- කෂුඕ ඉෂිගුරා -
නිසල කඳු ලෙස සිංහලෙන් නම් කරනු ලැබ ඇති මේ පොතේ මුල් නම A Pale View of Hills ය. එහි නියම අරුත 'කඳුවල අඳුරු දසුනක්' නොඑසේ නම් 'කඳුවල අදීප්ත දසුනක්' යන්නයි. ඒ කියන්නේ කඳු හරියාකාර ව පෙනෙන්නේ නැත. එය අප ගළපා ගත යුත්තේ මේ කතාව අපට කියන එට්සුකෝගේ මේ කියමනත් සමග ය. “Memory…can be an unreliable thing; often it is heavily coloured by the circumstances in which one remembers” (ස්මරණය අවිශ්වසනීය දෙයක් වන්නට ඉඩ තිබේ. බොහෝවිට එය කෙනකු ආවර්ජනය කරන ස්වභාවය විසින් තීව්‍ර ලෙස පැහැ ගන්වනු ලබන නිසා ය.) ඉතින් ඇය අපට සිය මතකය අවදි කරන ගමන් ම කියන්නේ සිය ස්මරණය විශ්වාස නැතැයි කියා ය. අර දකින කඳු හිස්වල නියම ස්වභාවය දුරින් හිඳ අප මේ දකින ආකාරය නොවේ. අප ඒවා නරඹන වටපිටාව සහ අවස්ථාව අනුව පැහැ අන්තරය වෙනස් වෙයි.
ඒ කියන්නේ මේ කතාව එට්සුකෝට හරියටම මතක නැති බවයි. ඇය කියන්නේ තමාගේ පවුලේ කතාව ද? තමාගේ එකිනෙකට වෙනස් චර්යා රටා ඇති දූවරුන් දෙන්නා ගැන ද? නො එසේ නම් සචිකො සහ ඇගේ දියණි මරාකො ගැන ද?
A Pale View of Hills යනු 2017 දී සාහිත්‍ය පිළිබඳ නෝබල් ත්‍යාගය දිනූ ජපාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරා විසින් 1982 වසරේ එළි දක්වන ලද ඔහුගේ ප්‍රථම නවකතාවයි.
1954 වසරේ නොවැම්බර් 08දා නාගසාකි හි උපත ලබන කෂුඕ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග ඔහුගේ පියා 1960 දී ලන්ඩනයට ආසන්න ගිල්ඩ්ෆඩ් හි පදිංචියට අවුත් පසුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගත් හෙයින් ඔහුගේ ජපාන අත්දැකීම් අල්ප ය. එහෙත් කෂුඕ සිය මුල් නවකතා දෙක වන මෙය සහ An Artist of the Floating World (සිංහල පරිවර්තනය: රැහැනක සමබරව) රචනා කරන්නේ පශ්චාත් යුද සමයේ ජපාන සමාජය අලලා වීම සැලකිල්ලට බඳුන් විය යුත්තකි. එසේ ම එසමයේ ජපන් සමාජය බටහිරට කෙමෙන් නතු වීම, තරුණ පරපුර ඉතා වෙහෙස වී වැඩ කිරීම සහ අතීත ගුරුවරුන්ට ගැරහීම මේ කෘති දෙකේ ම යටි පෙළින් කියැවිය හැකි ය.
මෙහි එන කතාව අතීත සැමරුම් ලෙස අහංකාරයෙන් හෙවත් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් අපට ඉදිරිපත් කරන්නී එට්සුකො නම් ජපන් කතකි. ඇය මෙ වනවිට එංගලන්තයේ වෙසෙන්නී ය.
ඇගේ අතීතාවර්ජනය ඇරඹෙන්නේ සිය දෙවැනි දියණිය වන නිකී ඇය වෙත පැමිණීමත් සමග ය. ඇගේ වැඩිමහල් දියණිය වන කයිකො නොබෝ කලකට පෙර අමෙරිකාවේ තමා විසූ නිවස්නයේ සිය පණ හානි කැර ගෙන තිබිණි. අවමඟුලට නොපැමිණි නිකී තමා සමග දින කිහිපයක් ගත කරන්නට ඊම ගැන එට්සුකො සතුටට පත්වෙයි. එහෙත් නිකී ඇය සනසන්නී නොවී. ඇගේ සිත තවත් අවුලකට පත් කරන්නී ය.
