IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මහා යෝධ ව්‍යාපෘති මා අරඹන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ කන්තලේ සිට)

මහා යෝධ ව්‍යාපෘති ඇරැඹීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවත් සමහරුන්ගේ දේශපාලන දර්ශනවල එවැනි අදහස් තිබිය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කන්තලේදී පැවැසීය.

මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘති කිසිම ආණ්ඩුවකින් නොකෙරුණු බව කී ජනාධිපතිවරයා, චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ද මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ ආරම්භ නොකළ බව ප්‍රකාශ කළේය.
එදා මොරගහකන්ද ව්‍යාපෘතියට මුල්ගල තියලා පැය කිහිපයකින් තමාගේ මහවැලි ඇමැතිකම නැති වුණු බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කන්තලේ වැව් තාවුල්ලේදී ඉකුත්දා (21) පෙරවරුවේ පැවැති දේශීය ආහාර නිෂ්පාදනයෙහි විශිෂ්ට කුසලතා පෙන්වූ ගොවීන්ට සම්මාන පිරිනැමීමේ උත්සවයේදීය.

දේශීය ආහාර නිෂ්පාදනයේ විශිෂ්ට කුසලතා දැක්වූ ගොවීන් පනස් දෙනකුට ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමිණ.

ජනාධිපතිවරයා මේ උත්සවයට පැමිණියේ කන්තලේ ගංතලාව යුනිට් 12 වැව ජනතා අයිතියට පත් කිරීමෙන් පසුවය.

කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රගතිය දැක්වෙන විශේෂ වීඩියෝ පටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය.

“මේ රටේ ආර්ථිකයේ ගොඩ නැංවූවේ වාරි හා කෘෂිකර්ම සංස්කෘතියයි. රටේ සුබවාදී බව පවතින්නේ කෘෂිකර්මයේ ශක්තිමත් භාවය මතයි. මේ නිසා රටේ ගොවියා ශක්තිමත් වෙන්න ඕන.

රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක අද නියඟයක් තියෙනවා. අවුරුද්දක් තිස්සේ බොහෝ ප්‍රදේශවලට වතුර නැහැ. මම ඊයේ ගල්ගමුවට ගියා. එහෙ කන්න තුනක් වතුර නැහැ. ඇතැම් ගොවි ජනපද ව්‍යාපාර නැවතිලා. සමහර ඒවා වැඩ කරන්නේ සියයට 50 යි. එම ජලාශවල ජල මට්ටම  නිතර අධ්‍යයනය කරන කෙනෙක්. රටේ අනෙක් ප්‍රදේශවල ලොකු ගංවතුරක් ඇතිවුණා. කලින් දිනදා මම පානදුරට ගියා. පානදුරට මහ වැස්සක් ඇද හැළුණා. මේක තමයි කාලගුණය. එක් පැත්තකින් ගංවතුර. එක් පැත්තකින් නියඟය.

ආණ්ඩුවේ වරදින් මේවා වෙනවා කියලා සමහරු කියනවා. දකුණු ඉන්දියාවේ තත්ත්වයත් පාකිස්තානයේ තත්ත්වයත් අද එහෙමමයි. දේශගුණය ජාතික ආර්ථීකයට බලපානවා. ඒක ජීවන වියදමට බලපානවා. රටේ වී නිෂ්පාදනය අද සියයට 50කින් පහත වැටිලා. සියයට 50ක් සහල් හිඟයි. අපි මාස ගණනාවක් තිස්සේ පිටරටින් හාල් ගේනවා. අපි ඉදිරියේදී මියන්මාරයෙන්, පාකිස්තානයෙන් තවත් සහල් තොග ගේනවා. නියඟය නිසා එළවළු මිලත් ඉහළ ගිහින්. අනෙකුත් දෛනික දේත් ඉහළ ගිහින්. සැප්තැම්බර් ඔක්තෝබර් වනවිට වැසි වැටේවි කියල අප බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ප්‍රශ්න ඉවර වේවි.

ත්‍රිකුණාමලයට අංශ ගණනාවකින් මුදල් ලැබෙනවා. ත්‍රීමලේ ගොවි ජනතා ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න පසුගිය කාලයේ විසඳුණේ නැහැ. අපේ රජය ත්‍රීමලයට ලොකු මුදලක් වෙන් කළා. වැව්, අමුණු, පාරවල්, අලි වැටවල් හදන්න මිලියන 5000ක් වෙන් කරල තියෙනවා. මේ අවුරුද්දේ මිලියන 100ක් වෙන් කළා. මේ පළාතේ සියලු වැව් පිළිසකර කළේ යුද හමුදාවයි. වැව් 25ක් ප්‍රතිසංස්කරණය කළා. ගංතලාව යුනිට් 12 වැව කළෙත් හමුදාවයි. යුද හමුදාව මිලියන 5කින් ඒ වැඬේ කළා. යුද හමුදාවට ස්තූතිවන්ත වෙනවා. මිලියන 23ක ඇස්තමේන්තුව මිලියන පහකින් අවසන් කළා. ඒක් විශේෂ තත්ත්වයක්. පොළොන්නරුවේ වැඩ ගොඩක් මම දැන් යුද හමුදාවට දී තිබෙනවා. අප ත්‍රීමලේ සංවර්ධනයට ප්‍රමුඛතාව දෙනවා. මෙවැනි වැඩසටහන් ඇරඹුවේ ගොවි ජනතාව දිරි ගන්වන්නයි. මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ජල ප්‍රශ්නයයි. මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති කිසිම ආණ්ඩුවකින් වුණේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ කාලේත් මොරගහකන්ද වැව පටන් ගත්තේ නැහැ. මම මොරගහකන්දට මුල්ගල තියල කෙටි කලකින් මගේ මහවැලි ඇමැතිකමත් එදා නැතිවුණා. මම ජනපති වී මොරගහකන්ද කඩිනමින් කරන්න කටුයතු කළා. දැන් මොරගහකන්දට ජලය පුරවනවා. වයඹ වැව් 700ක් ප්‍රතිසංස්කරණය කරගෙන යනවා.

