
ලංකාවේ දශක කිහිපයක ජාතික මැතිවරණ වල ජය පරාජය තීන්දු වූ ආකාරය සලකා බලන විට එහි යම් රටාවක් හඳුනා ගත හැකිය. එනම් එක් මැතිවරණයක් ප්රධාන සුළු ජාතීන්ගේ සහායෙන් ජය ගනිද්දී මීළඟ මැතිවරණයට බොදු ජනතාවගේ පිබිදීමක් ඇතිවූ බවය. 1956 බොදු බලවේගයෙන්ද 1965 ප්රධාන සුළු ජාතීන්ගේ සහයෙන්ද ආණ්ඩු පිහිටුවිණ. එකල බොදු බලවේගයට නායකත්වය දුන්නේ බණ්ඩාරනායකවරුන් ප්රමුඛ ශ්රීලනිපයය. 1970 දී ශ්රීලනිපයද 1977 දී එජාපයද ජය ගත්තේ මෙම මැතිවරණ රටාව අනුවය. මෑත කාලයේ 2005 දී මහින්ද රාජපක්ෂ ජය ගත්තේද මහා සංඝරත්නය ඇතුළු බොදු බලය මහින්ද වටා ඒකරාශී වීමෙනි. 2015දී බොදුබලයට එරෙහිව සියලු ජනවර්ගවල දායකත්වයෙන් යුතු යහපාලන රජය මහින්ද පරාජය කර බලය ලබා ගත්තේය. එම රජය සමයේ සිදුවූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගත්තේ බොදු ජනතාව සහ මහා සංඝරත්නය රාජපක්ෂවරුන් පිළිබඳ ජනමතය යළි අවදි කිරීමෙනි.
වර්තමාන රජය බොහෝ දෙනා සලකන්නේ නිරාගමික රජයක් ලෙසය. එක් ආගමකට ප්රමුඛතාවක් එම රජයෙන් නොලැබේ. 2015 යහපාලන රජය බිහි කිරීමට දායක වූ පිරිසම වත්මන් රජය වටා පෙළ ගැසී සිටින ආකාරය දැකගත හැකිය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුරු ගලවා ගිහි ඇඳුමකින් අධිකරණයට ගෙන ආ සිදුවීමත් සමග භික්ෂූන් වහන්සේලා රජයට එරෙහිව පෙරමුණ ගෙන ඇති බවක් දැක ගත හැකිය. ඒ අනුව ඉදිරි මැතිවරණය පෙළ ගැසෙන්නේ බොදුනුවන් පෙරටුකරගත් ජයග්රහණකට ද?
ජනතාවගේ ජාතික හැඟීම් අවදි කර ලබාගත් පළමු පාර්ලිමේන්තු මැතිවරණ ජයග්රහණය ලෙස වාර්තා ගතව ඇත්තේ 1956 බණ්ඩාරනායක රජය බලයට පත්වූ මැතිවරණයයි. එතෙක් රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය සිංහල දෙමළ හා මුස්ලිම් යන ජාතීන් තුනම එකමුතු කමෙන් රාජ්ය පාලනය කළ ගමන් මග වෙනස් වුණේ ශ්රීලනිපය සිංහල ජනතාවගේ බහුතර ඡන්දයෙන් රාජ්ය බලය අල්ලා ගන්නට 1956දී සමත් වූ නිසාය. මෙම බෞද්ධ ජයග්රහණය සඳහා යටත් විජිත පාලන සමයේ සිටම ජනතාව මුහුණ දුන් ප්රශ්න ගණනාවක්ම හේතු විය. අන්ය ජාතීන් මුල් කරගත් එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ සිංහල භාෂාව බුද්ධාගම සහ බෞද්ධ සංස්කෘතිය යටපත් වී ඇති බව වසර ගණනාවක් තිස්සේම බෞද්ධ නායකයන්ගේ සටන් පාඨයක් ලෙස තිබිණි. ආර්ථික වශයෙන්ද සිංහල ජනතාවට වඩා අන් ජාතීන්ට තැන ලැබී ඇති බවත් තම ජනතාව මුහුණ දී සිටි එම ගැටලු ගැන රජයේ අවධානය යොමුවිය යුතු බවත් සිංහල බෞද්ධයන්ගේ මතය විය. එහෙත් ඒ වනවිට බලයේ සිටි සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ රජය යටතේ සිංහල බොදු මතවාදයට පිළිගත් පැහැදිලි පිළිතුරක් නොලැබුණි. නිදහස ලැබීමෙන් පසුව වුවද සිංහල බෞද්ධ බහුතරයේ අයිතිවාසිකම් ගැන හෝ සංස්කෘතිමය ජාතික උරුමය ගැන හෝ දේශීය රජවරුන් බුදු සසුන ආරක්ෂා කිරීමට කළ මෙහෙය ගැන හෝ එජාප රජයෙන් අවධානය යොමු නොවීය. බුද්ධ ශාසනයේ ආරක්ෂාවට රජයෙන් ප්රමාණවත් තරම් ආරක්ෂාවක් හෝ අනුග්රහයක් නොලැබුණු බැවින් බෞද්ධ ජනතාව සිටියේ මහත් සංවේගයෙනි.
