(අංජුල මහික වීරරත්න)

කඩාවැටුණු ආර්ථිකය ගොඩනගමින් ඉදිරියට යාමට සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ හරිත ආර්ථික සංකල්පවලට අනුව යැයි ද එක්සත් ජාතික පක්ෂය ලෝක පරිසර නීති ද අධ්‍යයනය කර නව පරිසර ප්‍රකාශනයක් සම්පාදනය කළේ යැයිද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් තත්ත්වයන්ට විසඳුම් ලෙස ඉක්මනින් ජාතික උරුම වන වනාන්තර විනාශය නතර කිරීමට හා පරිසර ආරක්ෂාව නීතියෙන් තහවුරු කළ යුතු බව කී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය හරිත ප්‍රකාශයක් රටට දායාද කරන්නේ ඒ වෙනුවෙන් බවද කීය.

පක්ෂයේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් නුගේගොඩ පැවති තරුණ හමුවකදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

සිංහරාජය ආශ්‍රිතව ජනාවාස ඉදිකර ජලය හම්බන්තොටට ගෙන යෑම පිළිබඳ අදහසක් රජය ඉදිරිපත් කර තිබෙනවා. එය නීතියට විරුද්ධයි. 1988 වසරේ සම්මත කරගත් නීතිය ක්‍රියාත්මක කරනවා නම් මෙවැනි ජලාශ හදන්න හැකියාවක් නැහැ. ඒ නිසා අප මේ කාරණයට විරුද්ධ වුණා. ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව ජල ගැලීම් ඇති වෙනවා. එය වළක්වා ගැනීම සඳහා සිංහරාජයෙන් පිටත ජලාශ ඉදිකිරීම පිළිබඳව යෝජනා මීට පෙර පැමිණ තිබුණා. ඒ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී අදාළ පරිසර වාර්තා ගත යුතු බවට අප කොන්දේසි පනවා තිබුණා. උමගකින් ජලය ගෙන යනවා නම් එහි සුරක්ෂිතතාවය පිළිබඳව වාර්තා අවශ්‍යයි. කෙසේ වෙතත් මේ කරන කිසිම යෝජනාවකින් සිංහරාජ වනාන්තරයට හානියක් වන්නට බැරි බව අප පැහැදිලිව ම එදා සඳහන් කළා.

සිංහරාජය යනු රට මැද පිහිටි වනාන්තරයක්. සිංහරාජ වනාන්තරය විනාශ කරන්නට ගියහොත් රටට විශාල විනාශයකට මුහුණදෙන්නට සිදු වෙනවා. සිංහරාජයේ අක්කර පහක් කපා වෙනත් තැනක අක්කර 10ක් සිටවූවා යැයි කියා හානිය වළක්වන්නට බැහැ. ඒවා බොළඳ කතා පමණයි. පැරිස් ගිවිසුම අනුව කටයුතු කරනවා නම් අපට මෙලෙස වනාන්තර කපා දමන්නට හැකියාවක් නැහැ. අප කළ යුත්තේ වනගහනය වැඩි කිරීමයි. සිංහරාජය වැනි වනාන්තරයක් ප්‍රතිනිර්මාණය කරන්නට හැකියාවක් නැහැ.

වනාන්තර යනු තරුණ පරපුරේ අනාගතයයි. පරිසරය රැක ගැනීමට වෙහෙසී ක්‍රියා කළ යුතු බව කොරෝනා වසංගතයෙන් පසුව මුළු රටටම අවබෝධ වී තිබෙනවා. පරිසරය ආරක්ෂා කරන අතරම ඒ සම්බන්ධ නීති පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. පළමුවෙන්ම තිබෙන සම්පත් ආරක්ෂා කළ යුතුයි.

සිංහරාජය යනු අපේ ජාතික උරුමයක්. විජය රජතුමාගේ කාලයේ සිට අද දක්වා සිංහරාජය වනාන්තරයක් ලෙස ආරක්ෂා වී තිබෙනවා. අතීතයේ රජරට වනාන්තර කපා එහි ජනාවාස ඇති වුණා. උඩරට වනාන්තර කපා තේ වගා කළා. නමුත් සිංහරාජය හැමදාම ව්‍යාපාරයක් ලෙස පැවතුණා. එය මුළු ලෝකයටම වැදගත් කාරණයක් බව කිව යුතුයි.

සුද්දන්ගේ කාලයේ සිංහරාජය හැඳින්වූයේ සිංහරාජ මූකලාන යනුවෙන්. සිංහරාජයේ ගස් කැපීම ආරක්ෂා කර ගැනීමට 1978 වසරේ දී ජේ.ආර්. ජයවර්ධන රජය සිංහරාජය ඇතුළු වනාන්තර ජාතික උද්‍යානය ලෙස නම් කළහ. මෙහි වැදගත්කම නිසා 1988 වසරේ දී අප ජාතික වන භූමි උරුම පනත සම්මත කළා. මේ අනුව සිංහරාජ වනාන්තරයේ ගස් කපන්න තියා කොළයක් කඩන්නවත් බැහැ.

ජනතාව පක්ෂ පාට ජාති භේදයෙන් තොරව සිංහරාජය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් විය යුතුව තිබෙනවා. පක්ෂයක් ලෙස අපත් ඒ පිළිවෙත අනුගමනය කරනවා.

අදාළ පනත අනුමත කළ 1988 කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස මේ පිළිබඳව කතා කිරීමට මට විශේෂ අයිතියක් තිබෙනවා. මේ ප්‍රශ්නය දේශපාලනීකරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතය නොවෙයි. මෙය තම පක්ෂවල ප්‍රතිරූපය ගොඩනගා ගන්නට පාවිච්චි කළ යුතු මාතෘකාවක් ද නොවෙයි.