කන්තලේ පානීය ජල ප්‍රශ්නය විසඳෙන්නේත් මොරගහකන්දෙන්. ජල ප්‍රශ්නය නිසා ඇතිවූ ආරවුල් නිසා ගොවීන් කොච්චර මියගිහින් තියෙනවා ද? ජලය පිළිබඳ ප්‍රශ්නය ගොවීන්ගේ දුක්ඛිත කතාවක්. මොරගහකන්දට වතුර පුරවල එහි වේල්ලේ තත්ත්වය බලන්න තියෙනවා. මිනිස්සු අහනවා ඒකේ වතුර දෙන්නෙ නැත්තේ ඇයි කියලා. රජයේ අරමුණ සැමටම ජලය දීමයි. ලොකු ව්‍යාපෘති කිරීම මගේ අරමුණ නොවෙයි. කුඩා වැව්, අමුණු, ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම මගේ ප්‍රධාන ඉලක්කයයි. කෘෂිකර්මාන්තය නැංවීමට නම් අප යා යුත්තේ එවැනි තැනකටයි.

අඩුපාඩු සහිත දිස්ත්‍රික්කවලට මා පෞද්ගලිකව මැදිහත් වෙනවා. අද අපි ගංතලාවේ මාර්ගයක් විවෘත කළා. ඉදිරියේදී මේ ප්‍රදේශවලට වැසි ලැබේවි. හොඳ පරිසර තත්ත්වයක් උදාවේවි. එමගින් ආර්ථික තත්ත්වය සමෘද්ධිමත් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.”

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා:-
“අද නැගෙනහිර පළාතට සුවිශේෂ දවසක්. ජනාධිපති මෛත්‍රී බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්මාන්තයට නව පණක් ලැබුණා. එදා ණය ගත්තා මිසක් පුංචි මිනිහාගේ ආර්ථිකය ශක්තිමත් වුණේ නැහැ. මෙවැනි වැඩපිළිවෙළක් ඇරඹුවේ එතුමා ගොවි පුතකු නිසයි. කලින් ගොවියා ගැන කතා කළාට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. දැන් ගොවියාට බිත්තර වී ලැබෙනවා. දැනුම ලැබෙනවා. අද මේ වැඩපිළිවෙළට අමාත්‍යාංශ ගණනාවක් දායක වී සිටිනවා. මෛත්‍රී ජනපතිතුමා ගොවියා වෙනුවෙන් හැමදාම පෙනී සිටිනවා.

ගොවීන් අලුතින් හිතන්න පටන් ගන්න ඕනෑ. අලුත් ගමනක් යා යුතුයි. ගොවි බිමට තාක්ෂණය කැඳවා ගත යුතුයි. අපි යැපුම් මානසිකත්වයෙන් එළියට ගොස් තනියෙන් නැගිටිය යුතුයි. ආර්ථිකයට කෘෂිකර්මාන්තයෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම ජනාධිපතිතුමාගේ අරමුණයි. ආහාර නිෂ්පාදනය පිළිබඳ ජාතික සැලැස්මක් හදනවා. ආහාර සඳහා පිටරටට මුදල් ඇදී යෑම වැළැක්වීම අපේ සැලැස්මයි. පෞද්ගලික ආයතන පවා මේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්නවා.”

නැගෙනහිර පළාත් කෘෂිකිර්ම අමාත්‍ය කේ. තුරේරත්නසිංහම් මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය.
 මේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, මහ ඇමැති මොහොමඞ් නජීඞ් හා පළාත් ඇමැතිනී ආරියවතී ගලප්පත්ති ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

ඡායාරූපය - ගයාන් අමරසේකර



අදහස් (1)

මහා යෝධ ව්‍යාපෘති මා අරඹන්නේ නෑ

Deepal Nirosh Monday, 24 July 2017 09:14 AM

ඔබතුමා මහා පරිමාණ ව්‍යාපෘති පටන් නොගත්තට ගරු අගමැතිතුමා නම් එතුමා ඉලක්ක කරගෙන ආපු මහා පරිමාණ ව්‍යාපෘති දැනටමත් පටන් අරගෙන ක්‍රියාත්මක වෙලත් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1639 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site