IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ගෝ දානය

පොතක මතක - 11


 

 

 

පරිවර්තනය: චින්තා ලක්ෂ්මී සිංහාරච්චි


'රායි මහතා බුලත් විට කටේ රුවාගෙන කතා කරන්නට විය.
"උඹ හිතනවද අපි ලොකු මිනිස්සු කියලා දුප්පතුන්ට ඇතිවෙන ඉරිසියාව වෛරය තමන්ගේ බඩගෝස්තරේ වෙනුවෙන්. ඒකට සමාව දෙන්න පුළුවන්. මගේ කටට දාගත්තු රොටියක් කවුරු හරි උදුරාගෙන කෑවොත් ඒ මිනිහගේ උගුරට අත දාලා හරි උදුරා ගන්න එක තමයි මගේ ධර්මය. පොහොසත් මිනිස්සු ඊර්ෂ්‍යයා කරන්නේ විනෝදෙට. බොහොම වෙලාවල ලොකු උදවියටත් අසනීප හැදෙනවා. ලොකු මිනිස්සුන්ට කොහෙන්ද පොඩි පොඩි අසනීප? සාමාන්‍ය උණක් හැදුනත් උණ සන්නිපාතය හැදුනා වගේ තමයි බෙහෙත් දෙන්නේ. ඇඟේ සාමාන්‍ය බිබිලක්වත් ආවොත් මහා භයංකාර විසක් ඇඟට ඇතුල් වුණා වගේ. ටෙලිග්‍රෑම් ගහලා වෛවාරණ දොස්තරලා ගෙන්න ගෙන්න ගනියි. විෂ වෛද්‍යවරු ගේන්න කියල දිල්ලියට හරි කල්කටාවට හරි මිනිස්සු යවයි. දේවාලවල පූජාවල් තියයි. කේන්දරේ බලයි. ගුරුකම් කරයි. අපි ළඟ ගේදොර වතුපිටි වැඩකාරයෝ ගෑනු මොනවද නැත්තේ? ඒ වුණාට හතුරන්ට තියෙන බය හින්දා නින්ද යන්නේ නෑ. අපි දුකට පත්වුණාම හිනාවෙන අය මිසක් අඬන අය නෑ. අවාසනාවන්ත ම මිනිස්සු කියලා කියන්න පුළුවන්. ආණ්ඩුවේ නිලධාරීන් ඉස්සරහ නකුට වන වන ඉඳලා ඔවුන්ගේ උදව්වෙන් තමන්ගේ යටත් වැසියන්ට කරදර කරන එක තමයි අපි කරන්නේ. මට වෙලාවකට හිතෙනවා ආණ්ඩුව අපේ සමින්දාරකම් උදුරාගෙන අපට මහන්සි වෙලා මුදල් උපයන්න උගන්වනවා නම් හොඳයි කියලා. ඉක්මනටම අපේ ජාතියේ අය වඳවෙනවා කියලයි කතාව කියන්නේ. මම නම් ඒ දවස පිළිගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ"'

*

ඒකල ඉන්දියාවේ සිටි සමින්දාර්වරු දිළිඳු කුල හීනයන්ගෙන් තළා පෙළා වැඩ ගන්නටත්, දුප්පත් බ්‍රාහ්මණයන්ගෙන් අසාධාරණ ලෙස බදු අය කරන්නටත් සැදී පැහැදී සිටියෝ ය. රායි යනු ඒවැන්නෙකි. එහෙත් මේ කතාවේ ඔහු අනෙක් අයට වඩා සාධාරණ අයකු බව පෙනේ. මැතිවරණයකින් දිනන ඔහුට ඇමතිකමක් ද ලැබේ. එහෙත් සිය පුතා වන රුද්‍රපාල්  තමාට අවනත ය. එය ඔහුට දරාගත නොහැක්කකි.

'මං මේ ගැන තාත්තට මොකුත් කියන්න යන්නෙ නෑ. මං බඳිනවා නම් බඳින්නෙ සරෝජව ම තමා'

'මං ජීවත් වෙලා ඉන්නකල් කවදාවත් ඒක සිද්ධ වෙන්නෙ නෑ.'

'ඒහෙනම් තාත්ත නැති කාලෙක මං එයාව බඳිනවා'

'ආ.. එහෛමද හිතාන ඉන්නෙ?'

