IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


වෛරක්කාරී ඡන්ද ක්‍රමය ශීලාචාර කළ යුතුයි

(*** ඩයනා උදයංගනී සහ *** ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඉකුත් මහ මැතිවරණයේදී ගෝඨාභය - මහින්ද සුසංයෝගයට විශ්මිත ජනවරමක් ලබාදෙමින් මෙරට පුරවැසියන් බලාපොරොත්තු වූ විනයගරුක, ශීලාචාර හා දියුණු රටක් ගොඩනැගීමට නම් පළමුව කළ යුත්තේ පාර්ලිමේන්තුව ශීලාචාර කිරීම යැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබුණත් එය මහපොළවේ නොපිළිගන්නා බව පිළිගත යුතු යැයි කී අලහප්පෙරුම මහතා රට නීතිගරුක කිරීමට පෙර පාර්ලිමේන්තුව නීතිගරුක ස්ථානයක් කළ යුතු යැයි ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව ශීලාචාර කිරීමේ පළමු පියවර මෙම වෛරක්කාරී නාස්තිකාර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම විය යුතු යැයි කී හිටපු අමාත්‍යවරයා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තාට වඩා වැඩි පිනක් ‘මනාප යුද්ධයෙන්’ රට බේරාගත්තොත් ලැබෙන බව ද කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කඹුරුපිටිය වලානේ දී ඉකුත් 8 වැනිදා පැවති ජන හමුවක් අමතමිනි.
මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබාදුන් කඹුරුපිටිය ජනතාවට කෘතවේදීත්වය පළකිරීමේ අරමුණින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.

“අගෝස්තු 5 වැනිදා ජනවරම මෙරට දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ජන වරමක්. මෙය සම කළ හැක්කේ 1956 මැතිවරණ ප්‍රතිඵලයට පමණයි. ඉකුත් ජනාධිපතිවරණයේදී තම ප්‍රතිවාදියාට වඩා ඡන්ද 13,65,500කින් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මාස 9කට පසු වැඩි ඡන්ද 38 ලක්ෂයක් ලබාදුන්නේ ඇයිදැයි අපි සිතිය යුතුයි.

ඡන්දය පාවිච්චි කරනු ලැබූ ප්‍රතිශතය පවා සීයට 8 ක් අඩුව තිබියදී මෙතරම් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාදීම සඳහා පොහොට්ටුවේ පාක්ෂිකයින් පමණක් නොව මෙරට මැදිහත් බුද්ධිමත් ජනතාවද එජාප ජවිපෙ සාමාජිකයින්ද විශාල වශයෙන් එකතුවූ බව අප අමතක නොකළ යුතුයි.

මේ විශ්මිත ජනතා වරමින් පුරවැසියන් බලාපොරොත්තු වන්නේ විනයගරුක, ශීලාචාර දියුණු රටක් ගොඩනැගීමයි. එය ගෝඨාභය-මහින්ද සුසංයෝගයට කළ හැකි යැයි රටේ විශාල විශ්වාසයක් තියෙනවා. අද ජනාධිපතිතුමාට පැවරෙන ලොකුම අභියෝගය මෙම විශ්වාසය සුරැකීමේ වගකීමයි. ඒ සඳහා රට ශීලාචාර කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව ශීලාචාර කළ යුතුයි. රට නීතිගරුක කිරීමට පෙර පාර්ලිමේන්තුව නීතිගරුක ස්ථානයක් බවට පත් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව උත්තරීතර ලෙස සඳහන් වුවත් මහපොළොව එය පිළිගන්නේ නැති බව තේරුම් ගැනීමට අප කිසිවෙක් මැළිවිය යුතු නැහැ.

මෙම මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම සහ කොට්ඨාස ක්‍රමය මත පදනම් වූ සමානුපාතික නියෝජනයේ සාධනීය ලක්ෂණ රැකගත් නව ක්‍රමයක් නිර්මාණය කිරීම ගෝඨාභය ජනාධිපතිතුමාටත්, මහින්ද අගමැතිතුමාටත් පැවරෙන අත්හැරිය නොහැකි වගකීමක් වෙනවා. පාර්ලිමේන්තුව ශීලාචාර කිරීමේ පළමු පියවර මෙම වෛරක්කාරී නාස්තිකාර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තාට වඩා වැඩි පිනක් ‘මනාප යුද්ධයෙන්’ රට බේරාගත්තොත් මෙම නායකයන්ට ලැබෙනවා ඒකාන්තයි.

එමෙන්ම රට දියුණුකිරීමේ යතුර අධ්‍යාපනයයි. රටපුරා සියලු මාවත්, අධිවේගී මාවත් කළ ද රටේ අධ්‍යාපනය නූතනවාදී ශිෂ්‍ය කේන්ද්‍රීය නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය දියුණුව ළඟා කරගත නොහැකියි. අපේ විභාග ක්‍රමය, ප්‍රතිඵලදීම සඳහා ගතවන කාලය, පාඨමාලා තුළ ඇති පුරාතනික බව මෙන්ම ගුරු ප්‍රජාව තුළ ඇති බරපතළ ගැටලු සහ භෞතික පහසුකම් අධ්‍යාපනයේ වහා විසඳිය යුතු ගැටලු බව ජනාධිපතිතුමා අවබෝධකරගෙන අවසන්. හෝටලයක කොත්තු ගසන කොත්තු බාස් කෙනෙකුට ලැබෙන වැටුපවත් ගුරුවරයෙකුට ලැබෙන්නේ නැහැ. අපි වහා මෙය වෙනස් කොට ගුරුවරයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෘත්තිකයකු බවට පත්කරනවා. එය සෞභාග්‍යයේ දැක්ම පොරොන්දුවක්.

කඹුරුපිටිය ආසනයේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉහළ විශ්වාසය පළ කළා පසුගිය ජනාධිපතිවරණයේදී. මෙවර නැවතත් ශ්‍රී ලංකාවේ ඉහළම ඡන්ද ප්‍රතිශතය ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට ලබාදී තිබෙනවා. ඒ අනුව කඹුරුපිටිය නූතන නගරයක් ලෙස තිහගොඩ යටියන කිරින්ද පුහුල්වැල්ල උප නගර සමගින් ගොඩනැගීම ගෝඨාභය ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර, හිටපු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්දන සිරිබද්දන යන මහත්වරු ද මෙම ජන හමුවට සහභාගි වූහ.



අදහස් (0)

වෛරක්කාරී ඡන්ද ක්‍රමය ශීලාචාර කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1457 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1309 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site