' "වෙලා තියෙන ඇබැද්දිය මිනිස්සු දැනං හිටියෙ නෑ." නිකී පැවසුවා ය. "මං කාටවත් කීවෙත් නෑ. මං හිතන්නෙ මගේ ඔළුව අවුල් වෙලා තිබුණේ. ඒක කාටවත් තේරෙන එකක් නෑ. මං ඒක විඳවපු ආකාරය ඒ අයට වැටහෙන එකක් නෑ. සහෝදරියෝ කියන්නේ එකට ඉන්න ඕනෑ, ළං වෙලා ඉන්න ඕනෑ, බැඳීමක් තියෙන අය කියල තමයි මිනිස්සු හිතන්නෙ. ඒහෙම නේද? කෙනෙක් සහෝදරියන්ට ඒ හැටි මනාප නොවෙන්න පුළුවන්. ඒ වුණත් සමිප වෙන්නෝන. කොහොම නමුත් කයිකොයි මායි අතරෙ ඒ දේ තිවුණෙ නෑනෙ. මට දැන් එයාගෙ පෙනුමවත් මතක නෑ."
"මට එයා මතක මාව දුක්ඛිත තත්වයට පත් කරන්න හුරු වෙලා හිටි කෙනෙක් හැටියට විතරයි. මට එයා ගැන මතක එහෙමයි. ඒ වුණත් ඒක අහපු ඒක ඇහුවාම මට දුක හිතුණා."
අපේ කතාබහ දිගින් දිගටම කයිකොගේ වියෝව පදනම් කැර ගෙන නොවූවත්, කතා බහේ යෙදෙන සැම විට ම ඒ සිදිධිය අප වටා දැවටෙමින් තිබිණි. ඇතැම්විට නිකී ආපසු ලන්ඩන් බලා යනවාට මා, කැමැත්තෙන් පසු වුණේ එනිසා වන්නට පිළිවණ.'
නිකීගේ ආගමනයත් සමග රූප රාමු පශ්චාත් යුද සමයේ නාගසාකි හි ජලාශයක් ද ඒ ජලාශය අද්දර මඩ වගුරක් ද නුදුරින් වන පරිසරයකට ඡේදනය වෙයි. ඒ පෙදෙසේ ව්‍යාපාරික ආයතන විසින් සිය සේවකයන් සඳහා සහන මිලට කුලියට දෙන්නට ඉදිකැරුණු නිවස්න තිබේ. එට්සුකො සිය ප්‍රථම සැමියා වන ජපාන ජාතික ජීරො සමග එයින් එකක වෙසෙන්නී ය. සිය පළමු දරුවා වන කයිකො කුස දරා සිටින ඇය සහ නුදුරු නිවස්නයක වෙසෙන සචිකො නම් කාන්තාවක අතර මිත්‍රත්වයක් මේ දිනවල ඇතිවෙයි. සබඳතාව ඇති වන්නේ සචිකොගෙ දියණිය වන මාරිකො නිසා ය.
'හිරු රැසින් එපිට වූ මුල්ලක මරිකො හිඳ උන්නී ය. ඇය මුවාවේ යමක් සෙලවෙනවා දිටිමි. සමීපව බැලූ විට තතමි පොළොව මත ගුලි ගැහුණු තඩි බළලෙකි ඒ.
"හලෝ මරිකො සාං" මම කීමි. "ඔයාට මතක නැද්ද මාව?"
බළලා පිරිමැදීම නතර කළ ඈ මා දෙස බැලුවා ය.
"අපි දවසක් හම්බ වුණා මතක ද? ඔයා ගඟ ළඟ ඉන්න කොට?"