රායි හාමුගේ දෑසට කඳුළු ඉනුවේ ය. ජීවිතය විනාශ වී ගියා සේ ඔහුට දැනිණ. තමාට ලැබුණු තනතුරු, ඇමතිකම් යනාදිය පරවූ මල් මෙන්, අමිහිරි නීරස ලෙස ඔහුට හැඟෙන්නට විය. බිරිය මිය යනවිට ඔහුගේ වයස තිස් හතකට වැඩි නොවී ය. ඔහුට නැවත විවාහ වී සැප සම්පත් විඳිමින් විනෝදයෙන් සිටිය හැකිව තිබිණි. නැවත විවාහ වන්නැයි බොහෝ දෙනා ඔහුගෙන් ඉල්ලා සිටියහ. එනමුත් ඔහු තම දරුවන්ගේ මුහුණු බලා කණවැන්දුම් ජීවිතය ම තෝරා ගත්තේ ය. ඔහුගේ ජීවිතයේ විනෝදය අහිමි කළේ දරුවන් ය. මෙතෙක් තම හදවතේ මුළු සෙනෙහස ම දුන්නේ දරුවන්ට ය.

එහෙත් අද ඔහුගේ පුතා ඔහුට කෙතරම් අනුකම්පා විරහිත ලෙසින් කතා කරන්නේ ද? ඔහු කතා කරන්නේ රායි හාමුට කිසිම සම්බන්ධයක් නැති අයකු සේ ය.'

මුන්ශි ප්‍රෙම්චාන්ද් විසින් 1936 දී රචිත ‘ගෝ දාන්’ නම් නවකතාව ගෝඩ්න් සී. රොඩ්මේල් විසින් 1968 දී ඉංගිරිසි  The Gift of a Cow නමින් ඉංගිරිසියට පරිවර්තනය කරන ලදී.

ප්‍රේම්චාචාන්ද්ම් ලේඛක නාමයෙන් සිය කෘති ලොවට දායාද කළ මේ මහා පුරුෂයා 1880 ජුලි 31 දින ධන්පත් රායි නමින් වාරණාසි අසල ධනවත් ඉඩම්හිමි වැවිලිකරුවකුගේ සිවුවැනි දරුවා ලෙස උපත ලැබී ය. 1903 දී 'දේවස්ථාන් රහස්‍ය' නම් නවකතාව වාරණාසි හි පළවෙමින් තිබූ සඟරාවක කොටස් වශයෙන් පළකිරීමෙන් නිර්මාණකරණයට පිවිසි ඔහු ඉන්පසු නවකතා 12ක් පමණ ද කෙටිකතා 250කට අධික සංඛ්‍යාවක් ද එළි දක්වමින් ඉන්දියානු සාහිත්‍යයට අනූපම සේවයක් කළේ ය. එසේම ඔහු ටෝල්ස්ටෝයි, අනටෝල් ෆ‍්‍රාන්ස් වැනි ලේඛකයන් කිහිප දෙනෙකුගේ ම කෘති හින්දියට පරිවර්තනය කළේ ය. ඇතැම් සාහිත්‍ය ඉතිහාසඥයකු ඔහු හඳුන්වන්නේ තාගෝර්ට පමණක් දෙවැනි ඉන්දියානු අර්ධද්වීපයේ ප‍්‍රමුඛ සාහිත්‍යධරයා ලෙස ය. අතැමෙකුට ඔහු ඉන්දීය නවකතාවේ ‘අධිරාජයා’ ය. මුන්ශි යනු තාගෝර්ගේ නමට පෙර යෙදෙන ගුරුදේව, නැතහොත් ගාන්ධිගේ නමට පෙර යෙදෙන මහාත්මා වැනි ගෞරවාර්ථ පෙර ඈඳියකි.

වියමන අතින් ගෝදාන්, තාගෝර්ගේ නවකතාවලට වඩා ඉහළ මට්ටමේ පවතින්නේ ය’යි විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් තාගෝර්ගේ හා උර්දු කවියකු වූ අලාමා ඉක්බාල්ගේ (1877 - 1938) නිර්මාණවලට ලැබුණු තරම් ජාත්‍යන්තර පිළිගැනීමක් ප්‍රෙම්චාන්ද්ට නොලැබිණි. ඊට හේතුව වන්නට ඇත්තේ ඔහුගේ කෘති නිසියාකාරව ඉංගිරිසියට පරිවර්තනය නොවීමත්, ඔහු ඉන්දියාවෙන් පිටත සංචාරයේ නොයෙදීම හා එංගලන්ත විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය නොලැබීමත් විය හැකි ය’යි පැවසේ.

