IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


විරුද්ධකාරයන් මොනව කීවත් රට විනාශ වෙලා නෑ

(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)

දේශපාලන විරුද්ධවාදීන් කුමන විවේචන කළත් වත්මන් රජය යටතේ රටේ කෘෂි ආර්ථිකය, ජාතික ආර්ථිකය හා හෙට දවස වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකර ඇති බවත්, දේශපාලනඥයන්ගේ ආරවුල් හා ගැටුම් පමණක් දකින මාධ්‍ය එවැනිදේ විකාශය නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.
මාධ්‍ය තුළින් පවසන ආකාරයේ විනාශයක් රටට වී නැතැයි කී ජනාධිපතිවරයා බුද්ධිමත් ජනතාව එය තේරුම් ගෙන ඇතැයිද සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 132 ක වියදමින් වැලිකන්ද නගරයේ ඉදිකළ නව ගොවි ජනසේවා මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ගොවි ජන හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

වැලිකන්ද ප්‍රදේශයේ ගොවි ජනතාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් අතරේ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන අය. ඔවුන්ගේ ජීවන රටාව, ආර්ථික පසුබිම ජීවත්වීමට තිබෙන්නාවූ අභියෝග, ගැටලු එක්, එක් ප්‍රදේශවල එය වෙනස් වෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවියෙකුගේ තිබෙන ප්‍රශ්නවලට වඩා පොලොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන්ගේ ප්‍රශ්න වෙනස්. පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය කවුඩුල්ල ව්‍යාපාරවල ගොවීන්ට තිබෙන ප්‍රශ්නවලට වඩා වැලිකන්දේ මහවැලි ව්‍යාපාරවල තිබෙන ගොවි ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු වෙනස්. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ මුල් ගොවි ජනපද සංකල්පය සහ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ අපේ රටේ උතුරු මැද, නැගෙනහිර විශේෂයෙන්ම එදා ඇතිවූ ගොවිජනපද ව්‍යාපාර තුළ එහි ආරම්භයත් සමඟ ඒවායේ සාර්ථකත්වය ඒ ජනතාව දකින්නේ රටක් විදියට අදයි.

ඒ අවුරුදු 60 ක් 70 ක් වගේ කාලයක් ගෙවී ගිහිල්ලා. ඒ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය සහ වැලිකන්ද ගොවි ජනතාවගේ ආර්ථිකයේ බොහෝ වෙනස්කම් තිබෙනවා. ජීවන තත්ත්වයේ බොහෝ ප්‍රශ්න තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය අනෙකුත් ජීවන රටාවන් ඒ සියල්ල තුළ වෙනස්කම් රාශියක් තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම ඒවා හඳුනාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

වැලිකන්ද ජනතාව මුහුණදෙන වල් අලි ප්‍රශ්නය සහ පානීය ජල ප්‍රශ්නය පිළිබඳව මෙතැනදී ඉදිරිපත් වුණා. ඒ ප්‍රශ්න දෙකටම මේ වනවිට මූලික විසඳුම් දීලා තිබෙනවා.

ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය මේ රටේ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රමුඛ කාර්ය උසුලන ආයතන. කෘෂිකර්ම ඇමැතිවරයකු විදියට මට තිබෙනා අවුරුදු පහක අත්දැකීම් එක්ක මම දන්නවා කෘෂිකර්ම අමාත්‍යංශයත්, මහවැලි අමාත්‍යංශය වගේම වාරිමාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව දැනට කරන සංවර්ධන කටයුතුවල යහපත් ප්‍රතිඵල රාශියක් ඉදිරියේදී තවත් ඵලදායී ලෙස ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.

මේ රටේ වැඩිපුර දුක් විඳින්නේ ගොවි ජනතාව. ඒ තුළ වඩාත් දුෂ්කරතාවට පත්වෙච්ච ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. තමුන්නාන්සේලාගේ ජීවිත තුළ සැපතක් සතුටක් ලබපු අය නොවෙයි. තමුන්නාන්සේලාගේ ප්‍රාර්ථනා තිබෙන්නේ තමුන්නාන්සේලා ගත කරන ජීවිතය තමුන්නාන්සේලාගේ දරුවන්ට නොදීමයි. ඒ සඳහා අපි රජයක් විදියට කැප වෙනවා.