1948 නිදහස ලැබීමෙන් පසු බුද්ධ ශාසනය මුහුණ දී සිටින තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එය ඉටු නොවීය. ඒ පිළිබඳවද මහජන විරෝධයක් පැනනැගුණි. ඒ සඳහා මැදිහත් වීමට සිදු වූයේද මහා සංඝරත්නයටමය.
රට අල්ලාගත් මුල් කාලයේ බුද්ධාගමට කොතරම් ගැරහුවද, 1818 කැරැල්ලේදී බෞද්ධ භික්ෂූන් මරා දැමුවද යටත්විජිත ඉංග්රීසි ආණ්ඩුව පවා ඉන් අනතුරුව බුද්ධාගමට මුල් තැනදී කටයුතු කළේය.
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් පත් කළ බෞද්ධ තොරතුරු පරීක්ෂණ කමිටු වාර්තාව මගින් එම තොරතුරු සොයා බැලූ අතර සිංහල රජවරුන්ගේ ආධාර ලැබුණු කාල සීමාවල බුදු සසුන දීප්තිමත්ව බැබලුණු අන්දමත් විදේශීය පාලකයන් හා දකුණු ඉන්දීය රජවරුන් යටතේ බුදු සසුන වේගයෙන් පරිහානියට පත්වූ අන්දමත් එමගින් පැහැදිලිව වාර්තාවේ කරුණු සෑම පන්සලකදීම ජනතාවට පෙන්වා දුන් අතර එමගින් රජයට එරෙහි ජනතා විරෝධය වර්ධනය විය. භික්ෂුන් වහන්සේලා නිරතුරුවම ධර්ම දේශනාවලදී ජනතාවට පෙන්වා දුන්නේ එජාප පාලනය සිංහල බෞද්ධයන්ට නොසලකන බවය.
මෙම හේතු මත සිංහල හා බෞද්ධ නායකයන්ද රට පිළිගත් මහා සංඝරත්නයද පෙළ ගැසුණේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පෙරටු කරගත් ‘මහජන එක්සත් පෙරමුණ’ මැතිවරණයෙන් ජයග්රහණ කරවීමටය. මෙම කාලය පුරාම විහාරස්ථාන තුළ තම දායකයන්ට නිරතුරුවම සිහිපත් කෙරුණේ බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ ජයග්රහණය කරවිය යුතු බවය. මැතිවරණ ජයග්රහණය ලැබුණේ ඒ අනුවය.
එම මැතිවරණ පරාජයන් පසුව එක්සත් ජාතික පක්ෂය පවා තම ප්රතිපත්ති වෙනස් කළේය. බෞද්ධ බලවේගය නොසලකා හැරිය නොහැකි බව එජාපයද තේරුම් ගත්තේ 1956 සිංහල පළාත් වලින් ලැබූ දරුණු පරාජයෙන් පසුවය. ඒ අනුව 1965 මැතිවරණය ජයග්රහණය කිරීම සඳහා ඩඩ්ලිට පෞද්ගලිකවම බෞද්ධකම පෙරට දැමීමට සිදුවිය.