ගෝ දාන් යනු ගවයකු පිනට දීම හෝ පරිත්‍යාගය හෝ වෙයි. හින්දු ලබ්ධිකයෝ මෙය ඉතා උතුම් සිරිතක් කොට සලකති. ලක්නව් සිට සැතපුම් විස්සක් පමණ ඔබ පිහිටි සේමර් නම් පිටිසර ගමේ වෙසෙන හෝරී නම් දිළිඳු බ‍්‍රාහ්මණ වංශිකයකුගේ පවුල කේන්ද්‍ර කැර ගනිමින් මෙම කතාව නිර්මිත ය. හෝරීට එගම වෙසෙන භෝලා නම් හීන කුලයක පුරුෂයකුගෙන් එළදෙනක් තෑගි ලැබෙන සිද්ධියකින් කතන්දරය ඇරඹේ. මේ ත්‍යාගය නොහොත් 'ගව දානය' ඔහුගේ ජීවිතය ඉඳරාම වෙනස් මගකට යොමු කරයි. ගවයා ගෙනෙන්නට යන හෝරීගේ පුත් ගෝබර් දීගය අතහැරී ආපසු පැමිණ සිටින ජුනියා නමැති භෝලාගේ දියණිය සමග හාදවෙයි. ඇගේ කුසට පස් මස් සපිරෙන විට ඔහු ඇය සිය නිවෙසට හැර සැඟව පළා යයි. කටසැර කර්කෂ ගැහැනියක වන නමුත් තෙත් හදැති ධනියා නම් හෝරීගේ බිරිය ඇය ස්නේහයෙන් රැක බලා ගනියි. හීන ජන්මී ස්ත්‍රියක් සිය පුත‍්‍රයා සහේට හැනීම නිසා හෝරීට පංචායත් සභාවට රුපියල් සියයක් දඩ ගෙවන්නට සිදුවෙයි. මේ අතර හෝරී සමග අමනාප වන ඔහුගේ සහෝදරයකු වන ගෝබර් එළදෙනට වස දී මරා දමා ගමෙන් පැන යයි. ඒ වරදට ද රුපියල් දහයක දඩයක් ගෙවන්නට සිදුවනුයේ හෝරීට ම ය. මේ නිසා හෝරී දිගින් දිගටම ණය වෙයි. 

අවුරුද්දක් ගමෙන් පිටව සිටින ගෝබර් තරමක සල්ලිකාරයකු ව ගමට පැමිණ ගමේ සිටින බ‍්‍රාහ්මණ පණ්ඩිත, බදු නිලධාරී, මුදල් පොලියට දෙන අය යනාදීන්ගේ සිත් තළා සිය බිරිඳ ද කැටුව පෙරළා නගරයට යයි. එහි විපාක ගෙවන්නට සිදු වනුයේ ද හෝරීට ම ය.

හෝරීට සෝනා හා රූපා නමින් දියණියෝ දෙදෙනෙක් සිටිති. මොවුන් සරණ පාවා දීම සඳහා ද මුදල් අවශ්‍ය වෙයි. සෝනාගේ මනාලයා දෑවැද්දක් නොඉල්ලන නිසා ඇගේ මංගල්‍යයට වැය වනුයේ සංග‍්‍රහය සඳහා වන අල්ප වැය පමණි. ගත් ණය පොලිිය ද සමග දෙතුන් ගුණයකින් වැඞී රුපියල් දෙසීයක් ඉක්මවමින් ඉඩම සින්න වන්නට යයි. එවිට දාතාදීන් නමැති පණ්ඩිත බ‍්‍රාහ්මණයා ඔහුට යෝජනා කරන්නේ යාබද ගමක වෙසෙන දෙතිස් වියැති කණවැන්දුම් ඉඩම්හිමි ධනවතකුට සොලොසැවිරිදි රූපා සරණ පාවා දෙන්නේ නම් ඉඩම බේරා ගත හැකි බවයි. මුල දී අදිමදි කළ ද හෝරී සහ ධානියා පසුව ඊට කැමැත්ත පළ කරති. රූපාගේ විවාහය සිදු වන අතර ඉඩම බේරා ගත හැකිවේ. ඉඩම බේරා ගැනීම සඳහා සිය ලාබාල දියණිය වයස්ගත පුද්ගලයකුට විකුණා දැම්මේ ය’යි හෝරී පසුතැවිල්ලෙන් සිටියි. මන්ද ඇය පෙර දින තෙක් ම සිය තුරුල්ලේ හුරතල් වෙමින් සිටි චූටි කෙල්ල වන හෙයිනි.