කුඩා දැරිය මා හඳුනා ගත් බවට අංශු මාත්‍රික ඉඟියක් හෝ නොපෑවා ය. මා දෙස මඳ වේලාවක් බලා සිටි ඕ යළි බළලා පිරිමදින්නී ය.මට පිටුපසින් සිටි සචිකො කාමරය මැද වූ විවෘත උදුනක තේ පිළියෙල කරනු මට ඇසිණ. මා සචිකො වෙත යන්නට පය ගත් සැණින් මරිකො "එයාට පැටව් හම්බ වෙන්නයි ඉන්නෙ" යි කීවා ය.'
ජීරොගේ පියා වන ඕගතා මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. ඔහුගේ අතීත සිසුවකු හා වත්මන් ගුරුවරයකු වන ෂිගිඔ මත්සූදාණි, ඕගතා මහතාගේ අධ්‍යාපන ක්‍රම විවේචනය කරමින් සඟරාවකට ලිපියක් ලියයි. එයට පිලිතුරු ලිපියක් ලියන ලෙස ඕගතා මහතා ජීරොගෙන් ඉල්ලා සිටින නමුත් ජීරො ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැත.
දචසෙක ඔගතා සාන්, එට්සුකෝ සමග අහම්බයක් සේ හැඟවෙන පරිදි ෂිගිඔ හමු වන්නට යයි. ඔහුට ෂිගිඔ හමුවෙතත් ඒ දිවා ආහාරය ගෙන පාසැලට යන්නට නිවසින් පිට වෙද් දී ය. නිවසට ගොඩ වී කතාබහක යෙදෙන්නට කාලයක් නොමැත. ඒත් ඔගාතා මහතා ෂිගිඔ ලියා පළ කළ ලිපිය ගැන දෝෂාරෝපණ ස්වරයෙන් විමසයි.
'"මට ඒ ගැන සැකයක් නෑ. සර්ලා බොහෝම හිතවත් කියන එකෙයි, මාන්සිවෙලා වැඩ කළා කියන එකෙයි කිසි සැකයක් නෑ. මම ඒ ගැන මොකවත් ප්‍රස්න කරන්නෙත් නෑ.ඒත් සර්ලගෙ ශක්තිය වැය කළේ වැරදි දිහාවකට යන්න. නොහොබිනා නපුරු දිහාවකට යන්න. ඔයාල ඒක දන්නෑ. ඒත් ඇත්ත ඒකයි. දැන් ඒව පහු කරලා ඇවිත් ඉන්නෙ. අපට කරන්න පුළුවන් එකම දේ ඉස්තුතිවන්ත වෙන එක විතරයි"
"හරි පුදුම කතාවක්නෙ ෂිගිඔ, ඔයා ඇත්තටම එහෙම හිතනවද? මේක ඔයාගෙම අදහස ද? නැත්නම් වෙනින් කෙනෙක් ඔයාට කියා දීපු දෙයක් ද?"
"ඔගතා සාන්.. සර්. තමන්ට ම අවංක වෙන්න බලන්න. සර්ගෙ හදවතත් දන්නව මං මේ කියන දේ ඇත්ත කියල. අනෙක සාධාරණව කතා කරනව නම් සර්ගෙ ක්‍රියාවල ඵලය දැනගෙන නොහිටිය එක ගැන සර්ට දොස් කියන්න බෑ. කිහිප දෙනයි දැනං හිටියෙ රට කොහාටද මේ ඇදං යන්නෙ කියල. එයාල ඒ ගැන කතා කළාම එයාල හිරේ දැම්ම. ඒත් දැන් එයාල නිදහස්. ඒ ගොල්ල මේ රට අලුත් ලොකෙකට කැන්දන් යාවි."
"අලුත් ලොකෙකට? මොන පිස්සුවක් ද?"'
ජීරො මිය යන්නේ කෙසේ ද යන්නත් තමා ඉන්පසු විවාහ වන බ්‍රිතානියා ගැනත් ඔහුගේ වියෝව ගැනත් එට්සුකෝ විස්තර නොකියයි. ඒ අතපසුවීමකින් ම නොවන බව අප වටහා ගත යුතු ය. මන්දයත් ඇය ඕගතා සං, ෆුජිරාවා මහත්මිය, සචිකො සහ මාරිකො යනාදීන් ගැන ඉතා සුලු විස්තර පවා අපට ඉදිරිපත් කරන හෙයිනි.