රට අල්ලාගත් මුල් කාලයේ බුද්ධාගමට කොතරම් ගැරහුවද, 1818 කැරැල්ලේදී බෞද්ධ භික්ෂූන් මරා දැමුවද යටත්විජිත ඉංග්රීසි ආණ්ඩුව පවා ඉන් අනතුරුව බුද්ධාගමට මුල් තැනදී කටයුතු කළේය. ක්රිස්තියානි බැතිමතුන් වූ ඉංග්රීසින් කරුණු කාරණා වටහා ගත් පසු තේරුම් ගත්තේ භික්ෂුව පෙරටු කරගත් මෙරට බෞද්ධ සමාජය අමනාප කරගෙන රට පාලනය කළ නොහැකි බවය. උඩරට රාජ්යය ඉංග්රීසින්ට හිමි කරදුන් සටකපට ජෝන් ඩොයිලි පවා භික්ෂුවකගේ සිවුරු ගැලවීමට උත්සුක වූයේ නැත. ඔහුගේ අගනා කෘතියක් වන ‘සිංහලේ ආණ්ඩු ක්රමය’ නමැති ග්රන්ථයේ මෙම සටහන එයට මනා සාක්ෂියකි.
“1830 සැප්තැම්බර් 8 කුරුණෑගල අධිකරණ ඒජන්ත තැනට...
මහතාණනි, බෞද්ධ භික්ෂුවක් හොරකම හා බොරු දිව්රීම සම්බන්ධයෙන් වරදකරු යැයි වාර්තාකොට මවෙත එවුණු ඔබගේ ලිපියට හා විනිශ්චය සහායකයන් ඔහුගේ සිවුර ගැලවිය යුතු යැයි කළ ඉල්ලීමට පිළිතුරු වශයෙනි. මහනුවර අස්ගිරි විහාර පාර්ශ්වය හා මල්වතු විහාර පාර්ශ්වය යන පාර්ශ්ව දෙකින් යමකට හිරකාරයා අයිතිනම් ඒ පාර්ශ්ව බාර සත්කෝරල අනුනායක උන්නාන්සේගේ පන්සලට ඔහු යැවිය යුතුය. එහිදී ඒ අනුනායක උන්නාන්සේ විසින් හිරකාරයාගේ සිවුරු අස් කෙරෙයි.....”
ඩොයිලිගේ එම ලිපියේ සඳහන් පරිදි බෞද්ධයන්ට හා භික්ෂුවකගේ සිවුරු ගැලවීමට හදිස්සි වූයේ නැත. ඒ කටයුතු භාර කළේ අදාළ නිකායටය. වැරදිකාරයකු වූ භික්ෂුවකගේ සිවුරු ගැලවීම මෙරට චාරිත්රයක් බවද ඩොයිලි කියයි. ඉංග්රීසින් ඒ චාරිත්රවලට ගරු කළ අතර එම කටයුතු තමන්ගේ අැගේ ගාගන්නේ නොමැතිව අදාළ සංඝ සභාවට පැවරීය.
යටත් විජිත යුගයේ බන්ධනාගාරවල සේවය කළ අන්ය ආගමික නිලධාරීන් වැඩි වාසි පතා වැරදිකාරයන්ව බන්ධනාගාරයට එන භික්ෂුන්ගේ සිවුරු ගැලවීමට තැත් කළත් නිදහසින් පසු ලංකාවේ සිවුරට යම් ගරු කිරීමක් තිබිණ. රජයට එරෙහිව ජනතාවගේ විරෝධයක් පැන නැගුණේ යටත්විජිත නීතිවලටත් වඩා කඩිනම් නීතියකින් සිවුර ගැලවීමට හදිස්සිවීම නිසාය. තම පක්ෂ ප්රතිපත්ති ප්රකාශයේ ආගම ගැන කුමන ප්රතිපත්තියක් තිබුණද රාජ්යයක් පාලනය කරද්දී ජනතාවගේ ආගමට, දහමට සිරිත්විරිත් වලට ගරු කළ යුතුය. පොහොද්දරමුල්ලේ හේමාලෝක හිමියන්ගේ කටට වෙඩි තබා මරා දැමූ 1989 ජවිපෙ කැරලිකරුවන්ගේ නීතිය රාජ්ය බලය ලත් ජවිපෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නැත.