වන විනාශයට එරෙහිව මූලික වැඩ කටයුතු කළ යුත්තේත් ඉදිරියට පැමිණිය යුත්තේත් රටේ ජනතාවයි. අපට හැකි උපරිම අයුරින් ඒ ජනතාවට සහයෝගය ලබාදිය යුතුයි. වන විනාශයට එරෙහිව නඩු පවරන්න මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දීමට පක්ෂයක් ලෙස අප තීරණය කර තිබෙනවා. ඊට අමතරව පරිසරය සම්බන්ධව ක්‍රියා කරන්න සෙසු ජාත්‍යන්තර සංවිධානවලට දැනුම් දීමට ද අප අදහස් කර තිබෙනවා. අප මේ පියවර රගන්නේ වන විනාශය නතර කිරීම අරමුණු කරගෙනයි. එමෙන්ම පරිසරවේදීන් ඇතුළු ජනතාව වන විනාශය නතර කිරීම සම්බන්ධයෙන් හඬනැගිය යුතුයි.

ආර්ථිකය වේගයෙන් දියුණු කළ යුතුයි. එය කළ යුත්තේ හරිත ආර්ථික සංකල්පයට අනුවයි. හරිත ආර්ථිකයක් හදන්න නම් ඒ පිළිබඳ නීති පද්ධතියක් අලුතින් සකස් කළ යුතුව තිබෙනවා. රටේ අවධානය මේ පද්ධතිය දෙස යොමු විය යුතුව තිබෙනවා. පළමුවෙන්ම නව වන ආරක්ෂණ නීතියක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ස්විට්සර්ලන්තයේ වනාන්තර නීතියෙන් අපට ආදර්ශ ගත හැකියි. මෙම නීතිය සම්මත කර ගැනීමෙන් අනතුරුව ස්විට්සර්ලන්තයේ වන හෙක්ටයාර ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තය ගස් කොළන් ආරක්ෂා කිරීමේ නීතියක් සම්මත කරගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ ග්‍රාමීය හා නාගරික සැලසුම් පනතේ ගහකොළ ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම නීති ගෙනැවිත් තිබෙනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගණනාවකම ගහ කොළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වෙනම නීති ගෙනැවිත් තිබෙනවා.

වනාන්තර මෙන්ම ගංගා ඇළ දොළවලටත් අපගේ අවධානය යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් වෙනම ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. කඳුකරයෙන් ආරම්භ වන ගංගාවලට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ජපානයේ ගංගා සම්බන්ධ නීතිය මීට හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

එමෙන්ම දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම නීතිගත කළ යුතුව තිබෙනවා. පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව ඉතාලියේ ද වැදගත් නීතියක් තිබෙනවා. හරිත ආර්ථිකය වර්ධනය කිරීමටත් පරිසරය ආරක්ෂා කිරීමටත් ජාතික සම්පත් ආරක්ෂා කිරීම සඳහාත් එම නීතිය සකස් කර තිබෙනවා. හරිත සංවර්ධනය ට පරිවර්තනය කිරීමේ නීතිය ප්‍රංශය විසින් ඉදිරිපත් කර තිබෙනවා. එම නීති දෙස අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

පරිසර අධිකාරි පනතේ එක අඩුවක් තිබෙනවා. ඒ පරිසර සංවිධාන සමග සාකච්ඡා කරන්නට අලුත් පදනමක් ඇතිකර නොමැති වීමයි. එවැනි පදනමක් ද නිර්මාණය කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා.

මේ සියල්ල කරන අතර අප එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගත් පරිසරය සම්බන්ධ සෙසු ජාත්‍යන්තර සංවිධාන සමඟත් සාකච්ඡා කිරීමට කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ වනාන්තර එකමුතුව ආදී සංවිධානවලටත් කරුණු ලිඛිතව දැනුම් දීමට අප බලාපොරොත්තු වෙනවා.

අප මේ කරුණු පදනම් කරගෙන හරිත ප්‍රකාශනයකට පැමිණිය යුතුයි. සියලුම පාර්ශ්වවල අදහස් ගෙන හරිත ප්‍රකාශයක් සකස් කළ පසුව මීළඟ ආණ්ඩුවට එය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතිනවා.

එලෙස සම්මත කරන හරිත ප්‍රකාශයට අනුකූලව ශීඝ්‍ර සංවර්ධනයක් ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. වර්තමානයේ දී පියවර දෙකක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. පළමුවැන්න ජාතික උරුම විනාශ කිරීම නතර කිරීමයි. දෙවනිව පරිසර ආරක්ෂණය නීතියෙන් තහවුරු කළ යුතුව තිබෙනවා. ආණ්ඩුව නීතියක් තිබියදී නීතිය කඩන්නට හදනවා. එයත් විශාල අපරාධයක්. වන විනාශයට එරෙහිව රට හැම තැනම උද්ඝෝෂණ පැවැත්විය යුතුයි. මේ සම්බන්ධයෙන් සියලුම දෙනා එකතු වී වැඩ කටයුතු කරමු.

පරිසරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව වෙනත් කිසිවකුත් මෙවැනි ක්‍රියාවලියක් ඉදිරිපත් කර නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ විනාශය නතර කරගෙන සියලුම දෙනා සමග එකතු වී අනාගතය වෙනුවෙන් හරිත ප්‍රකාශයක් දායාද කිරීමයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.