ජපානයේ දී බ්‍රිතානියා සමග විවාහ වන එට්සුකො ඔහුගේ රටේ ගම්බද පෙදෙසක පදිංචියට යන්නේ වැඩිමල් දියණි කයිකො ද සමග ය. එතැන් සිට කයිකො අකීකරු, මුරණ්ඩු සහ නපුරු ඇවතුම් පැවතුම් ඇත්තියක වැ සිටි බව දැන ගන්නට ලැබේ. දැන් ඇය සිය පණ හානි කැරගෙනය. දැන් මව්බිමෙන් දුරු වැ වෙසෙනා ඇයට සිටින එකම ඥාතියා මේ කණිටු දියණියයි.
මෙහි දී වැදගත් කාරණයක් නම්, කයිකො යනු ජපන් යුවලකගේ දියණියක් වන අතර නිකී යනු ජාතීන් අතර කලවමක් බවයි. කයිකොගේ ස්වයං ඝාතනයෙන් පසු මාධ්‍ය ඉස්මතු කරන්නේ සිය පණ නසා ගැනීම ජපනුන්ගේ ජානමය ලක්ෂණයක් ය යන කාරණය එට්සුකෝ මෙනෙහි කරන්නේ මෙසේ ය:
'නිකී මෙන් නොව කයිකො අමිශ්‍ර ජපන් ජාතිකයෙකි. මේ යථාව උපුටා දක්වන්නට පත්තර සමත් විය. සිය දිවි නසා ගැනීම අපේ වර්ගයාගේ සහජ ලක්ෂණයක් ය යන අදහස කරේ තියා ගෙන යන්නට ඉංගිරිසිහු රුචි වන්නාහ. ඊට අටුවා ටීකා අවශ්‍ය නැතියි ඔවුහු අදහති. එහෙයින් ම ඇගේ සිය දිවි නසා ගැනීම වාර්තා කළේ "ජපන් කම" ඉස්මතු වන පරිදි ය."
නිකී අයත් වන්නේ යුද්ධයෙන් කලකට පසු උපන් 60 දශකයේ අගභාගයේ සිය තාරුණ්‍යය ගෙවන පරපුරටයි. 60 දශකයේ මුල් භාගයේ අමෙරිකාවේත් බටහිරත් තාරුණ්‍යයේ සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් සහ ආකල්ප බොහෝ සෙයින් විපරීත විය. ඒ රටවල මෙන් ම ඒ ආභාෂය ලැබූ වෙනත් රටවල තරුණ පෙළ ද වැඩිහිටියන්ට එරෙහි වීම, ඔවුන්ට ගැරහීම සහ නිර්දය ලෙස ප්‍රශ්න කිරීම විලාසිතාවක් බවට පත් කැර ගෙන ඇති සෙයකි. ඇඳුම් සහ කෙස් මෝස්තර ද වෙනස් වෙලා ය. හිපි සංස්කෘතිය ඇරමුනු අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගියේ ය.
එට්සුකෝ සහ දියණියන් දෙදෙනා අතර ම පවතින්නේ දුරස්ත බවකි. කයිකො වෙනස් වුණේ ඇය දෙවන විවාහය කැර ගත්තායින් පසු ව ය.
සචිකො අමෙරිකානු ජාතිකයකු හා වසන්නට යන්නට තීරණය කැර ගෙන සිටින්නී ය. ඒ නිසා ඇය සිය දියණිය ඉතා ආසාවෙන් හදන දැඩිව ආදරය කරන බළල් පැටවුන් දියේ ගිල්වා මරන්නට පවා පසුබට නොවෙයි. සියල්ල නිහඬ වැ දරා ගන්නා මරිකොගෙ අවසන් ප්‍රතිචාරය මෙපරිදි ය.
'.... ලන්තෑරුම් එළියෙන් ඇය වඩාත් පැැහැදිලිව දකිනු වස් මම ඇයට සමීප වීමි. තම අත්ල දෙස බලාගෙන සිටි දැරිය කිසිත් නොකීවා ය.
"ඔයාට මොකද වෙලා තියෙන්නෙ?" මම ඇසීමි. "ඇයි ඔයා ඔය විධියට ඔතන වාඩි වෙලා?"