ණය ගෙවා දැමීමේ තිර අදිටනින් ඔහු ගල් කොරියක වැඩට යයි. ප‍්‍රමාණවත් අහර නොලැබීම නිසා අබල වැ සිටින හෝරී එහි දී රෝගාතුර වැ මිය යයි. ඔහුගේ ආත්මය සුවපත් වනු පිණිස ගෝදානයක් දිය යුතු ය’යි කෙනෙක් යෝජනා කරයි. එය කිව යුත්තක් නොවේ ය’යි නොරිස්සුම් සහගතව සිතන ධානියා තමා සන්තකයේ තිබූ ඇනා විස්ස සිය සැමියාගේ අප‍්‍රාණික අතේ මිට මොලවා පණ්ඩිතයා අමතා කියන්නී බ‍්‍රාහ්මණයකුට ගෝදානයක් දෙන්නට තමන් සතුව එළදෙනක හෝ වස්සකු හෝ මුදල් හෝ නොමැති බවත් ඇත්තේ එපමණක් බවත් ය. 

'ධනියා සිදුවන්නට යන දේ තේරුම් ගත්තත් බලාපොරොත්තුවේ මැකී යන ඡායාව ග්‍රහණය කැර ගෙන සිටියා ය. ඇගේ දෑස්වලින් කඳුළු ගලා යමින් පැවැතිණ. ඇය යන්ත්‍රයක් සේ එහා මෙහා දුවමින් ලෙඩාට දීමට අඹවලින් පානයක් සැදුවා ය. විටෙක දහයියා කුඩුවලින් ඔහුගේ සිරුර තවන්නට වූවා ය. අතේ මුදල් නැති විට කුමක් කරන්නද? මුදල් තිබුණා නම් කිසිවකු යවා දොස්තර කෙනෙකු ගෙන්වා ගැනීමට තිබිණ.

හීරා  හඬමින් ධනියාට කතා කළේ ය. "අක්කේ හිත හදාගෙන ගෝදානයක් දෙන්න. අපෙ අයියා යන්න ගියා."

ධනියා ඔහු වෙත දොස් පවරනසුලු බැල්මක් හෙළුවා ය. ඇය සිය හිත තව කෙතරම් දැඩි කරගෙන ඉන්න ද? සිය සැමියා ගැන ඇය විසින් කළ යුතු දේ මොනවාද කියා තමාට කිසිවකු කියා දිය යුතු ද? කීප දෙනෙකු ම මෙසේ කියනු ඇයට ඇසිණි. "ඔව් ඉතිං ගෝදානයක් දෙන ඒක තමයි යුතුකම" ඔවුන් ඒ කියන්නේ තමා මෙතෙක් එකට ජීවත් වූ සහකරුවා වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු යූතුකම් ය. ඒත් ඉතින් කෝ සල්ලි?

ධනියා යන්ත්‍රයක් සේ නැගිට්ටා ය. එදින ලණු විකුණා ලැබුණු ඇනා විස්සක් ඇය ළඟ තිබිණ. ඇය ඒ මුදල තම සැමියාගේ සීතල වී ගිය අතේ තබා තමා ඉදිරිපිට උන් දාතාදින් පණ්ඩිත ඇමතුවා ය.

"පණ්ඩිත උන්නැහේ ගෝදානයක් දෙන්න  අපේ ගෙදර එළදෙනෙක් නෑ. පැටියෙක්වත් නෑ. සල්ලිත් නෑ. මෙච්චරයි තියෙන්නේ. මේක තමා ගෝදානේ වෙනුවට දෙන්න තියෙන්නේ."

