැහැනියක ලෙසින් එලෙස ම විසිය යුතුය.'

මාච්ගේ මේ හැසිරීම් රටාව නිසා හෙන්රිට ද සතුටක් නැත.

ගාඩියන් වෙබ් අඩවියේ පළ වූ විචාරයකට අනුව ලෝරන්ස්ගේ මේ කෙටි කෘතිය මුළුමනින්ම ස්ත්‍රීවාදී ය. තමාට අහිමි වූයේ තමා සමග එක සයනය බෙදා ගත් මිතුරියයි. තමාට ඇය හා සම කළ හැකි වෙනත් කෙනෙකු මෙලොව නැත. දැන් හෙන්රිට එතැන ගත හැකි වනු ඇත් ද? ඇය නැති අඩුව පුරවනු හැකි වනු ඇති ද?

අවසානයේ හෙන්රිට අයිති වන මාච් මෙසේ සිතයි:

‘...තමාට වුවමනා කරන්නේ බලන්ට, දැන ගන්නට සහ තෙරුම් ගන්නට ය. තමාට හුදෙකලාව සිටින්නට වුවමනා ය: තමාගේ පසෙකින් සිටිනා ඔහුත් සමග.

ඔහු! තමා තවදුරටත් බලා සිටීමක්, තවදුරටත් දැකීමක්, තවදුරටත් තෙරුම් ගැනීමක් ඔහුට එපා ය. ඔහුට වුවමනා වන්නේ තමාගේ ගැහැනු ජීවය වසා සඟවා ලන්නට ය. ඔහුට වුවමනා වන්නේ තමා ඔහුට කැප කරවා ගැනිමටත් තමාගේ ස්වාධීන ජීවය නිද්‍රාගත කරවන්නටත් ය.......’

මෙරට ප‍්‍රකට මාක්ස්වාදී විචාරකයකු වැ සිටි මහාචාර්ය සුචරිත ගම්ලත් ඩී. එච්. ලෝරන්ස්ගේ නිර්මාණ ගැන රචනා කළ පිටු විසි අටක් පුරා දිවෙන විචාරයක් මේ කෘතියේ අග එයි. 

ගම්ලතුන්ගේ කෘතියක් වන මෙය 1974 වසරේ ප‍්‍රථම වරට ගොඩගේ ප‍්‍රකාශකයන් විසින් පළ කරන ලද අතර 2007 දී සරසවි ප‍්‍රකාශකයන් විසින් පුනර්මුද්‍රණයක් එළි දක්වන ලදී. මේ එම මුද්‍රණයේ පිටකවරයයි. 



අදහස් (0)

ලෝමාලිකා

ඔබේ අදහස් එවන්න

 

 
 

පොතක මතක

හෘද සාක්ෂියක අඳෝනාව
2025 අප්‍රේල් මස 01 118 0

ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා


සියක් වසක හුදෙකලාව
2025 මාර්තු මස 25 71 0

’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා


රැහැනක සමබරව
2025 මාර්තු මස 18 97 0

’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත


පිඹිත් නළා සුරා මතින්
2025 මාර්තු මස 11 117 0

’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.


ගෙවෙන තුරා රැය මහ වැසි ඇද හැළුණි
2025 මාර්තු මස 04 155 0

’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ


වොල්ගා සිට ගංගා තෙක් රාහුල් සාංකෘත්‍යායන
2025 පෙබරවාරි මස 25 124 0

’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 314 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 83 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site