ඒ නිසා තමා මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධන ව්‍යාපෘති කරගෙන යන්න මේ ගොවිජන සේවා මධ්‍යස්ථානය තමුන්නාන්සේලාට ලබා දෙන්නේ. මෙය එදා හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමැතිතුමා 1970 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ ආරම්භ කළ ගොවිජන සේවා මධ්‍යස්ථාන හාරසිය ගණනක වැඩපිළිවෙළේ එක අවස්ථාවක්.

කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත්විට මේ වකවානුව මම දකින්නේ දේශපාලන විරුද්ධවාදීන් මොනවා කිව්වත් මොන විවේචන කළත් මේ රටේ ගොවි ආර්ථිකයට සහ කෘෂි ආර්ථිකයට ජාතික ආර්ථිකයට හෙට දවසට ඉතාම වාසනාවන්ත කාලයක්. අපි මේ වන විට නියඟයෙන් පීඩා විඳි ජනතාවට රුපියල් කෝටි දහස් ගාණක් දීලා තිබෙනවා. කිසිම ආණ්ඩුවක් එච්චර දීලා නෑ. නියඟය වෙනුවෙන් ආපදා වෙනුවෙන්.

තමුන්නාන්සේලා හවසට රූපවාහිනිය බලපුවහම නම් ඒව මොකක්වත් නෑ. ආණ්ඩුව කරන දේකුත් නෑ. ආණ්ඩුව කරපු දේකුත් නෑ. රූපවාහිනියේ දැන් හවසට තියෙන්නේ ඔක්කෝම දේශපාලනඥයින්ගේ ආරවුල් ගැටුම් බැණගන්න ඒවා. රටක් නෑ කියලා තමයි පෙන්නන්නේ. නමුත් රටක් ගොඩනගන්න ආණ්ඩුවක් විදියට ඒ වැඩ ඉතාම සාර්ථකව අපි කරලා තිබෙනවා.

කළුගඟ ජලාශයට ජලය එක් කිරීම ලබන 23 වැනිදා අපි සුබ මොහොතින් සුබ නැකතකින් පටන් ගන්නවා. කළුගඟ මොරගහකන්ද මහා ජලාශයත්, ඉහළ ඇලහැර ඇළ, වයඹ ඇළ, උතුරුමැද මහ ඇළ ඒ යටතේ හැදෙන වාරි පද්ධතිය වැව් 2400 ට රුපියල් කෝටි 22000 ක් අපි වැය කරනවා. මේ වනවිට රුපියල් කෝටි 11000 කට වැඩිය වියදම් වෙලා තිබෙනවා. ඒ ඇළවල්වල, වැව්වල වැඩ පටන් අරන් තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, කුවේට් අරමුදල, සෞදි අරමුදල විදේශීය මූල්‍ය ආයතන සියල්ලම අපිට සල්ලි සම්පූර්ණයෙන් දීලයි තියෙන්නේ. අපිට මුදල්වල කිසිම අඩුවක් නෑ. 

මේ රටේ පෙර රජ දවසෙන් පස්සේ මේ වගේ වාරිකෘෂි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා නෑ. ඒක බොහොම පැහැදිලිව කියනව. සමහර අය අහනවා අපි මොනවද කෙරුවෙ කියලා. අපි කරපු ඒවා පෙන්නන්න හවසට රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තට හරියන්නේ නෑ. ඒකෙ පෙන්නන්නේ ඔක්කොම රටේ අවුල් තමයි. ඒක නිසා ඒවා පෙන්නන්න පුළුවන් ඒ වැඩ කරන තැන්වලට ආපුවහමයි. මොරගහකන්දට ගියහම, කලුගඟට ගියාම වයඹ මහ ඇළ වැඩ පටන් අරන් තියෙනවා. උතුරු මහ ඇළ වැඩ පටන් අරන් තියෙනවා. ඉහළ ඇලහැර ඇළ පටන් අරන් තියෙනවා. වැව් 2400 පටන් අරන් තියෙනවා. කෝටි 22000 ක් මේ සඳහා වැය කරනවා. මම මේවා කියන්නේ තමුන්නාන්සේලාගේ කනට හැම වේලේම ඇහෙන්නේත් ඇහැට පේන්නේත් මේ අලුත් තාක්ෂණයත් එක්ක අමු පච බේගල් සහ ගැටුම් විතරයි. රටේ යහපතට ආණ්ඩුවක් විදියට කරන දේවල් ඒවා පෙන්නන්නේ නෑ. ඒවා කියන්නේ නෑ. මාධ්‍යවල මහත්තුරුන්ටත් ලොකු සනීපයක් තියෙන්නේ අවුල් පෙන්නපුවහම තමයි. හිතනවා මේවා පෙන්නපුවහම තමයි මේවා බලන්නේ කියලා. නමුත් ඒ මාධ්‍යයෙන් කියන විදියටම පෙන්නන විදියටම ඔය අවුල් ජනතාව පිළිගන්නේ නෑ.

මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මට මගේ පැත්තට හිටියේ සිරස ආයතනය විතරයි. වෙන එකක්වත් ජනාධිපති ඡන්දයේදී හිටියේ නෑ. නමුත් රටේ මහජනයා ඒ රූපවාහිනීවල පෙන්නපු විකාර, තිත්ත කුණුහරුප, චරිත ඝාතන ඒවා එකක්වත් සැලකුවේ නෑ. ඒක නිසා ඒ මාධ්‍ය ඇතැම් වෙලාවට ගන්න අසාර්ථක උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා.

තමුන්නාන්සේලාත් ගෙදර ඉඳගෙන, ගේ ඇතුළේ ඉඳගෙන රූපවාහිනිය දාපුවහම ඒක දිහා බලාගෙන ඉන්නවා. අප්පච්චියේ රටට වෙන දෙයක් කියලා. ඔය රූපවාහිනියේ පෙන්වන එහෙම දෙයක් රටට වෙලා නෑ. එහෙම අස්ථාවරත්වයක් මේ රටේ සිද්ධවෙලා නෑ. අපි ආණ්ඩුවක් විදියට රජයක් විදියට විශාල වැඩකොටසක් කරනවා. කරගෙන යනවා. ඉදිරියටත් යනවා. එන දේශපාලන අභියෝගවලටත් අපි මුහුණ දෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා

රටක් විදියට මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බාරගෙන තිබෙනවා. එතුමා ඒ වැඩපිළිවෙළ අදියර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. අද මේ වෙනකොට මට බය නැතුව කියන්න පුළුවන් මේ රටේ ඉතිහාසයේ ගොවි ජනතාව වෙනුවෙන් වඩාත්ම සහන ලබාදුන්න කාලයක් තිබෙනවා නම් ඒ වාර්තාව තියල තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාල පරාසයේයි කියලා.

අපි මේ අවුරුද්දේ පොහොර සහනාධාරයට විතරක් රුපියල් මිලියන 33000 ක් වියදම් කරනවා. ඉතිහාසයේ වැඩිම මුදල. ඒ විතරක් නෙවෙයි වගා පාළු වෙනුවෙන් රක්ෂණ ආවරණයක් ලබාදීලා තිබෙනවා. හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක රක්ෂණයක් ලබා දෙනවා.

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති අංගජන් රාමනාදන්, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න, ගොවි ජන සේවා කොමසාරිස් මද්දුම බණ්ඩා වීරසේකර, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද පොලොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් හර්ෂණී කුමාරිහාමි මහත්මිය ද ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (3)

විරුද්ධකාරයන් මොනව කීවත් රට විනාශ වෙලා නෑ

gamarala Wednesday, 11 July 2018 10:48 AM

රට ඉවරවෙලා නැහැ අපි තරවෙලා මිසක්...

:       0       52

senarath Wednesday, 11 July 2018 01:44 PM

රට විනාස වෙලාද නැත්ද කියලා රටේ ජනතාවට හොදට දැනෙනවා. මෙයාලා තවමත් හදන්නේ මිනිස්සු රවටලලා නැවත බලයට එන්න. අද හාල් පොල් පිටරටින් ගෙන්වන්නේ කෘෂිකර්මාන්තය හොදට කෙරෙන නිසාද .

:       0       104

dhamneth Tuesday, 17 July 2018 10:41 AM

2014 වසරේදී එකියන්නේ 2015 ජනාධිපති මැතිවරණ සමයේදී මේ රටට පිටරටින් හාල් ගෙනාවේ නැද්ද.සමහරුන්ට විරුද්දව නඩුත් තිබෙනවා.ආහාරයට නුසුදුසු සහල් ගෙන්නුවා කියා.විමල් වීරවංස ඇමතිවරයා කැබිනෙට් රැස්වීම් පවා වර්ජනය කරමින් සිටිය ආර්ථිකය විනාස කරන ආර්ථික ඝාතකයින් ඉවත්කරන්න කියා.ආර්ථිකය විනාශයි රට කඩාවැටෙනවා කියන කොටස් හැමදාමත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site