මෙසේ කී ධානියා සිහිසුන් ව බිම ඇද වැටුණා ය.'

මේ කතාව කියන්නට කතුවරයා නාගරික චරිත කිහිපයක් ද උපයෝගී කැර ගනියි. සේමර් ගමේ නින්දගම් හිමියා සහ කවුන්සලයේ සභිකයකු ද වන රායි හාමු, ඛන්නා නම් ව්‍යාපාරිකයා සහ බැංකු කරුවා, ගෝවින්දි නම් ඔහුගේ බිරිඳ, ආචාර්ය මෙහ්තා නම් සරසවි ඇදුරා සහ දාර්ශනිකයා, මාලතී නම් වෛද්‍යවරිය ඒ අතර ප‍්‍රමුඛ ය. ඒ වනාහි සතුටින් සිටින වංශවත්, අතමිට සරු මිනිසුන් ය.

දුක සහ සතුට පවතින්නේ කොහේ ද? වංශවතුන්ට ද ගැටලු තිබේ. එහෙත් කුලය කුමක් වුවත් දිළිඳු ජනයාට ඇත්තේ දුක ම පමණි.

ආගම සහ කුල චාරිත‍්‍ර අහිංසක නූගත් ගැමියන් සූරාකෑම සඳහා යොදා ගැනෙණ අයුරුත් එයින් අන්ත අසරණ වන ඔවුන්ට පිළිසරණක් නොමැති බවත් කිසියම් මට්ටමක උපහාසාත්මක බවකින් ප්‍රේම්චාන්ද් මේ කෘතියේ පාඨකයාට අනාවරණය කරයි.   

මෙහි දැකිය හැකි වෙසෙසි බව නම් ස්ත්‍රීන් කෙරේ කර්තෘගේ දෘෂ්ටියයි. ස්ත්‍රිය යනු මාතෘත්වය බවත්, ඇය සැමවිට ම දරා ගැනීමේ සහ කැපකිරීමේ උත්කෘෂ්ට ගුණාගවලින් හෙබි  බවත් ඔහු පුනපුනා පවසයි. ස්ත්‍රිය සිය පරිභෝජන භාණ්ඩයක් පමණකැයි සැලකූ අතීත ඉන්දීය සමාජයේ පහත් යයි සම්මත කුලයේ ගැහැනියක සමග යහන් ගත විම වරදක් නොවුණත්, එවැන්නියක් සරණ පාවා ගැනීම කුලයෙන් නෙරැපීමට හේතු වෙයි. එහෙත් දානයක් දී විශාල මුදලක් බ‍්‍රාහ්මණයන්ට පිරිනැමීමෙන් පව් සමාවක් ලබා ගත හැකි ය. දාතාදීන් පණ්ඩිතගේ පුත් මාතාදීන් එවැනිව පව් සමාවක් ලබා ගන්නෙකි. එහෙත් ගැමියෝ ඔහු කොන් කරති. ඒ නිසා ඔහුට තමන්ගෙන් අනාථ වූ දැරිය සමග වසන්නට සිදුවෙයි.   

මෙම කෘතිය චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් මුල් හින්දි පිටපතෙන් සිංහලට පරිවර්තනය කරන ලදුව ‘ගෝ දානය’ නමින් විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය විසින් 2000 දී මුල්වරට මුද්‍රණයෙන් නිකුත් කරන ලදී.



අදහස් (0)

ගෝ දානය

ඔබේ අදහස් එවන්න

 

 
 

පොතක මතක

හෘද සාක්ෂියක අඳෝනාව
2025 අප්‍රේල් මස 01 118 0

ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා


සියක් වසක හුදෙකලාව
2025 මාර්තු මස 25 71 0

’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා


රැහැනක සමබරව
2025 මාර්තු මස 18 97 0

’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත


පිඹිත් නළා සුරා මතින්
2025 මාර්තු මස 11 117 0

’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.


ගෙවෙන තුරා රැය මහ වැසි ඇද හැළුණි
2025 මාර්තු මස 04 155 0

’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ


වොල්ගා සිට ගංගා තෙක් රාහුල් සාංකෘත්‍යායන
2025 පෙබරවාරි මස 25 125 0

’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 587 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site