කෘමීන් ලන්තෑරුම වටා පොදි ගැසෙන්නට වූයෙන් මම එය ඇය ඉදිරියේ බිම තැබීමි. දැරියගේ මුහුණ මැනැවින් ආලෝකමත් විය. මඳ නිහැඬියාවකට පසු ඇය "මට යන්න බෑ. මට හෙට යන්න බෑ" යි කීවා ය.
මම සුසුමක් හෙළීමි. "ඔයා එහාට කැමති වේවි. ඕනම කෙනෙක් අලුත් දේවල්වලට එක පාරටම බයයි. ඔයා එහාට කැමැති වෙයි"
"මට යන්න ඕන නෑ. අනික මං එයාට කැමැති නෑ. එයා ඌරෙක් වගේ"
"ඔයා එහෙම කතා කරන්නෙපා" මම උරණ සිතින් කීමි. අපි එකිනෙකා දෙස මොහොතක් බලා සිටියෙමු. ඇය යළිත් තම අත්ල විපරම් කරන්නී ය.
"ඔයා එහෙම කතා කරන්නෙපා" මම සන්සුන් ව නැවත එය ම කීමි. "එයා ඔයාට ආදරෙයි. එයා ඔයාට අලුත් තාත්තා කෙනෙක් වෙයි. මං සහතික වෙනව හැමදේම හොඳට සිද්ද වෙයිි කියල"
"එයා ඌරෙක් වගේ. එයා චූ කරන්නෙ ඌරෙක් වගේ" ඇය බෙරිහන් දුන්්නා ය."
නිකීට ඇත්තේ වෙනස් ජාන ය. නිකී ගැන අම්මා දන්නේ ඇය ලන්ඩන්වල වෙසෙනා බව පමණි. ඇය එහි කරන්නේ මොනවාද ඉන්නේ කොහේ ද යන කිසිවක් ඇය නොදනී. නිකීට බාලාංශ පන්තිවල දී සංගීතය ඉගැන්වූ වෝටර්ස් මහත්මිය ඒ ගැන ඇසූ විට මව නිරුත්තර වන අතර සෑහීමකට පත්විය හැකි මට්ටමේ පිලිතුරක් දෙන්නේ නිකී ය. ඇය ගිය පසු නිකී කියන්නේ ‘මට සංගීතය එපා කළේ එයා තමා’ කියා ය. අතීත ගුරුවරුන් ගැන ඔවුන්ගේ ආකල්ප එසේ ය. විවාහ වන්නට තමාගේ අපේක්ෂාවක් නැති බව ඇය මව සමග දෙතුන්වතාවක් පවසයි. එහෙත් ඇය ලන්ඩන්වල ගත කරන්නේ ඩේවිඩ් නමැති අයකු සමග බව ද ඇය කියයි. නිකී කියන පරිදි ඔහු තට්ටය පැදුනු අයෙකි. අම්මා එපමණක් දැන ගත්තා ම ඇත.
එට්සුකෝ කතාව අරඹන්නේ තමා සහ දියණියන් දෙදෙනා ඇතුළු සිය පවුලේ කතාව කියන්නට මෙනි. එහෙත් මෙහි පහෙන් තුනක් ම ඇයගේ අසල්වැසි සචිකො සහ ඇගේ දියණිය මාරිකො ගැන ය. තවත් එකක් ඔගතා සං ගැන ය. එට්සුකෝලාගේ කොටස පහෙන් එකක් පමණි.
ඇතැම් විවේචකයන්ට අනුව මේ කතාව වියවුලකි. එහෙත් මට සිතෙන්නේ ඉෂිගුරෝ ඒ වියවුල සිතා මතාම කරන්නට ඇති බවයි. මන්දයත් මේ, කන්දක අපැහැදිලි දසුනක් හෙයිනි.
A Pale View of Hills පී.බී. ජයසේකර විදර්ශන ප්‍රකාශන වෙනුවෙන් පරිවර්තනය කරනු ලදුව 2006 වසරේ මුද්‍රණයෙන් එළි දැක්විණි.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා
’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා
’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිසල කඳු: A Pale View of Hills