සිවුරු හැඳ සිටි ඥානසාර හිමියන්ට වඩා සිවුරු ගැලවූ ඥානසාර හිමියන් ආණ්ඩුවේ ඡන්ද පදනමට විශාල හානියක් කළේය. ඥානසාර හිමියන් සිරගත කරන තුරුම සංවිධානාත්මක බෞද්ධ බලවේගයක් මතුව තිබුණේ නැත. සිවුරු හැඳසිටි ඥානසාර හිමියන් කෙරෙහි පැහැදීමකින් නොසිටි ජනතාවට පවා ආණ්ඩුව කෙරෙහි යම් අප්රසන්න බවක් ඇති වූයේ උන්වහන්සේ ගිහි ඇඳුමකින් උසාවියට ගෙන ආ පසුය. එය අහඹු සිදුවීමක් ලෙසද ජනතාව නොසිතුවේ ඥානසාර හිමියන්ට ‘ජම්පර්’ ඇන්ඳවූ බවට බන්ධනාගාර නිලධාරියකු මාධ්යයට ප්රකාශ කළ නිසාය. තමන් අනාගමික රජයක් බවට ආණ්ඩුවේ දේශපාලකයන් නිරතුරුව ගෙනයන මතවාද නිසාද බොදු ජනතාව කම්පනයට පත්වීම වැළැක්විය නොහැකි විය. සිවුරු හැඳසිටි භික්ෂුවකගේ සිවුරු ගලවා ගිහිවෙස් ගන්වා තිබෙනු දැකීම බොදු ජනතාවට කම්පනයක් ගෙන එයි. භික්ෂුව කුමන “පබ්බජ්ජීය කර්ම” කළද ගිහි සමාජය සිවුරට කරන ගරු සරුවක් ලෙස ඒ ගැන කතා කරන්නට පවා අකමැත්තක් දක්වයි. බොදු සමාජය ගරු කරන්නේ සිවුරු දරන පුද්ගලයාට නොව ඔහු හැඳ සිටින සිවුරටය. ඒනිසා සිවුරු පිළිබඳ ප්රශ්නවලදී ඒ පිළිබඳ ප්රශ්න නිරාකරණය කර ගැනීම අදාල නිකායට භාරදීමට රජය තීන්දුවක් ගත යුතුව තිබිණි. මන්දයත් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම එක් මොහොතකින් සිදු වූවක් නොවන නිසාය.
ආණ්ඩුව තමන්ගේ සම්පූර්ණ දේශපාලනයම කරමින් සිටින්නේ උසාවිය සහ බන්ධනාගාරය භාවිතා කරමිනි. ඒ ඒ දිස්ත්රික්කවලින් තමන්ට අභියෝගයක් එල්ල වනු ඇතැයි විශ්වාස කෙරෙන අසූ දෙනකුගේ ලැයිස්තුවක් සකසා ඔවුන් විවිධ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර සිරගත කරමින් ඇතැයි විපක්ෂය කියයි. 22 වැනි සංශෝධනයෙන් අධිකරණ ක්ෂේත්රයම තම පාලනයට ගැනීමට රජය සමත්ව ඇති බව කියන විපක්ෂය එමගින් රටේ නීතියද මාලිමාව දෙසට හරවා ඇතැයි චෝදනා කරයි. ඒ අනුව ආණ්ඩුව තම විරුද්ධවාදීන් සිරගත කරමින් රට පාලනය කරන බවක් පෙනී යයි. විරුද්ධවාදීන් සිරගත කරමින් යන මෙම ගමනේ අවසානය කුමක්වේ ද?
ආණ්ඩුවේ දේශපාලකයන් තුළ විවිධ ආගමික අදහස් පැවතිය හැකි මුත් දිවි නසා ගැනීමට කැමැත්තෙන් පසුවන ආණ්ඩුවක් හැර අන් ආණ්ඩුවක් භික්ෂුන් වහන්සේලා පෙරටු කරගත් බෞද්ධ බලවේගය සමග හැප්පෙන්නට යන්නේ නැත. සිවුරු දරණ සංඝ සමාජය පිටුපසින් ඔවුන්ගේ හඬට සවන් දෙන විශාල පිරිසක් සිටින බව රජය තේරුම් ගත යුතුය. අති විශාල ජනවරම් ලැබ බලයට ආ ආණ්ඩු ඉතා ඉක්මනින් විනාශවී ගියේ කුඩා සිදුවීම් විශාල සිදුවීම් බවට පෙරළීමෙන් බව මෑත ඉතිහාසය අපට උගන්වයි. යම් දිනක ආණ්ඩුවට ප්රධානම අභියෝගය ලෙස මහා සංඝරත්නය නැගී සිටීමට පෙර තමන් පිළිබඳ ස්වයං විවේචනයක යෙදීම ආණ්ඩුවට ලාබදායකය.
ප්රේමකීර්ති රණතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd