රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති හා හිටපු අමාත්ය නවීන් දිසානායක සමග කළ සාකච්ඡාවකි.
ප්ර ඔබේ පියා ගාමිණී දිසානායක මෙරට සිටි කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහු නියෝජනය කළ යුගය සහ අද යුගය අතර වෙනස ඔබ කොහොමද දකින්නේ.
පිළිතුර:- එතුමා 94 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ රටේ තිබුණේ ද්විපාක්ෂික ක්රමයක්. දේශපාලනය දකුණ හා වම කියල බෙදිලා තිබුණේ. සාම්ප්රදායික වම ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කඳවුර නියෝජනය කළා. සාම්ප්රදායික දකුණ කියලා දැක්කේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ඒ කඳවුරයි. අද ඒ දේශපාලන ක්රමය කඩා වැටිලා පාක්ෂිකයන් කියලා කොටසක් හිටියට එජාපය සහ ශ්රී ලනිපය විශාල වෙනසකට ලක්වෙලා තියෙනවා. ඒ පක්ෂවල සිටි ඡන්දදායකයන් අද අතරමං වෙලා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ මාලිමාව දෙසට හැරිල තියෙනවා. අලියා කියන එජාප පාක්ෂිකයන්ගෙන් වැඩි පිරිසක් සජබෙට ගිහින් තියෙනවා. දැන් තියෙන්නේ ත්රිකෝණාකාර දේශපාලනයක්. මේක අපි හඳුනාගෙන බලය ලබාගැනීමට හා බලය රැක ගැනීමට ක්රියාකළ යුතුයි. එහෙම නැතිව දේශපාලන බලය ලබා ගන්න අපට අමාරුයි.
ප්ර සංවර්ධන ව්යාපෘති දේශාලකයන්ගේ බිස්නස් එකක් හැටියටයි හඳුන්වන්නේ. කඩිනම් මහවැලි ව්යාපාරය ඔබේ පියාගේ නිර්මාණයක්. ඉහත අපවාදයෙන් ඔබේ පියාට ගැලවීමක් තියෙනවා කියලා ඔබ හිතනවද?
පිළිතුර:- අනිවාර්යෙන්ම ඔව්. කඩිනම් මහවැලි සංවර්ධන ව්යාපෘතිය මේ රටේ ඉතාම සුවිශේෂ වූ සංවර්ධන ව්යාපෘතියක්. ඒකට ජාතික තලයේ ඉලක්ක බොහෝ තිබුණා. එකක් තමයි විදුලි උත්පාදනය. ඊයේ පෙරේදා විදුලි කප්පාදුවක් වෙච්ච දවසේ මම ගුගල් එකෙන් සර්ච් කළා ලංකාවේ විදුලිය පරිහරණය ගැන. අදටත් මේ කතාකරන වෙලාවෙත් මහවැලි වතුරෙන් විදුලිය උත්පාදනය කරනවා. විදුලි පාරිභෝගිකයන්ගෙන් පහෙන් එකකට විදුලිය එන්නේ මහවැලිය හරහා. ඒ නිසා මහවැලි ව්යාපාරයට ඒ කළ ආයෝජනය සිය දහස් වාරයකින් ‘රිටන් කරලා තියෙනව ජනතාවට. අනික් එක තමයි අපේ ආහාර නිෂ්පාදනය එදා වියළි කලාපයට පමණක් සීමා වී තිබුණ වී ගොවිතැන අද වියළි සහ තෙත් කලාප දෙකටම යොමු වී තියෙනවා. ඒකෙන් වී නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩිවෙලා. අපි අංග සම්පූර්ණ වී නිෂ්පාදය කරන රටක් බවට පත්වෙලා තියෙනවා.
ප්ර මගේ ප්රශ්නය වුණේ?
පිළිතුර:- අපි මේක අවසන් කරලා ඉමු. තුන්වැනි කාරණය තමයි ග්රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම. පසුගිය දවස්වල මම මහියංගණය, අනුරාධපුරය යන පළාත්වල සංචාරය කළා. ඒ ප්රදේශවල විශාල දියුණුවක් ඇතිවෙලා තියෙනවා. මගේ පියා යටතේ නාගරික සංවර්ධනයක් සිදුවුණා. එතුමා අලුත් නගර නිර්මාණය කළා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙ ගම වන තඹුත්තේගමත් මහවැලිය නිසා විශාල සංවර්ධනයක් වුණා. තාමත් ඒ ප්රදේශවල මිනිස්සු මගේ පියාට පහනක් පත්තු කරනවා. පියාට පින් දෙනවා.
ප්ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවෙන් ඔබට තවම කැඳවීමක් නැද්ද?
පිළිතුර:- ඇයි ඔබ ඒ ප්රශ්නය මගෙන් අහන්නෙ?
ප්ර හිටපු මැති ඇමැතිවරු පෝලිමේ හිරේ යනවා. සමහරු ඉන්නේ ඇප පිට, තව සමහරු සැකපිට. ඔබත් හිටපු ඇමැතිවරයෙක්?
පිළිතුර:- ඔබේ ප්රශ්නයට මගේ කෙළින් පිළිතුර තමයි නෑ කිසිම කැඳවීමක් නෑ කියන එක. මට එහෙම දෙයක් වෙලත් නෑ. වෙන්නෙත් නෑ. මොකද මගේ හදවතයි මගේ අත් දෙකයි පවිත්රයි කියල මම දන්නවා.
ප්ර නමුත් විපක්ෂයෙ සමහරු කියන්නේ ආණ්ඩුව විපක්ෂය දඩයම් කරනව කියලයි.
පිළිතුර:- පැහැදිලිවම ඒක පේනවනේ. හොරු අල්ලනවට, වංචාව, දූෂණය පිටු දකිනවට, අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. නමුත් අපට පැහැදිලිව පේනවා දේශපාලන අරමුණකින් තමයි මේ පරීක්ෂණ සිදුවෙන්නේ කියලා. ආණ්ඩුවේ අතකොළු බවට සමහර ආයතන පත්වෙලා තියෙනවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ සාධාරණය හා යුක්තිය ඉටුවෙයි කියලයි. නමුත් එහෙම නෑ. හොරකමක් කරලා තියෙනවානම් නීතිමය විධිවිධාන යටතේ ඒවාට පියවර ගත යුතුයි. නමුත් අපට පැහැදිලිව පේනවා එක ආයතනයක් පාවිච්චි කරගෙන දේශපාලන දඩයමක් කරනවා කියලා. මේකේ බැලන්ස් එකක් තිබිය යුතුයි. නීතිය අතකොළුවක් බවට පත් කර ගැනීම ගැන රටේ ජනතාව සුපරික්ෂාවෙන් සිටිය යුතුයි.
ප්ර ඔබ ඔය ප්රශ්නය බරපතළයි කිව්වට විපක්ෂය ඒකාබද්ධව හඬක් නගන්නේ නෑනේ. විපක්ෂය පොල් මල පොළොවෙ ගැහුවා වගේ?
පිළිතුර:- විපක්ෂය කිව්වම කණ්ඩායම් ගොඩක් ඉන්නවනේ. මට විශේෂයෙන්ම මතක් වෙන්නේ 1977 පස්සේ ශ්රී ලංකා නිදහස් පක්ෂයට වමේ දේශපාලනයට එවැනි දැවැන්ත පරාජයකින් පස්සේ නැවත එකතු වෙන්න කාලයක් ගියා. ඒක අමාරු කාර්යභාරයක්. අපට වැරැදුණේ කොතැන ද? අපෙන් විය යුතු කාර්යභාරය මොකක්ද? දේශපාලන නායකයන්ගේ ‘ලයිනප් එක මොකක්ද? 77 දී තිබුණු දර්ශනයමද අපට තවමත් තියෙන්නේ?
එක්සත් ජාතික පක්ෂය තමයි විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දුන්නේ. ඒකට විශාල චෝදනා ආවා. නමුත් අදටත් ක්රියාත්මක වෙන්නේ ඒ ආර්ථික ක්රමයමයි. ලංකාව දූපතක් වුණාට අපට දූපත් මනසක් තිබෙන්න බෑ. අපි ජාත්යන්තරයත් එක්ක විශේෂයෙන්ම ආසියාවෙ අපේ හිත මිත්රයන් වන ඉන්දියාව සහ චීනය එක්ක එකමුතුයි. ඒවා ලෝකයේ තිබෙන ප්රධානම ආර්ථික ක්රම දෙකක් බවට පත් වෙලා ඉවරයි. අපි කරන්න ඕනෑ ඒකෙන් අපි කොටසක් උදුරා ගන්න එක. අපි ජනතාවට අවශ්ය පහසුකම් ටික ලබා දුන්නොත් අපිට දකුණු ආසියාවේ පමණක් නොවෙයි ආසියාවම දියුණු රටක් බවට පත්වෙන්න පුළුවන්. ඒක කරන්න නිවැරදි දේශපාලන නායකත්වයක් අවශ්යයි. මුළු ලෝකයම යන්නේ ‘ධනේශ්වර රටාවට. ධනේශ්වර කියන වචනය පාවිච්චි කරන්න මම කැමති නෑ. ඒක කැත වචනයක් බවට ලංකාවේ පත් කරලා තියෙන නිසා. නමුත් ව්යවසාය මානසිකත්වයෙන් අපේ රට දියුණු කරන්න අපට හැකියාව තියෙනවා. මැද දක්ෂිණංශික මොඩලයකින් අපට ඒක කරන්න පුළුවන්. අපේ ආර්ථිකය තවත් ලිහිල් කරලා සම්පත් ලබා දීලා දුප්පත්ම කොටස්වලට අවශ්ය සහන ලබාදීම අපි කළ යුතුයි.
ප්ර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් සම්බන්ධයෙන් රටේ කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ කොහොමද ඒ කතිකාව දිහා බලන්නේ?
පිළිතුර:- ඥානසාර හාමුදුරුවන් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉතාමත් පැහැදිලියි. නමුත් අපේ ස්ථාවරය වෙන්නේ මේක නීතිමය කෝණයෙන් විතරක් බලන්නේ නැතිව විශේෂයෙන්ම සිවුරේ ගරුත්වය ආරක්ෂාවන පරිදි කටයුතු කළ යුතු බවයි. ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ද නීතිය පැත්තෙන් ජනාධිපතිතුමා හරි වුණත් අපි කියන්නේ රටේ සියයට 70ට වැඩියෙන් බෞද්ධයන් ඉන්න රටක් හැටියට.. විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය රටේ ප්රධානම කේන්ද්රය බවට පත්වෙලා තියෙන රටක් හැටියට මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සානුකම්පිතව බැලිය යුතුයි. මහා සංඝරත්නය හා සිවුර ගැන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම බැලිය යුතුයි කියන කාරණය තමයි මට මෙතැනදි අවධාරණය කරන්න තියෙන්නේ.
ප්ර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතුවීම සිදුනොවන්නක් බවට පත්වෙලා කියලා මම යෝජනා කළොත්?
පිළිතුර:- නෑ එහෙම කොහොමවත් වෙන්නේ නෑ. මම හැමදාම කිව්වේ මේ පක්ෂ දෙක එකතු විය යුතුයි කියලයි. පක්ෂ දෙකේ නායකයන් දෙන්නටම මම පැහැදිලිව කියලා තියෙනවා මුළු රටම බලාගෙන ඉන්නේ මේ පක්ෂ දෙකේ එකතුවීම දිහා කියලා. සාම්ප්රදායික එක්සත් ජාතික පක්ෂ ඡන්ද එක තැනකට ගෙන ඒම තමයි අපේ යුතුකම. පක්ෂ දෙකක් එකමුතුව දැනට සුබවාදීව තියෙනවා. පක්ෂ දෙකේ නායකයන් දෙදෙනාම ඒ සම්බන්ධයෙන් ධනාත්මකව බලනවා කියලයි මට කියන්න තියෙන්නේ.
ප්ර පක්ෂ දෙකේ එකමුතුවට එරෙහිව පිරිස පක්ෂ දෙකේම ඉන්නවා කියල මම කිව්වොත්?
පිළිතුර:- පක්ෂ දෙකේම ඉන්නවා ඉතා සුළු කොටසක්. මේ එකමුතුවට කැමැති නැති නමුත් බහුතරය ඉන්නේ පක්ෂ දෙකේ සමගිය වෙනුවෙන්. අප බෙදී වෙන්වෙලා ගිය එකේ පාඩුව අපි පහුගිය කාලයෙදි දැක්කනේ. ඒ නිසා එකතුවීම හැර අපට වෙනත් විකල්පයක් නෑ.
-ප්රසන්න සංජීව තෙන්නකෝන් -( I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd